එච්.කේ.අයි. සෙව්වන්දි:
පුස්තකාල යනු, මානව ප්‍රගතියේ නිහතමාන බලවේගය බව කිව හැකිය. හුදෙක් එය පොත් ගබඩා කර ඇති ගොඩනැගිල්ලක් පමණක් නොව, ඉගෙනුම්, සංස්කෘතික සහ සමාජ සංවර්ධනය මූලික කරගත් මධ්‍යස්ථානයක් ද වේ. දැනුම මත පදනම් වූ ආර්ථිකයක් කරා යන ගමනේදී, පුස්තකාලවල භූමිකාවන් තවත් තීරණාත්මක වේ. ශක්තිමත් සහ පහසුවෙන් පිවිසිය හැකි පුස්තකාල පද්ධතියක් මගින් දැනුම් පරතරයන් අඩු කරගැනීමට, පුරවැසියන් සවිබල ගැන්වීමට, පිරිපුන් සමානාත්මතා සහ දැනුමැති සමාජයක් නිර්මාණය කිරීමට දායකවිය හැකිය.
පුස්තකාල සහ සමාජීය ව්‍යුහය
කුඩා නගරවල පිහිටි මහජන පුස්තකාලවල සිට විශාල පොත් එකතූන් වලට හිමිකම් කියන විශ්වවිද්‍යාල පුස්තකාල දක්වා, විවිධ පරිශීලක ප්‍රජාවන්ට සේවාවන් සැපයීමට ශ්‍රී ලංකාවේ පුස්තකාල සමත් වී ඇත.

කොළඹ මහජන පුස්තකාලය වැනි පුස්තකාල, දශක ගණනාවක් සිට පොත්පත් පරිශීලනය සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දී ඇති අතර, වයස හෝ ආදායම මත නොසිට පුරවැසියන් සඳහා ජීවිත කාලය පුරාම ඉගෙනීම සඳහා මධ්‍යස්ථානයක් වී ඇත. ශ්‍රී ලංකාවේ ඉතා උසස් සාක්ෂරතාවයක් පවත්වා ගැනීමට පුස්තකාලවල දායකත්වය අතිමහත්ය. ශිෂ්‍යයන්ට විභාග සඳහා සූදානම් වීමට, පර්යේෂකයන්ට දත්ත සොයාගැනීමට, සහ සිය ප්‍රජාවට නව අදහස් සෙවීමට පුස්තකාල අවකාශ සපයා ඇත. ග්‍රාමීය ප්‍රදේශවල විශ්වසනීය තොරතුරුවලට ප්‍රවේශය සපයන එකම ස්ථානය පුස්තකාලය වන අතර, එමඟින් අධ්‍යාපනයට හා ප්‍රාදේශීය සංවර්ධනය මගපෙන්වීම සිදුකරනු ලබයි.අධ්‍යාපනය සහ දැනුම් සමානාත්මතාවය සඳහා උත්ප්‍රේරක ලෙස පුස්තකාල
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පළමු විශ්වවිද්‍යාල උපාධිය දක්වා නොමිලේ වුවද, ගුණාත්මක ඉගෙනුම් සම්පත් සඳහා ප්‍රවේශය රටපුරා තවමත් අසමානය. පුස්තකාල එම අසමානතාවය සමතුලිත කරමින් ප්‍රවේශය නොලැබෙන සියලු දෙනාට මුද්‍රිත සහ ඩිජිටල් සම්පත් වලට ප්‍රවේශය ලබාදෙයි. විශ්වවිද්‍යාල පුස්තකාල, උසස් අධ්‍යාපනයට, පර්යේෂණ සහ නවෝත්පාදනයන් දිරිගැන්වීමට සහාය වන අතර මහජන පුස්තකාල, සියලුම පුරවැසියන්ගේ කියවීම් වර්ධනය කිරීමටත්, ජීවිතාන්ත ඉගෙනීම සඳහා පදනමක් ද ගොඩනඟයි.

එවිතරකදු නොව, ශ්‍රී ලංකාවේ පුස්තකාල පද්ධතිය සවිබල ගැන්වීම සදහා, අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමට ද රාජ්‍ය විශ්වවිද්‍යාල අද සමත්ව ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය ඒ අතුරින් එකකි.
ජාතික සංස්කෘතිය සහ දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීම
පුස්තකාල, ශ්‍රී ලංකාවේ සංස්කෘතික මතකයන්වල භාරකරුවන් ද වේ. එහි බොහෝවිට පුරාණ අත්පිටපත්, දේශීය පුවත්පත් හා ශ්‍රී ලාංකික ජන සමජ හා දේශපාලන ඉතිහාසය, ලේඛනගත කරන ලද දුර්ලභ පොත්පත් රැස්කර ඇත. මෙම එකතූන් පර්‍යේෂකයන්ට, සහ පොදු ජනතාව සඳහා අසමසම මූලාශ්‍රයන් වේ. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සහ ජාතික කෞතුකාගාර පුස්තකාලය මෙකී සම්පත් සංරක්ෂණය කිරීමේදී සහ ප්‍රවර්ධන වැඩසටහන් හරහා කියවීම් වර්ධන කිරීමේදී ප්‍රධාන කර්‍යභාරයක් ඉටු කරයි.

ගෝලීය වශයෙන් ෆින්ලන්තය හා ඩෙන්මාර්ක් වැනි රටවල්වල මහජන පුස්තකාල මගින් සංස්කෘතික අනන්‍යතාවය ආරක්ෂා කරමින් නවෝත්පාදනයන්ට දායකවිය හැකි ආකාර පෙන්නුම් කර ඇත. ෆින්ලන්තයේ හෙල්සිංකි නගරයේ ඔඩි (Oodi) පුස්තකාලය සාම්ප්‍රදාය හා තාක්ෂණය පෙරදැරිව නිශ්පාදක අවකාශයන්, ඩිජිටල් සක්ෂරතා වැඩසටහන් සහ බහුභාෂා එකතූන් වලට මගවිවර කරන නාගරික මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරයි. එමෙන්ම ඩෙන්මාර්කයේ ආර්හස් හි, (Aarhus) ඩොක්1 (Dokk1) මහජන පුස්තකාලය සංස්කෘතික ප්‍රදර්ශන, වැඩ අවකාශ, සහ පුරවැසියන්ට නව නිර්මාණවලට දායක විය හැකි වැඩමුළු මඟින් සමාජ සම්බන්ධතා වර්ධනය කරයි. මෙම රටවල් දෙකම තම සංස්කෘතික අභිලේඛන ඩිජිටල් කිරීම මගින් එකී අත්පිටපත් සඳහා අනාගත පරම්පරාවට ප්‍රවේශ වියහැකි බව සහතික කර ඇත. මෙම උදාහරණ මගින් පුස්තකාල පොත් බැහැරදීමෙන් ඔබ්බට ගොස් සංස්කෘතිය, නිර්මාණශීලිතාව සහ තාක්ෂණය එක්තැන්කරගත් ජීවමාන මධ්‍යස්ථාන බවට පත් විය හැකි බව පෙන්වයි.

ඔඩි පුස්තකාලය ඩොක්1 මහජන පුස්තකාලය නව යුගයකට පුස්තකාල ඩිජිටල් යුගයේදී, පුස්තකාල තවදුරටත් පොත් පිරුණු නිහඬ ස්ථානයක් නොවනු ඇත. එය වැඩමුළු, අන්තර්ජාල ප්‍රවේශය සහ ඩිජිටල් සාක්ෂරතා වැඩසටහන් ලබාදෙන සක්‍රීය ප්‍රජා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වෙමින් පවතී. තාක්ෂණික දියුණුවත් සමග ශ්‍රී ලාංකික පුස්තකාලවලට, තොරතුරු සඳහා පුළුල් ප්‍රවේශයක් ලබා දීමට, සමාජ සම්බන්ධතා වර්ධනයට, සහ පුද්ගල සවිබලගැන්වීමට ඩිජිටල් මෙවලම් භාවිත කළ හැකිය. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සදහා ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා පුස්තකාලවලට පාසල්, විශ්වවිද්‍යාල හා පළාත් පාලන ආයතන සමග සහයෝගයෙන් කටයුතු කළ හැකිය. එවැනි සහයෝගයන් නිතැතින් ජාතියේ තිරසාර සංවර්ධනයට දායක වේ.
පුස්තකාල යනු සේවා මධ්‍යස්ථාන පමණක් නොව, එය ජාතියේ බුද්ධිමය හා සංස්කෘතිය සමග අවියෝජනීයව බැදුණකි. ශ්‍රී ලංකාවේ දැනුම, නිර්මාණශීලීත්වය, හා සමානාත්මතාවය මත පදනම් වූ අනාගතයක් ගොඩනඟාලීමට පුස්තකාල අත්‍යවශ්‍ය සධකයක් ලෙස හඳුනාගත යුතුය. පුස්තකාල පද්ධතිය ශක්තිමත් කිරීම යනු පොත් ආරක්ෂා කිරීම පමණක් නොව, එය මිනිසුන් සවිබල ගැන්වීමකි.
“පුස්තකාල වර්ධනය වනවිට සමාජයත් ඒ සමඟම වර්ධනය වේ.”

එච්.කේ.අයි. සෙව්වන්දි–H.K.I. Sewwandi
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය





