“අලන්දරිකා” කෙටිකතා සංග්‍රහයේ කර්තෘවරිය වන ප්‍රවීණ ලේඛිකා නිසංසලා ගම්ලත් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : ඔබේ ලේඛක ජීවිතය ආරම්භ වුණේ කොහොමද?
පිළිතුර: මම ළමා කාලයේ සිටම ලේඛිකාවක් වෙන්න සිහින දැකපු කෙනෙක්. ලියන්න කම්මැලි වුණාට මම හිතන්න කම්මැලි නැහැ. ඒ නිසා මම හැම විටම කවි කතා හිතින් ලියමින් හිටියා. මම කලා විෂය ධාරාව තෝර ගත්තෙත් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණොත් එහිදී සිංහල භාෂාව හා සාහිත්‍ය හැදෑරුවේත් ලේඛිකාවක් වීමේ සිහිනය වෙනුවෙන්. මම ඒ සම්පූර්ණ කාලයම කවියක තරමෙ දෙයක් ලීවේ නැහැ. ඒත් ලියන්න ඕන දැනුම සහ අත්දැකීම් එකතු කරා. ඒ සම්බන්ධයෙන් මම කොච්චර සිහින දැක්කද කියනවනම් මම සරසවිය පුරා සිසුවියක් ලෙස ඇවිද ගියේ කවදා හරි මගේ පොතක් විශ්ව විද්‍යාලයක නිර්දේශ ග්‍රන්ථයක් වෙයි කියන සිහිනය සමඟ. එකම පොතක් තියා එකම කවියක්වත් ලියලා නැති මම ඒ තරමට බරපතළ සිහින දැක්කා ලිවීම වෙනුවෙන්.
ප්‍රශ්නය : ඔබ 2023 ප්‍රකාශනයට පත් කර ඇති ‘ආලන්දරිකා’ කෙටි කතා සංග්‍රහය පිළිබඳ විස්තර කළොහොත්?
පිළිතුර : ආලන්දරිකා මගේ පළමු කෙටි කතා සංග්‍රහය. 2023 ගොඩගේ ප්‍රකාශයක් ලෙස ප්‍රකාශයට පත්වෙනවා. ඇත්තටම මට අනුව ලිවීම කියන්නේ සාමූහික වැඩක්. ආලන්දරිකා යම් තැනක තිබෙනවා නම් නලින්ද සංජීව ලියනගේ ගෙ සංස්කරන යෝජනා ඒ වෙනුවෙන් බලපෑම් සහගත වුණා. ගයාන් මුණසිංහ සහ ප්‍රගීතිකා ජයසේකර මගේ පොතේ වියරණ දොස් නිදොස් කරා. ඒ තුන්දෙනාගෙම දායකත්වයෙන් තමයි ආලන්දරිකා මේ තැනට ආවේ. තව දෙයක් තමයි ආලන්දරිකා ඇතුලේ තියෙන්නේ හුදු මනංකල්පිත කතා හයක් නෙමෙයි. පර්යේෂණ සමග ගොඩනගන ලද ජීවන අන්දර. මම මේ වෙනුවෙන් වසර ගණනාවක් අධ්‍යයනය කළා. එක පැත්තකින් මට වුවමනා වුණා කෙටිකතාවේ ආකෘතිය වෙනස්ම තැනකට ගේන්න. ඒ නිසා මම කතා හයට ආකෘති හයක් ගෙනාවා. . අනිත් පැත්තෙන් මට වුවමනා වුණා කවුරුත් කතා කරන්නට බය මාතෘකා ගැන කතා කරන්න. කාන්තාවන් හිර කරන සමාජයක පිරිමිත් කොයි තරම් හිර වෙනවද කියලා පෙන්වා දෙන්න. ඒ නිසා ආලන්දරිකා කියන්නේ පුරුෂ ද්වේෂී කතන්දර හයක් නොවේ. ගැහැනුන් සහ පිරිමින් මනුෂ්‍යයන් ලෙස ජීවත් වෙනු දැකීමට ඇති සිහිනයක්

ප්‍රශ්නය : ඔබ විසින් ප්‍රකාශනයට පත් කරන ලද අනෙකුත් කෘතීන් පිළිබඳ සදහන් කළ හැකිද?
පිළිතුර: මම සාහිත්‍යය ලෝකෙට එන්නේ 2010 දී. මගේ පළමු කාව්‍ය සංග්‍රහය ආදරය ඇබින්දක්. ගොඩ ගේ ප්‍රකාශයක්. මගේ දෙවෙනි පොතත් කාව්‍ය සංග්‍රහයක්. නාදුනන පෙම්වතා. ඉන්පසු මම ලියන්න යොවුන් නවකතාවක්. ඒ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සේවය කිරීමෙන් ලත් අත්දැකීම් සමග. ඒ පොතෙන් මම සාකච්ඡා කරන්නේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙන ආකාරය හා ඔවුන් එයින් මුදවා ගන්නා ආකාරය. ඒ සඳහා දෙමව්පියන්ගේ මැදිහත්වීම පිළිබඳව. ඉන් පසු මා ප්‍රකාශයට පත් කරන්නේ මේ මියුරු ගුත්තිලය නම් විචාර ග්‍රන්ථය. එය මාක්ස්වාදී විචාරයක්. වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය වර්තමාන සමාජය අධ්‍යයනය කිරීමට හා විමසීමට භාජනය කරනවා.




ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ පිළිබඳ ඔබේ ඇගයීම කෙබඳුද?
පිළිතුර: ඇත්තටම මම සතුටු වෙනවා බොහෝ දෙනෙක් ලිවීම ගැන. මම කිසිම විදිහකට සම්මාන උත්සව පිළිබඳව වද වෙන්නේ නැහැ. ඒත් හොඳ පොත් යටපත්වීම පිළිබඳව වේදනාවට පත්වෙනවා. ඇතැම් වෙලාවට සාහිත්‍ය උත්සව සම්භාෂණ කලබැගෑනි අස්සේ වටිනා පොත් සැඟවී යනවා.ඒ නිසා කතා බහට ලක් විය යුතු පොත් පිළිබඳ කතාබහක් ඇති කිරීම ගැන මම නිතර වද වෙනවා
ප්‍රශ්නය : අවසාන වශයෙන්, ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ විස්තර කළොහොත්?
පිළිතුර: ලබන වසරේ නවකතාවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මිනර්වා ප්‍රකාශනයක් ලෙස ඒ පොත ප්‍රකාශයට පත් වේවි. ඇත්තටම මම කෙටි කතා සමගම පොර බදමින් සිටින මොහොතක තරින්ද ඇල්ටිගල සහෝදරයා නවකතාවක් ලියන ලෙස ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට අනුව තමයි මේ නවකතාව ලියවෙන්නේ. මේ නවකතාවත් වසර කිහිපයක් සංස්කරන වලට ලක් වෙනවා. නලින්ද සංජීව ලියනගේ මිතුරා සංස්කරණයෙන් දායක වෙනවා. ගයාන් මුණසිංහ සහ ප්‍රගීතිකා ජයසේකර වියරණ දොස් නිදොස් කිරීම ඔවුන් වෙත පවරාගෙන තිබෙනවා. බොහෝම උදව් උපකාර මැද නවකතාව ප්‍රකාශයට පත්වෙයි. එහි ගුණ අගුණ ගැන කතා කිරීම රස විමසුම් සමාජයට භාර කරලා මම පසෙකට වී සිටිනවා
සංවාද සටහන: සුභාෂ්
ආලන්දරිකා|Aalandarikā [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





