රුවිනි මේනකා:
යටගිය දවස අට වසරේ
මදින්නැද්ද ඔය සිවුර
එයා ඇහුවේ හකුළාලා දෙවුර
ඇයි රැලි එක්ක ලස්සන නැද්ද
මං කිව්වම හිත කැඩුණ වත්ද
චාටුවෙන් මාව කතාවට අල්ලගෙන
කොච්චර දුරක් ගියාද මේ හිත එල්ලගෙන
මැණික කිය කියා කතා කළ හැටි
මතක් වෙනකොට ළඟින් වැඩ සිටි
ඒ පෝය ඉවරයි!
මං ඉන්නව තාමත් හඳ එනව බලාගෙන
සරාසඳ එනව වෙහෙරට තරුදරුවෝ වඩාගෙන
මොනයම හෝ සාහිත්‍ය කෘතියක ඇසුර අවසානයේ විය යුත්තේ,එය පරිශීලනය කරන්නට පෙර සිටි මිනිසා සහ එකී නිර්මාණය රසවිදීමෙන් පසුව පවතින මිනිසා අතර චින්තනයේ පරිකල්පනයේ සාධනීය වෙනස්වීමක් තිබීම යැයි මට සිතෙයි.එකම කවිය වුවත් එකම කෘතිය වුවත් කිහිපසැරයක් කියවනවිට එය කිහිප ආකාරයක්න් විඳින්න්ට අපිට පුලුවන් .කියවන්න කියවන්න එකම පුද්ගලයා වුවද විවිධ අවස්ථාවනට විවිධ මනෝභාවයනට රූපාන්තරණය වෙනව.වෙනස්වීම ස්වාභාවිකයි.හරියටම හෙරක්ලිටස්ගේ ගඟ වගේ. නැවත නැවත කියවීම විදීම තුළ අපි වෙනස් වෙනව .කියාගන්න බැරි දේ කියන එක කවිය වේ නම්, පොදු මානූෂීය සබඳතාවන් හී ගැට ගැසුණු ,පැටළුණු අතිශය සංකීරණ සියුම් සංවේදනා කවියෙන් කවියට ගල් ,බොරළු ,අතු ඉති, රොන් මඩ අතරින් හැපෙමින් පෙරෙමින් පෙරළමින් බිඳෙමින් රිදවමින් සුමධුරව
ගලා බසිනව.
ඇතැම් සබඳකම් , සිදුවීම් දෙස අප බලන්නට පුරුදුව සිටිය ආගමික දෘෂ්ටි කෝණය සහ පූර්ව නිගමනවලට එළඹීමට ඉක්මන් වූ ආකාරය කොයිතරම් දුරට මානූෂීය වන්නේද සාධාරණ වන්නේද යන වග “පන්සලේ මල්සරා” කියවීමෙන් විදීමෙන් පසු මා මාගෙන්ම ප්‍රශ්න කළෙමි.එහෙයින් සොවක් ඉපැදිණ.ලැජ්ජාවක් ඉපැදිණ.ආලවන්තකම පාරමීතාවක් සිතු ඇතැම් කිණිහිරියා ඇදිවත උනා දැමු අවස්තාවන් දෙස වුවද දයාර්ද බැල්මන් බලන්නට හිත සමාධිගත කළ අවස්ථාද කවිය තුළ නැතුවා නොවේ.ගසක් සුදුසු කළ මල් පිබිදවිය යුතුය.ගසකට මල් පැළැන්දවීම අපට කළ නොහැකිය.නිවන් මඟ අත ළඟයි සිතා හෝ වෙනත් මොනයම් හෝ හේතුවක් මුල් කොට ගෙන හයක් හතරක් නොතේරෙන දරුවන් හතරවරිගයම නිවන් දක්වන අදහසින් පැටි කාලයේම මහණ කළ පසුව, අනඟ මල්සර හී වැදෙන වයසට එළබෙත්ම ඇස ගැටෙන බහූරූ කෝලම් අභියස, චිංචිමානවිකාවන්, අම්බපාලියන්, ජනපද කළ්‍යණියන් අභියස ඇවිලෙන රාගාධික සරාගී සිතිවිලි ,බොහෝමයක් දෙනෙකුගේ සන්තානයේ කැකෑරෙමින් දැවෙන ගිනි පුලිඟුවක රත් පැහැය කවියක ඇතිරු නිල් පාට හඳ එළිය ” පන්සලේ මල්සරා” යැයි මට සිතෙයි.ඔබගේ කියවීම ඊට හාත්පසින් වෙනස් වන්නට ද පුළුවන.එහෙයින් අපි හෙරක්ලිටස්ගෙ ගඟ වෙමු.
“ඌයී ! පිච්චෙනවා කියන කොට යටි පතුල් ගාවා
මායි පැන් වක්කළේ ඔය සිරි පතුල් නාවා”
සාම්ප්‍රදායිකව සංස්කෘතියකව සාමාන්‍යයෙන් කතා බහට ඉඩක් නොලද කලාපයන්හී පවත්නා ඇතැම් මාතෘකා,නිමිති තැන්නේ හිමිගෙ ශෘංගාරාත්මක කවිය තුළ සුමදුරව ගලා යද්දී ,කොහෙන් දිය දෝතක් ගත්තද එය උකුයි , රස්නෙයි. හිරි ඔතප් බිඳේවීදෝ සැක සංකාව එපා.සිවුර දරා සිටින්නේද මනුෂ්‍ය ප්‍රාණියෙක්මැයි හේ දුර්ලභ ඝණයේ නිර්භීත කවියෙක්මැයි සිතන්න.කවි පොතේ නමෙහි පටන් උත්ප්‍රාස රසය ජනිත කරනවා සේම හිමිගේ ප්‍රතිභාව බොහීමියානු වහර කවිය තුළ භාෂාවෙන් වැඩ පෙන්වන්නේ ගිහියන් පවා ලිවීමට මැලිවන කලාපයන් හී තම සරාගී අණසක පතුරවමින.
නුඹ සිරිපා
තබා ගිය මළුව…
සිඹ අතුගා දමමි
සිතින් ගොළුව…

තැන්නේ හිමි ජපන් පන්සල් වඩු කාර්මිකයෙකු වැන්න.කවිය නැමැති දැවය සුමට කිරීමට ජපන් වඩුවා සතු යතු වර්ග හතරම කතෘහිමි පාවිච්චි කරයි. සරාගී හැඟීම් යතුවෙන් සුමටම දැවය පිරිමැද ,බොහීමියාමු බස් වහරින් කවිය දීප්තිමත් කරගන්නා හිමි දඩ්ඩබර භාෂා යත්ත මඟින් දැවය මත ලිස්සා යන පරිද්දෙන් යතු ගා දමයි.අවසන් නිමාව තුළ යතුවෙන් පිට පනින සේදවන් ලී තීරුවෙහී විනිවිද හාවය කවියෙහි සියුම් අලංකාර ගුණ අපට පෙන්වා දෙයි.එහෙයින් මේ වඩු කාර්මිකයාගේ කවිය නැමැති පන්සල් ගොඩනැගිලි ඉතා සුමට අලංකාර දීප්තිමත් ප්‍රෞඪ ස්වභාවයක් ගන්නේයැයි මට සිතෙයි.එහෙයින් අප එය ආරක්ෂා කොට තබාගත යුතුයි.
සපත්ත භාරො සකුණෝ විය.
භික්ෂූන් පියාපත් බර රහිත කුරුල්ලන් සේ
දිවි ගෙවිය යුතුය.
නූතන කවියෙහි නිදහස් අවකාශය තුළ නිදහසේ පියාසර කරන බොහීමියානු කුරුල්ලා “පන්සලේ මල්සරා” .
සරලවම කියනවනම් මෙච්චර යි
බැතියෙන් නිවෙමි…..
නිවෙමින් දැවෙමි…..
මේක රස සූත්‍රයක්.
රුවිනි මේනකා- Ruwani Menaka





