ප්‍රදීප් පීරිස්:
ඊඩිත් කැවල්
1896 හී අප්‍රේලයේ ලන්ඩන් ජාතික රෝහලෙහි හෙද පුහුණුකිරීමේ අංශය වෙත ලැබුණු කුඩා ලිපියකි. ‘මා පියාණන් ගේ අන්තිම හුස්ම පොද තෙක් හැකි උපරිම ස්නේහයෙන් මම ඔහු රැක බලා ගත්තෙමි. එවන් පියවරු සියක් රැකබලා ගන්නට මා හෙදියක ලෙස පුහුණු කර දෙන්න’ යැ කියා ආයාචනාත්මව ඉල්ලා තිබූ එම ලිපියෙහි කෙළවර ඊඩිත් කැවල් ලෙස අත්සන් යොදා තිබිණි. මනුෂ්‍යත්වය පිරී ඉතිරීගිය තෙතකින් දිලී හැඩවුනු දෙනෙතෙහි වූ කාරුණිකත්වය දුටු උන් ඒ තිස් හැවිරිදි යුවතිය වහා හෙද පුහුණුව සදහා බදවගති.

වහ වහ පුහුණුව ලද ඈ කැස්සෙහි සිට නියුමෝනියාව දක්වා ද පාදශෝතයෙහි (Gout) සිට දුක්ඛිත පිළිකාව දක්වාද සීරිමක සිට පශ්චාත් ශල්‍ය රැකවරණය ද දක්වා වූ හෙද සිද්ධාන්ත, වේදනා නාශනය හා සාත්තු සත්කාරය සැනෙකින් උගත්තී එංලන්තය පුරා විසිරුනු ග්‍රාමීය ආරෝග්‍යශාලාවෙහි සිට නාගරික රෝහල දක්වා බොහොමයක වරින්වර සේවයෙහි නිරත විය.
කාරුණික අතැගිලිවල සත්කාරයෙහි සුගන්ධය එංගන්තය හරහා හමාගොස් යුරෝපය වසාගත්තෙන් බෙල්ජියමෙහි ඇරඹි බ’කන්ඩේල් වෛද්‍යායතනයෙහි හෙද පාළිකාව වී බැදෙන්නැයි ඈ ඇරියුම් ලදි. ආදරයෙන්ම ඈ ඒ පිළිගත්තී බොහෝ කැපකිරීමෙන් අහවර වසරක් ඇතුළත බ්‍රසල්ස් හී රෝහල් තුනක්, පාසල් විසිහතරක් සහ පෙර පාසල් දහතුනක් පුරා ක්‍රමවත් හෙදකර්මයෙහි මූලික සිද්ධාන්තයන් වපුරා ඉන් උපන් නීරෝගී අස්වැසිල්ලක සිහිල් අස්වැන්නක් ක්‍රමයෙන් නෙළාගනිමින් උන්නාය.
නමුත් උනුන් මරා භූමිය ඈදාගත යුතුය සිතූ මිනිසුන් පළමුවන ලෝක යුද්ධයට මං පෙත් හෙළිකර තිබුණෙන් සැණින් යුධයේ රෞද්‍ර ගිණිදැල් යුරෝපය වසාගති. බ්‍රසල්ස් යටත් කරගන්නට ජර්මානුවන්ට වැය වී තිබුණේ සති කිහිපයක් පමණි. සතර අත ගිණි ජාලාය. වෙඩි හඩෙහි රුදු බිරුම් ය. මංකොල්ල කෑමෙන් හිස්වූ කඩපිල් ය, මන්දිර ය, ගෙපැළ ය. පාර අද්දර තබා රංචු පිටින් කෙළසා මරා දැමූ සුන්දර යුවතියන් ය. දණ්ඩක් ඔසවාගත නොහුණු කිරිසප්පයන් උණ්ඩයෙන් ළය පළා මරා දැමූ අහු මුල් ය. කෙසෙන් කෙස තබා බැද, ගැටවරියන් දක්කාගෙන ගිය මංමාවත් ය. උන් ඉදිරිපිටම නිහඩ කර දැමූ උන්ට පෙම් කළ තරුණ හදවත් ය. රුදුව දරුණුව ඉහළ එසවී යක්ෂාවේශ වූ ආක්‍රමණිකයා ඉදිරියේ දණින් වැටි සෞම්‍ය සුකොමළ නගරයක් ය. ඒ 1914 හි නොවැම්බරයේ බ්‍රසල්ස් ය!!
ඊඩිත් කැවල් ත්‍රස්ත වී සිටියා ය. බිය වී සිටියා ය. ඒ සියල්ලට ඉහළින් කාරුණික හදවත උණුව දියව ගොස් පිටාර ගලමින් උන්නාය. රතු කුරුස රැකවරණය යටතේ බ්‍රසල් හැරදා යන්නට ඕනෑ තරම් වූ අවකාශ තිබියදී නොයා උන්නේ එනිසාය. තුවාල කරුවන් සොයා යුධ පිටියට වැදුනේ එනිසාය. උන් බෙල්ජියමුන්ද, ප්‍රංශකරුවන්ද, ජර්මානු ආක්‍රමණිකයාද කියා නොසිතා අත් කරත්තයේ තබා තල්ලු කර රැගෙන ආවේ එනිසාය. සුවකළ හැකි නොහැකි සියල්ලන් ආදර ස්නේහයෙන් නහවා වේදනාබර සිත් සුවපත් කරන්නට දිරි ගත්තේ එනිසා ය.

ඈ උන් සුවපත් කළාය. ප්‍රංශ සෙබළා ජර්මානු නිළධාරියා පසෙකින් වූ අතර එංගලන්ත ගුවන් ප්‍රහාරකයා බෙල්ජියම් වැසියෙකුට මෑතින් විය. උන්ට සෙවණ එක වහලකි. උන්ට සුවය එක අතෙකිනි. උන් හැමටම එක පිහිටකි. ඊඩිත් ජාතිය කිම කියා කියවන්නට නූගත් වී උන්නාය. නිළ ඇදුමෙහි වෙනස් පැහැ දකින්නට අන්ධ වී, උන් හැසිරි වෙනස් ඌරුවෙහි භාෂා නොඇසෙන්නට බිහිරී වී ගොස් උන්නාය. ඒ සියල්ල මැදින් මිනිසෙක් ය යන හැඩතල පමණක් ඈ හදුනාගත්තා ය. ඊට හැකි පමණ ඈ දන්නා හෙදකම ම වපුළා ය. සැවොම සුවපත් වූවෝ නොවුනෙන් මළැත්තෝ ඈ වළලෑවාය. සුවලද්දෝ තරවටු කර ඇමතූ ඈ අම්මා කෙනෙකු මෙන් හොර රහසේ උන් රතු කුරුස ලොරියක, කරත්තයක පටවා පිටමං කළාය.
අඩ වසරක් අවසානයේ විවිධාකාර වූ සොල්දාදු මිනිස් ජීවිත දෙසියයකට මදක් ඔබ්බෙන් බෙල්ජියම් හී ගිනිගත් මායිම්කඩෙන් ඔබ්බට නිරුපද්‍රිතව බේරා හරින්නට ඇය සමත් විය. නමුදු වැඩිකල් නොගොසින් මේ අහිංසාකාවිය ජර්මානු උකුසු ඇස් ඉදිරියේ සැකකාරී සාවියක වී උන්නෙන් උන්ගේ යෝධ දඩු අඩුව ඈ වෙත දිගු විය. 1915 හි අගෝස්තු තුන්වනදා ලේ වැකුණු හෙද නිළ ඇදුමින්ම සිටිය දී ඇය අත් අඩංගුවට ගැනුණි.

හමුදා අධිකරණයෙහි අතිසාධාරණීය ඒකපාර්ශ්වික නඩු විභාගයකින් රාජාපරාධය හා විශ්වාසය කඩ කිරීම යටතේ වැරදිකාරිය වූ ඈ වෙඩි තබා මරා දැමීමට නියම විය. සකළ ලෝකයම ඊට එරෙහිව සිය විරෝධය ලිඛිතව, ප්‍රකටව හා ආයාචනීයව දන්වා සිටියදී ස්වාධීන වූ උන්ගේ අධිකරණය නිවැරදිම තීන්දුව ලබා දී තිබිණි.

මරා දැමීමට පෙරදා රාත්‍රියේ ආගමික වතාවත් උදෙසා පැමිණි පියතුමන් ඇමතූ ඈ “ජාත්‍යාලය පමණක්ම තිබී කුමට ද පියතුමණි? අන්තිම මොහොතෙත් උන් එකෙකු හෝ නමින් උපන් ද්වේශයක් හෝ දොම්නසක් මට නැතැ’ යි කියා අවසානම වතාවට පවසා නිහඩ වීමට තීරණය කරගෙන තිබිණි.
1915 හි සීතල ඔක්තෝබරයේ සීතලම දිනයක් වූ දොළොස් වනදා උදෑසන හතට ස්කැබෙග් හී අධිකරණ භූමිය ඉදිරිපිට සිටුවා ලූ කාරුණිකත්වයේත් ආදරයේත් සියුමැලි මාංශ පොදිය විනිවිදින්නට හැඩිදැඩි ජර්මානු සෙබළුන් දහසයක්, උන් හා තරමට රෞද්‍ර වූ ගිනිඅවි අමෝරා බලා සිටියහ. ඈ නෙත කදුලකින් තෙමුණාද කියා නොදනිමි. ඒ උණුසුම් ආදර බින්දුවකින් සීතල කොපුලක් මොහොතකට උණුහුම් ව ගියේ දැයි කියන්නට සත්තකින් මම නොදනිමි. නමුදු ජීවිතය උදුරාගන්නා තත්පරයේ වුව පසුතැවීමක, බියෙක හෝ අමනාපයෙක ක්ෂ්ද්‍ර වූ සෙයක් ඈ නෙතින්, ඈ සියුමැලි මුවගින් පළ නොවුනේය කියා නිශ්චිතව කියන්නය හැකිය කියා හගිමි.

උණ්ඩයෙන් පෙණේරව ගිය සිරුර ඔසවා කොහේ හෝ වළදැමිණි. ඒ සමග ජර්මානු මනුෂ්‍යත්වය ද වළ දැමුණි කියා සිතුනේද? නැත මිතුර! එය වළලා තිබුනේ ඊට බොහෝ කලෙකට ඉහතය. පසුකලෙක හෝ ගොඩලන්නට නොහැකි වූ ගැඹුරක, නිරය හා සම ගැඹුරක එය වළලා දමා තිබිණි.
පළමු ලෝක යුද්ධයෙන් අහවර බ්‍රිතාන්‍ය හමුදාවෝ ඈ වළ ලූ වංහුං සොයා කුණු වී ඔජස් ගැලූ ශරීරස්කන්ධය ගොඩගෙන ඒ මත ගෞරවාදරයේ කෘතගුණ උත්සවශ්‍රීයෙන් කැටයම් කළහ. නමුදු ඒ සමග ආදරය, මනුෂ්‍යත්වය හෝ සමානාත්මතාවය ගොඩ ගැණුනේ නැත! ගොඩලන්ට එවැන්නක් තිබුණේය කියා උන් නොදැන වුන්නෙන් ඒ පිලිබදව උන් සිතා හෝ නොතිබිණි.

මිතුරණි, එකල් හී ඔබ?
මනුෂ්‍යත්වය, කෙදිනක හෝ වැළලී ද? කම් නැත! ගොඩගනිමු! වළලන්ට සිත් වීද? පසුබා තියාගමු! තවමත් ඔබ සතුද? එසේනම් එය තදව කිටි කිටිව ඇටමිදුල්ලට කිදාබසිනා ජවයකින් තුරුල් කරගමු! මන්ද, ඒ වළලා ගොඩයන්ට තරමට අප ජාතිය තවමත් දුප්පත් නොවී ඇති බැව් ඔබ හෘදසාක්ෂ්‍යම ඔබෙන් නිරන්තරයෙන් හඩලා අයදින බැවිනි.
හෘද සාක්ෂ්‍ය නොහඩවා මනුෂ්‍යත්වය ආදරයෙන් රැකගනිමු! සෙනෙහසින් සුරකිමු! ඒ සම තවත් වස්තුවක් නැත!
ඊඩිත් කැවල් සිතන්නට ඇත්තේද එලෙසිනැයි සිතමි!!

ප්‍රදීප් පීරිස්-Pradeep Peries





