තිඹිරියාගම බණ්ඩාර:
මීට දශක දෙකකට පමණ පෙර රාවය පුවත්පතේ මකරන්ද කවි පිටුව මා අතින් සැකසුණු අවධියෙහි සතියකට වරක් කාර්යාලයට කවියක් ලියාගෙන එන කිවි පොව්වෙක් සිටියා.
මුලින් ම මට ගෙනැත් දුන්නෙ මිල්ටන් මල්ලවාරච්චි අනුස්මරණය වෙනුවෙන් ලියැවණු අමුතු විදියේ විරිත් කවියක්.
කවිය හරි ලස්සනයි.
ඔහු ඒක ගෙනැත් දුන්නෙ සිරසෙ වැඩට යන ගමන්.මගෙ මතකයෙ හැටියට අවුරුදු විස්සක විතර නාඹරයෙක්.
භාෂණයටත් ප්‍රිය මනාපයි.
ඔහු ලිව්වෙම විරිත් කවි.
ඒ කවිවල අමුතු ලස්සනට මං පෙම් බැන්දා.ඒ බොහෝ කවි අප සිත්ගත් කලාකරුවන්ගේ ජීවන විතති ස්පර්ශ කළ අමුතු හැඩයක් ගත්තා.ඒක වෙන ම සෞන්දර්ය ප්‍රවාහයක්.
මේ කවිවල රහ නිසා ම එකල ඇතැම් කලාකටයුතුවලට ඔහු සම්බන්ධ කර ගැනුණා.ඒ වැඩේ එච්චර දුර නොගියේ ඔහු පුවත්පත් කලාවටම සින්න වුණු නිසා.

කවිය නිසා මට සමීප ව පසුව පුවත්පත් කලාවට පිවිසි බොහෝ නිර්මාණකරුවන්ට මා දුන් උපදේශය තමයි රැකියාවට හිරවෙලා නිර්මාණකරණයට සමුදෙන්න එපා කියන එක.
ඒ උපදෙස මටත් ලැබුණා කලකට පෙර…සයිමන් නවගත්තේගම,කේ.ජයතිලක,ධර්මසිරි ගමගේ,නන්දා මාලනී,ගුණදාස කපුගේ,මහාචාර්ය සෝමරත්න බාලසූරිය,ඩබ්ලියු.ඒ.අබේසිංහ,මහාචාර්ය ජිනදාස දනන්සූරිය යනාදීන්ගෙන්.
ඒ පණිවුඩයමයි මමත් මගේ මිතුරන්ට දුන්නේ.ප්‍රියන්තටත් මා නිතර කියූ දෙයක්….
ප්‍රියන්ත මට හමු වී බොහෝ කලකට පසුව ඉරිදා ලංකාදීපය නිසා නැවත එක ම තැනදි හමුවුණා.ජීවිතේ හැටි එහෙමයි.ඔහු ඒ වන විට කවියෙන් ද ගද්‍යයෙන් ද නම රැන්දූ දක්ෂ තීරු රචකයෙක්, සැර විවේචකයෙක්.
කලා ක්ෂේත්‍රයෙහි මානව සම්බන්ධතා පුළුල් කරගත් අයෙක්.
ඉතින් ඔහුගේ කවිවලින් අදත් කලාකරුවන්ගේ ජීවන සුවඳ හමනවා.ඒ සුවඳට මං කැමතියි.
ප්‍රියන්ත කොඩිප්පිලිට සුබ පැතුම්…..

තිඹිරියාගම බණ්ඩාර-Thimbiriyagama Bandara





