ආදරේ පුරාවෘත්ත

සාගර චන්දිමාල් මහතාගේ කුළුදුල් කවි පොත වන
” ආදරේ_පුරාවෘත්ත”
සුනෙර ප්‍රකාශනයක් ලෙසින් දොරට වැඩ ඇත.

ඔහුගේ කවි මුහුණු ,පොත හරහා වසර තුන හතරක් තිස්සේ කියවා ඇතත්, ඒ කවි පොතක් වශයෙන් එක පෙළට කියවන්නට ලැබීම අතිශය සතුටට කාරණාවකි!

ආදරය අතිසුලබ මාතෘකාවක් වන බැවින් ඒ පිළිබඳ ගෙතුණු කවි අනන්නත අප්‍රමාණව කියවා ඇතත් , රස විඳ අවසන් කළ නොහැකි විවිධ මාදිලි ඔස්සේ ආදරයේ විවිධ අවස්ථා , වඩා විචිත්‍ර ලෙසින් ඔහු කවියට නගා ඇතැයි එම පොත කියවන විට සිතිණි.

සාගර චන්දිමාල්

ආදරයේ මුල්ම හමුව කෙතරම් සුන්දරද?
ඒ හැඟීම් කෙබඳු ආකාරයෙන් දැනෙන්නේ ද යන්න ඔහුගේ පන්හිදින් මෙසේ ලියැවිණ .

” සරල රේඛාවක
නෙතින් නෙත යා වුන..

එක වරම
හද නැමැති
කේන්ද්‍රස්ථානය අක්‍රිය විය
නමුදු අප මිය ගියේද නැත

මොහොතකින්
හෘද රිද්මය වේගවත් විය
පපු ගැබින් මිදෙන තරමට ..

‘ඕක ලෙඩක් නෙවේ අනේ..’

පැවසුවා ඇය!

ඒක පාර්ශවීය ආදරය ඔහු දුටු එක් කෝණයක අපූරුව “සේද මාවතේ ප්‍රදීපාගාරය” කවිය තුළින්ම ගෙන හැර දැක්විම අගනේ යයි සිතමි.

බලා සිටින විට
වාරකන් මැද
විටෙක දැල්වී
සැනින් නිවෙන
පහන් සිළුවක් නුඹ

හීනියට .. බලාපොරොත්තු දෙන

නුඹ දැක
ඒකපාර්ශවික ප්‍රේමයෙන් අන්ධ වූ
නෞකා කෙතෙක්ද

පසු කලෙක
ඉම පෙනෙන මානයක
අතරමං වුණ…

ප්‍රේමයේ රස රහට දැනුනම
මනඃක්පීත ජීවින් නිර්මාණය වේ..
වෙනමම ලෝක මැවේ..
අපූර්ව කවි බිහිවේ..
“ප්‍රේමණීය මකරෙක්මි “
කවි පන්තියෙ එවැන්නකි.
විඳින්නකි..

මතකද ඒ රාත්‍රීන් තරු අතරින් වලාකුළු කපාගෙන අහසේ පාවුණ? සමහර නවාතැන් වුණේ සීතල ම සීතල කඳු මුදුන් එවිට ඔබ කිව්වා මතකද ඔබ ඉන්නා විට පලක් වෙද ගිනි උදුන්..? ඔව් මම මකරෙක් ගිනි පිඹින.. නමුත් නුඹ හෙලන එක බැල්මකින් එ ගිනි සැනින් නිවෙන…

කෙටි කාලීන වුවද හදට ප්‍රේමයක් කා වැදුන විට එය අමරණීය වේ.
ඒ කතා සදහටම සොඳුරුය.
ඉරණම විටෙක රුදු වීම සොඳුරු බව තුළ මොනවට විදහා පාමින්, පෙමක මතක ගැන ඔහු මෙලෙස ලියා තිබිණි.
ඔහු එහි විරහ වේදනාව සඟවා, පෙන්වා ඇතැයි මට සිතිණ.

තාවකාලික ප්‍රේමණීය වැස්සට ස්තූතියි , දේවදුනු මැකුවාට මෙතරම් ඉක්මනින් ඉතිං අවසරද මට යන්නට වැහි අහස ගැන මතක අරගෙන ඈතට ඊළඟ වැස්සට කලියෙන්

විරහවේ වේදනා සැනෙකින් පහව යන්නක් නොවේ..
සදාකාලිකය..
ප්‍රේමය හා සබැඳි බෝහෝ පුරුදු එසේම පවතින අතර,ඒව “සුන්දර ඇබ්බැහි වීම්” ලෙස මමද දකිමි.
ඒ ඇතැම් අවස්ථා ප්‍රේමය වියැකී ගියද තනිව හෝ විඳීමට සැබෑවටම ආදරය කළවුන් ප්‍රිය කරති.
මේ ඒ පිළිබඳව වෙනස් ම කියැවීමකි.

බස් එකේ දුර විස්සක
පයින්ම ගියා වැස්සක

සුපුරුදු කඩේ අස්සක
නැවතුණා හිත තියා
මතකයේ රස්නෙක ..

මහත්තයා තනියම ඇවිත් ඇයි
හැමදාම කෝපිම දෙකක්?

“මල්ලි අළුත්නෙ ..
මම තමයි මේ තැනට යන එන
පරණම කෙනා”

“ආදරය ගැන
ඌ මොනව දන්නවද “

ඒ ටික ලියැවුනේ හුස්මක …

මේ ආකාරයෙන් පෙම සබැඳි එකිනෙකට වෙනස් අපූරු අවස්ථා කවි සිත්තමක් ලෙසින් හදට දැනවූ විදි අගනේ ය. එමෙන්ම අපූර්වතම නව උපමා රූපක ආදියෙන් සම්ප්‍රයුක්තව ආදරය ගැන බෝමයක් කවි නව්‍ය රසයකින් දීමට කවියා දැරූ ප්‍රයත්නය සාර්ථක යැයි සිතමි.

ආදරයට අමතරව විවිධ මාතෘකා ඔස්සෙ අනගි ලෙස ලියැවුණ කවි බෝමයක්ද එහි විය.

ඒ අතරින් සිව්පද ආරට ලියැවුන බෝදිලිමා කවි පන්තිය අති විශිෂ්ඨ නිර්මාණයක් වගයි මගේ කියැවීම..

ජනප්‍රවාදයක් අනුභූති කොට ගෙන ඔහුගේම ආරකට කවි පන්තිය ගෙතී ඇත.
එහි ගැහැණු පිරිමි දෙපාර්ශ්වයට ම බෝදිලිමා විසින් දෙන (තර්ජනාත්මක) අවවාදයකින් කවි පෙළ අවසන් වී තිබිණි.

පාති පිරීමි ළඟ ඉඳ රස හැඟුම් නුරා
ගෑණු තොපි ය මෝඩ ම ඇති රිදුම් දරා
නීච ලෙසින් විඳවා යති නිරය කරා
ආමි පළිය ගන්න ට මහ රැයක හොරා

මේ ලෙසින් ආදරය , විරහව ඇතුළු අධි සංවේදී මාතෘකා ඔස්සේ ද,
(අ)දෝනා, බෙල්ලා , ආරක්ෂිත කලාපයක, මාගේ දේශය අවදි කරනු මැන,කවුරු මොනව කිව්වත් ආදී වූ විවිධ දුලබ අනුභූතින් ඔස්සේ නිදහස් ආර, සිව්පද සහ නිසදැස් ආකෘතින්ගෙන් සරල සුගම බස් වහර උපයෝගී කොට ගෙන ,කවි 55කින් හෙබි, ගතවන කාලය නොදැනෙන තරමට අපව සුන්දර කවි නිම්නයක සතපවන කවි ගොන්නක් අඩංගු පොතක් සාගර විසින් අප වෙත ඉදිරිපත් කොට ඇති වග කිව යුතුම ය.

සාරාංශ වශයෙන් ගත් කල,
විවිධ මානයන් ඔස්සෙ විවිධ අනුභූතින් කෙරේ ඔහුගේ අව්‍යාජ හැගුම් ඔහුගේම ආරකට සාර්ථකව උද්දීපනය කෙරුණු කෙටියෙන් කිවහොත් “පොළවෙ පය ගසා සිටින මිනිසෙකු විසින් රචිත තාත්වික කවි පොතක්” වශයෙන් මා මෙය යටි හිතෙහි තැම්පත් කොට ගතිමි.

හැමදාම කියනව වගේ විචාරයක් ලියන්නට තරම් ක්ෂේත්‍රය තුළ පරිණත නූනද, හිතට දැනෙන දේ අකුරු කරන්න ට කවර නං තහංචි ද?

එහි වූ කවි මෙහි එලූ පමණ ඕනෑවටත් වඩා වැඩි වග දනිමි.

තව කවි ලියතොත් කවියා මට විරුද්ධව නඩු දාතැයි බියෙන් අවසන් වශයෙන් මෙලෙස ලියා තබමි.

” කවිය තුල මා වාගේ ම ආධුනිකයෙකු වශයෙන්
ඔබ පෑ හපන්කම අනුව අතිවිශිෂ්ටය!

More From Author

සදාචාර සම්මතයන්ගේ පුරුෂමූලිකත්වය

ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘සිංදු ඇහෙන කවි පොතක්’ කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් 02.

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348