උදය ආර්. තෙන්නකෝන්:
-Limmath Thesis/ ලිමාත් ප්‍රවාද 2
කෙනෙකු එළඹි සිහියට පැමිණ තමාව කවුදැයි හඳුනා ගැනීමට කළොත්, තමාව හඳුනාගෙන ඇතැයි පිළිතුර ලැබී ඇත. නමුත් පිළිතුර අවසානය නම් එැතැනට ගමන් කිරීමට මාර්ගය සොයා ගත යුතු ය. තිබෙන මාර්ග වියවුල් වී ඇත් නම්, අලුත් මාර්ගය සොයා ගැනීමට අදාල නිසි ප්‍රශ්න හදා ගැනීමට හෝ සොයා ගැනීමට නො හැකි වී ඇත් නම්, අවසාන පිළිතුර ප්‍රශ්නයක් බවට පත් වේ.
විමුක්තිය යන්න පිළිතුර නම් විමුක්තිය උදාකර ගැනීමට ඇති ප්‍රශ්න මොනවාද? මෙය පරම දාර්ශනික ප්‍රකාශයකි. දාර්ශනික අදහස යථාර්ථයක් ලෙස ලංකාවේ රාජ්‍ය පාලනයටත් ජනතාව දෙසටත් ගළපා බැලීම යි මේ ප්‍රවාදයේ අරමුණ.
ඉහත අදහස දැන් බලයේ සිටින මාලිමාව ආණ්ඩුවට (ජනතා විමුක්ති පෙරමුණ) ගළපමින් කල්පනා කිරීමේ දී, මාලිමා ආණුඩුව පිළිතුර වී ඇත. එය අවසාන විමුක්තිය යැයි සමහරවිට නො සිතුවත්, එම පිළිතුර රටේ ජනයා විසින් සොයා ගත් පිළිතුර එය යි. දැන් ඇත්තේ මාර්ගය සඳහා නිසි ප්‍රශ්න සොයා ගැනීම ය. එහෙම නම්, මේ ප්‍රශ්න සොයා ගත යුත්තේ කවුරුන් විසින් ද.
ජනතාව විසින් ද?
පාලකයන් විසින් ද?
පිළිතුර ප්‍රදානය කර දුන් ජනයාට ප්‍රශ්න සොයා ගන්න කියා කීමට නො හැකි ය. ඔවුන්ට ඇත්තේ විශ්වාසයක් සහ බලාපොරොත්තුවකි. එනිසා ජනතාවට කරන්න දෙයක් නැත. එහෙම කියන්න පුළුවනි. ඒ වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති බව සපථ කිරීම ජවිපේ මාලිමාව විසින් ඉතා අලංකාරිකව සිදු කර ඇත. ඒ විශ්වාස කිරීම නිසා ලැබුණු පිළිතුර මාලිමාවට බලය ලැබීම යි.

මේ නිසා මාලිමාව යනු ජනාතාව ලබා දුන් පිළිතුර ය. පිළිතුර තුළ ඇත්තේ ජනතා ප්‍රශ්නයන් ය. මාර්ගයක් නැති දුක තැවරී ඇති ප්‍රශ්නයන් ය.
එදා මෙන්ම දැන් ද ජනතාවට කරන්න දෙයක් නැත. ජනතාවගේ ප්‍රශ්න යනු ඇත්තටම රටේ ප්‍රශ්නම ද. ඔව් ජනතාව යනු රටකට අයිති කොටසක් නම් ඔවුන්ගේ ප්‍රශ්න රටේ ප්‍රශ්න වේ. ජනතාව දුන් පිළිතුර යනු බලය යි. දී ඇති පිළිතුරට, ඒ තුළ ඇති ප්‍රශ්න සොයා ගත යුත්තේ එම වගකීම ගත් පාලකයන් ය.
දැන් ගැටලුව වී ඇත්තේ;
පිළිතුර ඇත. ඒ තුළ විසඳුම නැත. ප්‍රශ්න ඇත.
ඉතිං දැන් ගැටලුව ගැටලුවක් වී ඇත.
රටේ ප්‍රශ්න මොනවාද, ඒ ප්‍රශ්න ජනතාවගේ ද
නමුත් ජනතාව විසින් පිළිතුරක් දී ඇත. අයිඩියල් එකක්. එනම් පරමාදර්ශී පිළිතුරක් ය. මේ නිසා පිළිතුර බාරගත් පාලකයා විරුද්ධාභාසයක හිර වී ඇත. මොකද පිළිතුර ලැබුණට, ප්‍රශ්න තිබුණට, මාර්ගය තිබෙන බව කිව්වට, මාර්ගයක් නැති වීම නිසා ය. මේ නිසා ජනතා පිළිතුර මාලිමා ආණ්ඩුවේ නොවේ. ගැටලුවත් ඔවුන්ගේ නොවේ. මේ අර්ථයෙන් ජනතාව අවසානයේ ගිලටීනයට බෙල්ල තැබිය යුතු ය. “නඩුවත් ජනතාවගෙ, බඩුවත් ජනතාවගෙ” යන්න නව නූතන අප්තෝපදේශය විය යුත්තේ ය. අධිකරණය ශාන්තුවරයන්ගේ ය .
ඒත් ඇත්ත නම්, මෙවැනි නිගමනයකින් හෝ උපන්‍යාසයකින් පාලකයන්ට ගැළවිය හැකි ය. නමුත් රටකට ගැළවිය නො හැකි ය. සාමූහික වගකීමක් ලෙස පාලකයන්ට ද, ජනතාවට ද ගැළවිල්ලක් නැත. පාළකයා යහපත් නම්, ජනතාව ද යහපත් ය කියා කිව හැකි ය. ජනතාව යහපත් නම් පාලකයා ද යහපත් ය කියා ද කිව හැකි ය. ඒ අනුව සිදු වේ නම් රට ද යහපත් ය කියා කිව හැකි ය. නමුත් පූජකයන්ගේ ද දායකයන්ග් ද තරමට ය පංසල. එහෙම රටක් නම් තිබෙන්නේ නිවැරදි හා ගැලපෙන ප්‍රශ්න සොයා ගත හැකි වනු ඇත. නමුත් එය එසේ වන්නේ “යහපත” යන්න තුළ ය.
රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹරු පෙති සුනෙතින්
පුවත් නො දැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්
ගුත්තිලයේ එන මේ කවිය ඇයි මේ අවස්ථාවේ සිහියට ආවවේ?
අද රට, ජනතාව, සහ පාලකයා ඉන්නේ මෙවැනි අවස්ථාවක ය. බමන මතින් වෙසෙන පාලකයනුත්, ජනතාවටත් නිසා ලැබී ඇති පිළිතුරට නිසියාකාර ප්‍රශ්න තනාගත හැකි ද නො හැකි ද කියන ප්‍රශ්නය සොයා ගන්නන්ට ඇති ගැටලුව වී ඇත..

ජනතාවට වඩා පාලකායා එළඹි සිහියට පැමිණ නිසියාකාර ප්‍රශ්න සොයා ගත යුතු ය. ඒ වගකීමක් ලෙස විය හැකි වුවත් ජනතාවටයි පරම බලය ඇත්තේ කියා කීම සම්භාව්‍ය වචනයක් පමණක් වේ. ඒ නිසා දැන් දෙගොල්ලන්ටම බමන මතින් එළියට ඒමට සිදුව ඇත. නමුත් පරම බලය ඇතැයි සිතන ජනතාව බමන මතින්ම ජීවත් වීමට කැමැති ය.
එම ලාලසාව නිසා ම ජනතාව තමන් තබා ගෙන සිටි පාද රිද්මයෙන් පිට නො පැන ඉන්නේ යම් කාලයකට පමණි. එම රිද්මය ඉවර වෙන්නට කලින් වෙනත්/ අනෙක්/ පැරණි/ රිද්මයට පා තබනු ඇත. මේ නිසා ඔවුන්ට බුද්ධිමත් ජනතාව කියා ද කියති. අලුත් කියා ද කියති. ජනතාව එසේ වෙද්දී, පෙර නොවූ/ නොලැබූ/ නො සිතූ / පාලකයන්, අදට අනුව මාලිමා නායකයින් ජනතාවට වඩා මත්වීමෙන් උදේනී පුරය නටවති. ඔවුන්ට උන් හිටි තැන් අමතක වී යති. ජනතාව වෙනත් රිද්මයකට පාද තියා ලිස්සා යන තුරු මත් වූ පාලකයන්ට නො තෙරෙණු ඇත. හේතුව ගුත්තිලයට අනුව නම්, මේ දෙගොල්ලොම පුවත් නොදැන බමන මතින් සිටීම නම්, මෙහි අස්වනු නෙළන්නට සිදු වන්නේ රටට ය.එකට ය. එක මිටකට ය. මත් වී ඇත්තේ බලයට ය.
දැන් මුලින්ම ජනතාව පැත්තට හැරෙමු. ඒ දෙස බලමු.
ජනතාව යනු කවුද නොව ජනතාව යනු කුමක් ද.
ජීවයක්, ඥාණයක්, ආත්මයක් සහිත කියා හිතුවොත් ජනතාව යනු කවුද කියා ඇසිය/බැලිය යුතු ය. එවැන්නක් නැතිනම් “ජනතාව යනු කුමක්ද” යන අප්‍රාණවාචී නාමකරණයෙන් බැලිය යුතු ය.
එතකොට එහෙම කිව්වත්, දැන් එහෙම මේ ගැන බලන්නේ කවු ද
මේ ගැන බලන්න වෙන්නේ ජනතාව යනු කවුද සහ කුමක් ද කියන දෙකොටසම අතරේ සහ පිටත සිටින අයට යි.
ඉතිං ඒ අය කවුද
ඒ අයට කියන නමක් වෙන්නේ “සිවිල් ජනයා” කියන කොටස ය. මේ අය අර කියන ජනතාවගෙන් වෙනස්වන නිස යි මේ අය පාලකයාත් ජනතාවත් අතරට එන්නේ. මේ අයට පුළුවන් පාලකයාගේ පැත්තටත්, ජනතාවගේ පැත්තටත් පක්ෂපාතී වෙන්න. වෙනස් වුණත් ඒ ආකාරයටමයි ඉතිහාසය පුරාම දකින්නට ලැබී ඇත්තේ. ඒ අනුවයි මේ සිවිල් කියන කොටසත් පාලක පැත්තේ වුණත් ජනතාව පැත්තේ වුණත් විරුද්ධාභාසයකින් වැඩ කරන්නේ.
සිවිල් අය කවු ද
එදාට වඩා අද සිවිල් කියන එකයි ජනතාව කියන එකයි කියන දෙක දියාරු වෙලා තියෙන්නේ.
ජනතාව, සිවිල් සමාජය සහ පාලකයා කියන මේ තුන් කොටසම විනිවිද ගිහින් තියෙන්නේ. සිවිල් කට්ටිය යනු රාජ්‍යය හෝ ජනතාව හෝ කුමන පැත්තකට හරි දිය වෙන්න පුළුවන් සන්ක්‍රාන්ති කොටසක අවස්ථාවක් වී ඇත. මෙය අවස්ථාවක් වන නිසාම සිවිල් ක්‍රියාකාරිත්වය යනු අවස්ථාවාදයකි. මෙම වාදය නිසා “පිළිතුරට” ඇති ප්‍රශ්න නො මග යැවීමේ නියෝජිතයෝ සිවිල් කට්ටිය වේ.
සිවිල් සමාජය වෙනුවට සිවිල් කට්ටිය යනුවෙන් පැවැසීම කාලෝචිත වී ඇත. පැරණි හෝ බහුවිධ අර්ථයෙන් සිවිල් සමාජය කියා කියන්නට පුළුවන්කම තිබුණත්, සමාජයක් බවට පත් වීමට ඇති බාධකය ඔවුන්ගේ සිවිල්භාවයම හේතු වනු ඇත. එනම් ලාභයට ඇති ලෝබය ද උද්වේගයේ ඇති ද්වේශය ද මමත්වයේ ගිලුණු මෝහය ද යන මේ තුන් කට්ටුවේ ඇලී ගැලී පණු ගුලියක් වීම නිසා මේ සිවිල් කට්ටිය පිළිතුරටත් පෙර සිටම ගැටලු සොයා ගෙන ඇත..
නමුත් රටක් කියන අර්ථයෙන් බලද්දී, ජනතාවගේ සිට පාලකයා දක්වා ඇති පිරමිඩාකාරය තුළ සැරි සරන මේ සිවිල්භාවය මෙහෙය වනු ලබන්නේ තමා තුළ හෝ යම් එකතුවක් තුලින් යැයි කියා හිතනවාට වඩා වෙස් ය. ඔවුන්ව මෙහෙය වනු ලබන්නේ පිටතින් ය. මේ නිසා ලැබී ඇති පිළිතුර රට කියන අර්ථයට ගැලපිය හැකි ද යන්නවත් බලන්නට අවශ්‍ය නැත. ඔවුන්ට ඇත්තේ ගැටලු ය. නිර්මාණය කරන්නේ ද ගැටලු ය. මේ නිසා ඔවුන්ට ඒ වන විටත්, මේ වන විටත් ජනතාව දුන් “පිළිතුරට” ගැටලු සොයා ගෙන ඇත. ඔවුන්ගේ පිළිතුර ද ප්‍රශ්න ද සත්‍යය ඉක්මාවා ගොස් පශ්චාත් සත්‍යය වී ඇත. එම සත්‍යයන් මුල් බැස ඇත්තේ, රටට ජාතියට පිටතින් නම්, තමන්ටත් පිටතින් නම්, ඔවුන් සොයා ගන්නා ගැටලුවල පිළිතුර භාර වී ඇත්තේ වෙනත් උවමනාවකට නම්, මේ කියන සිවිල් කට්ටිය යනු කවුද යන අර්ථයෙන් නොවේ, කුමක් ද කියා සොයා බැලිය යුතු වේ.
ඉතිං කවුද මේ ගැන හොන්නේ?
කවුරු කාට අදාල වුණත්, මේ ගැන තේරුම් ගැනීමට ඇති හොඳම කැඩපත වන්නේ ජන මාධ්‍යය ය. ජන මාධ්‍යය කියනවට වඩා වෙළෙඳ ජන මාධ්‍යය කියන සන්දර්භට තව දුරටත් කුඩා කර ගත්තොත්, මේ අය කවුද/ කුමක්ද යන්න තේරුම් ගත හැකි වේ තවත් කුඩාකරගෙන වෙළෙඳ/සමාජ මාධ්‍ය කියන කැටගරියට අයත් යූ ටියුබ් කරුවන් ය.ඔවුන් හතර ගොල්ලකට හෝ බොහෝදුරට ඊටත් වඩා වැඩි විය හැකි වුවත්, හතරකට වර්ගකර බැලීම වටී.
පළමු වැන්න, පාලකයාන්ගේ පැත්තේ සිටින්නන්.
දෙවැන්න, ජනතාවගේ පැත්තේ යැයි කියමින් බලය ගන්න සැළසුම් කරන කොටස්වල පැත්‍තේ සිටින්නන්.
තුන්වැන්න ස්වාධීන යැයි කියා ක්‍රියා කරන්නන්.
මේ තුනට අමතරව වඩාත් හානිදායකම කොටස වන්නේ, මේ කොටස් තුනම නියෝජනය කරන බව පෙන්වමින් තමන්ගේ වාසියට කුණු මාළු වගේ අදාල නැති ප්‍රශ්න සොයා යමින් පිළිතුරත්, ප්‍රශ්නත් අවුල් කරන්නන් ය.
මාධ්‍ය තුළ වැඩි පිරිසකගේ කාර්යයන් මේ කොටසට අයත් වේ. ඔවුන් ජනතාවට පෙන්වන්නේ රට නැමැති ඉරයි. ජාතිය නැමැති සඳයි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ලිංගිකත්වය, පරිසරය නැමැති නෙප්චූන් ප්ලූටෝ වැනි ග්‍රහලෝකයි. එම එලිවලින් බැබලෙන්නේ තරු යි. අන්තිමට තරු විසි වී හොරු බිහි වෙති.
මේ හතර වැනි කොටස රාජ්‍යය සහ ජනතාව මෙහෙය වන්නෝ බවට පත්වන විකල්පීය කොටසයි. මේ අය හැම තැනම තීරණාත්මක කොටසක් කරනු ලබයි. ගෝඨාභය ගෙන ඒමටත් වගේම පළවා හැරීමටත්, මාලිමා ආණ්ඩුව ගෙන ඒමටත් ක්‍රියා කර ඇත. ඔවුන් රඟහලේ නළුවන් වැනි ය. අධ්‍යක්ෂකට, පිටපතට අනුව, සමහර විට තමන් විසින්ම කරගෙන ක්‍රියාත්මක වීම එහි ස්වභාවයයි. ඔවුන් සතුවන බව කියන දැනුම, කතිකත්වය, ලජ්ජා භය නැතිකම විසින් අලුත් බලයක් ආරෝපනය කර ගැනීම පශ්චාත් සත්‍යය වේ.
ඔවුන් සමාජය තුළ ආකාර්ශනීය වේ. පාලකයාත්, ජනතාවත් යන දෙකොටසම ඔවුන්ට අවනත වන තත්ත්වයකට පත් වේ. විශ්වාසය ගෙන එන ඥාතීන් වෙති. ඒක ඔවුන්ට ආශිර්වාදයක් වෙති. මේ නිසා පොලිය ලබාගත හැකි ප්‍රග්ධනයක් ඔවුන් සතු කර ගති. මූල්‍යමය වශයෙන් ද සංකේතමය වශයෙන් ද මේ ප්‍රාග්ධන මාදීලීන් දෙක රෙසිප්‍රෝකල් ලෙස ක්‍රියා කිරීම සිදු වෙති. එම නිසා, පිළිතුර ද ගැටලුව ද අවුල් කිරීමට හැකියාවක් ඇත. බොහෝ දුරට, සමහරවිට, මාලිමාව උත්තරය ලෙස ඇති බලය හෝ ජනතා කැමැත්ත එවැන්නක/ මෙවැන්නක ඵලයක්ම විය හැකි ය.
එහෙම නම් මේ අය කවුද යන්න කිව යුතු ය. හෙළි කළ යුතු ය. නෑ.. එහෙම කරන්න බෑ. මොකද ඔබ ඒක විශ්වාස කරන එකක් නෑ. අරයා කිව්වොත්, මෙයා කිව්වොත්, නෑ උනුත් නෙවෙයි, මුනුත් නෙවෙයි වෙනත් එවුන් කිව්වත් ඔබට විශ්වාසයක් ඇති වෙන එකක් නෑ. ඔබට එවැනි අය කිවුදැයි කියා හිතන්නට හැකියාවක් ලැබෙන එකක් නෑ. නමක් මතක් වුණත්, එහෙම හිතන එකක් නෑ. එහෙම නාමකරණය කළොත්, ඒත් එක්කම ඔබේ නාමකරණය ඔබ විසින්ම හෙළි කරගැනීම සිදු වන නිසා වන්නට ද පුළුවනි. එනිසා ඔබට එය කළ නො හැකි ය.
ඔබ රට කියන අර්ථයට වඩා ඔබ පක්ෂයට, පැත්තකට බර වී සිටී. ඇල වී දිගා වී පොල් ලෙල්ලක් ඇළ දිගේ ගලා ගෙන ගසා ගෙන යන බැවින් ඔබට ඒ දේ කරන්න බෑ. ඔබට මේ ලැබී ඇති පිළිතුරේ ගැටලු සොයා ගැනීමට හැකියාවක් නෑ.
එතකොට මේ කියන්නේ කවු ද
ඔබ කියා කියන්නේ කාට ද
ඉතින් මම මේ ඔබ කියා ඇමැතුවේ ඇත්ත වශයෙන්ම කාට ද. අන්කිසිවකු නොව මේ මටම ය. මේ මම ම ය. ඒ අනුව මම යනු කවුද නොව මම යනු කුමක් ද ය.
මම යනු පිළිතුර ය. පිළිතුර තුළ ඇති ප්‍රශ්න ද මම ය. සොයා ගත නො හැකි මටම ම ය. පාලකයා, ජනතාව, රට ජාතිය මම ය.

උදය ආර්. තෙන්නකෝන් – Udaya R. Thennakoon
Limmath Thesis/ ලිමාත් ප්‍රවාද
සූරිච් සිට ලියමි
22.08.2025





