සමහර දුකම හිතිච්ච වෙලාවල් වල මම ප්‍රාර්ථනා කරලා තියනවා මම හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් උනානම් හොඳයි කියලා… සමහරවිට ඔයත් එහෙම ප්‍රාර්ථනා කරපු වෙලාවල් ඇති… ඒත් ඇත්තටම දුක, සතුට, බය, පුදුමය, ආදරය වගේ හැඟීම් දැනෙන්නෙ නැතිවම ඉපදීම මොනවගේ දෙයක් වෙන්න පුළුවන්ද?
අන්න ඒ ගැන ලියවුණ පොතක් ගැනයි මේ කියන්න යන්නේ….
යුන්ජේ සාමාන්‍ය දරුවෙක් වගේ කියලා දකින කෙනෙක්ට හිතුණට, ඔහුව ආශ්‍රය කරණකොට අනික් අයට වැටහෙන්න ගන්නවා ඔහුගේ කුමක් නමුත් අමුත්තක් ඇති බව…. ඔහු සිනහ වෙන්නෙ නැහැ… අඬන්නෙත් නැහැ… කිසිම දේකට බයත් නැහැ…. කොහෙත්ම ඔහුට එවැනි හැඟීම් දැනීම් දැනෙන්නෙ නැහැ…. ඇත්තටම ඒක රෝගී තත්ත්වයක්… ඇලෙක්සිතීමියා (Alexithymia) කියලයි කියන්නේ… හැඟීම් හඳුනාගන්න සහ ප්‍රකාශ කරන්න ඇති නොහැකියාව…. මොළයේ හැඟීම් සම්බන්ධයෙන් වගකියන ඇමිග්ඩලාව නම් ආමන්ඩ් ඇටයක ස්වරූපය ඇති කොටස හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නේ…. ඉතින් මෙහෙම රෝගී තත්ත්වයක් එක්ක යුන්ජේ කොහොමද ජීවත් වෙන්නේ? ඔහු කොහොමද අනික් අයත් එක්ක සම්බන්ධතා ගොඩනගාගන්නේ? ඊටත් වඩා, ඔහුව සුව කරන්න පුළුවන් වෙයිද?
ඇලෙක්සිතීමියා කියන රෝගය සහිත දරුවෙක්ගේ කුඩා කාලයේ ඉඳන් තරුණ විය දක්වා, නොයෙක් හැලහැප්පීම් එක්ක ජීවිතය ගෙනියන හැටි ගැනයි මේ කතාව…. යුන්ජේ සහ ඔහුට හමුවෙන ඔහුගේම වයසේ දරුවෙක් වෙන “ගොන්” යන චරිත දෙක කේන්ද්‍ර කරගෙනයි කතාව ගෙතෙන්නේ….
යුන්ජේට හැඟීම් නොදැනෙන තරමටම, ගොන්ට හැඟීම් දැනෙනවා…. ඒත් ගොන්ට හැඟීම් පාලනය ගැන අවබෝධයක් නැහැ…. ඔහු සහ යුන්ජේ අතර ඇතිවෙන්නෙ අමුතුම විදියෙ බැඳීමක්… දෛවෝපගත සිද්ධියක් හා සමාන සිදුවීමක් නිසා ඔවුන් දෙදෙනා එකිනෙකාගේ මාවත් වලදි හමුවෙනවා…. ඒක අහිමිවීම් ඔස්සේ ඇතිවෙන බැඳීමක්… ඒත් යුන්ජේට අහිමිවීවේ වේදනාව තේරුම් ගන්න බැහැ සහ ඊට පරස්පරව ගොන් ඒ වේදනාව උපරිමයෙන් අත්විඳිනවා…. එක අතකින් යුන්ජේට මගහැරෙන දේ ගැන ඇතිවෙච්ච ශෝකයත්, අනික් අතට කටුක අත්දැකීම් වලටම මුහුණ දීපු ගොන් කෙරෙහි ඇතිවෙච්ච දුකත් එක්ක මිශ්‍රවුණ අනුකම්පාවක් සහ කම්පනයකුත් මේ චරිත දෙක ගැන මට දැනුණා…. සමහර අවස්ථාවලදි ගොන් විසින් අත්විඳින හැඟීම් යුන්ජේ විසින් අත්නොවිඳීම අසාධාරණ බවත්, අනික් අතට යුන්ජේට මුහුණ දෙන්න සිදුවුණ දරුණු සිදුවීම් එක්ක ඔහු හැඟීම් විරහිත වීම වාසනාවක් බවත් මට හැඟුණා… මුළු කතාව පුරාවටම මේවගේ නානාවිධ හැඟීම් මම අත්වින්දා….
හරිම සංවේදි සිදුවීම් මාලාවක් එක්ක ගලාගෙන යන මේ කතාව ආදරය, තනිකම, බය වගේ මිනිස් හැඟීම්, පුද්ගලයින් එකිනෙකා සමඟ ඇතිකරගන්නා සම්බන්ධතාවල ස්වරූපයන්, එකිනෙකා තේරුම් ගැනීම, කම්පනයන් සහ එයින් සුවවීම, ආදරයේ සහ තේරුම් ගැනීමේ වැදගත්කම වගේ තේමාවන් ගැන කතා කරනවා…. ඒ එක්කම හැම කෙනෙක්ම තමන්ගේම කාල රාමුවක කටයුතු කරන බවත්, තමන්ගේම වේගයකින් ගමන් කර බවත්, හිතක් සුවපත් කරන්නනම් අත්‍යාවශයම දේ ඉවසීම බවත් මේ කතාවෙන් කියනවා….
ඔයාලා කොරියානු ටෙලිනාට්‍ය බලනවනම් සමහරවිට දැකලා ඇති කොරියානු උසස් පාසල් වල තියන නවක වදය හා සමාන සිදුවීම්…. Bullying කියලා කියන්නේ…. කොහොමත් කොරියානුවන් හරිම තරඟකාරී පිරිසක් බවට ප්‍රසිද්ධයිනේ…. සිසුන් අතර වගේම වැඩිහිටි පිරිස් අතරත් හොඳම කෙනා වෙන්න තියන තරඟය මම දන්න විදියට අපේ ශ්‍රී ලංකාවට වඩා ගොඩක් වැඩියි…. මේ තරඟකාරී සමාජයේ වෙනස් කෙනෙක් වෙන එක කොයිතරම් නම් කටුක අත්දැකීමක්ද කියලයි යුන්ජේ ගෙ සහ ගොන් ගෙ චරිත ඔස්සෙ පෙන්නන්නේ…. එහෙම වෙනස් වෙන එක අනික් අයගේ වධ බන්ධන වලට පාත්‍ර වෙන්න මූලික සුදුසුකමක් විදියට දකින සමාජයක, එක් පුද්ගලයෙක් හරි තමන් වෙනුවෙන් ඉන්නවා කියන හැඟීම කෙනෙක්ට දනවන්න පුළුවන්නම් ඒක කොයිතරම් වෙනසක් නිර්මාණය කරනවද කියලත් මේ කතාවෙන් කියනවා… ඉතාම ගැඹුරු යටිපෙළක් එක්ක ගලපලා ලියපු සංවේදි සහ බලාපොරොත්තුව දනවන විදියෙ කතාවක් තමයි මේ….
Sohn Won-Pyung කියන කොරියානු ලේඛිකාව විසින් ලියපු මේ පොත 2020 වසරේ තමයි ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ…. Won-Pyung මේ පොත වෙනුවෙන් සම්මානයක් පවා දිනාගන්නවා…. ඒ වගේම ලොව පුරාම බොහෝ පාඨකයින්ගෙ අවධානය දිනාගන්න සමත්වුණ කතාවක් බවටත් පත්වෙනවා….

මේ පොතේ සිංහල පරිවර්තනය සිදුකරලා තියෙන්නෙ මහේෂි වීරකෝන් විසින්…. හරිම අපූරු පරිවර්තනයක්… යුන්ජේගෙ දෘෂ්ටි කෝණයෙන් ඔහුගේ සිතුවිලි ඔස්සේ, ඔහු කුඩා කාලයේ සිට වැඩිහිටි විය දක්වා කියන කතාවක් නිසා යොදාගන්නා බස්වහරත් ඊට ගැලපිය යුතුයි… පරිවර්තිකාව හරිම අපූරුවට ඒ කටයුත්ත සිද්ද කරලා තියනවා…. යුන්ජේගේ නොසැලෙන ගතියත්, ගොන්ගේ කුණාටුවක් වගේ ස්වභාවයත් හරියටම පෙන්නන විදියෙ බස්වහරකින්, ඉංග්‍රීසි කෘතියට උපරිම සාධාරණයක් කරමින් පරිවර්තනය සිදුකරලා තියන බව තමයි මගේ හැඟීම…. ඒ වෙනුවෙන් පරිවර්තිකාවට 10/10 ක්ම දෙන්න පුළුවන්….
එහෙනම් හැඟීම් නොදැනෙන යුන්ජේගේ සහ ඕනෑවටත් වඩා හැඟීම් දැනෙන ගොන්ගේ කතාව කොයි විදියටද ගලාගෙන යන්නෙ කියලා බලන්න ආමන්ඩ් කියවන්න…. සංවේදී කොරියානු ටෙලි නාට්‍යයක් බැලුවා හා සමාන හැඟීමක් සමහරවිට ඔයාට දැනේවි….

උදාරා සත්සරනී රණසිංහ-Udara Sathsarani Ranasinghe
📚Almond
📚Author: Sohn Won-Pyung
📚පරිවර්තනය: මහේෂි වීරකෝන්
📚පළමු පරිවර්තන වර්ෂය: 2024
📚පිටු: 222
📚ප්‍රකාශනය: බිසෝ ප්‍රකාශනයක්





