ගාමිණී මුතුකුමාරණ:
මේ ජායාරූපය 1983 වසරේ එකල සෝවියට් දේශයේ වසන්ත සමයේ දවසකි…
ලෙනින්ගේ දේහය තැන්පත් කර තිබෙන සොහොන් ගැබ අභියස මේ මහා ජනකාය එකා පසෙක පෙලගැසී සිටින්නේ ඔහුට ගෞරව දැක්වීමටය. එකල රුසියානුවන් මෙන්ම විදෙස්වල සිට දිනකට පැමිණෙන දහස් ගණනක මහා ජනකායක් රතු චතුරශ්‍රයේ දිගු පෝලිම්වල දැකීම සුලභ දසුනක්. එහෙත් 1991 මුල් භාගයේදී සෝවියට් සංගමය බිඳ වැටුණු පසු මේ මිනිස් පෝලිම අඩුවෙමින් තිබී ඇතැත් එය නැවත යථා තත්වයට පත් වෙමින් තිබේ. මොස්කව් මාධ්‍ය මගින් මේ බව පසුගියදා අනාවරණය කර තිබුනේ මෙලෙසිනි…

“සමකාලීන සෝවියට් අතීතය සැමරීමක් බඳු ලෙනින් සොහොන් ගැබ නැරඹීමට දෙස් විදෙස් ජනයා නැවත රතු චතුරශ්‍රයට අසලට“
ලෙනින් ජීවත් වුනා…
ලෙනින් ජීවත් වෙනවා…
ලෙනින් ජීවත් වෙයි !
කාව්‍යය පදයක එලෙස සදහන් කළේ රුසියානු මහා කවි ව්ලැඩිමීර් මායාකොව්ස්කිය. ලෙනින් මියගිය පසුවත් මායාකොව්ස්කි එලෙස පැවසුවේ ලෙනින් අනාගත මිනිසෙකු බව දැන සිටි හෙයිනි. ලෙනින්ගේ සොහොන් ගැබ මත පිහිටි, විනිශ්චය සභාව තුලදී ඔක්තෝබර් විප්ලවය සැමරීම හා මහා දේශප්‍රේමී යුද්ධය සැමරීම සිදු කෙරුණා. එය විප්ලවීය නිවාඩු දිනවල පක්ෂ නායකයින් රැස් වූ වැදගත්ම ස්ථානයක් ද වුනා. සෝවියට් සංගමය පැවති කාලයේ එහි නායකයින් පෙළපාළි නැරඹීම සිදුකල සංකේතාත්මක ස්ථානයක් ද වුනේ මේ සොහොන් ගැම ඉදිරිපිටය.

ලෙනින් මිය යාමට පෙර සිය දේහය පෙට්‍රොග්‍රෑඩ් හි ඔහුගේ මවගේ සුසාන භූමිය අසල භූමදාන කරන ලෙස ඉල්ලා තිබිණි. එහෙත් ඔහුගේ මරණයෙන් පසු රැස්වුනු හදිසි අවමංගල්‍ය කොමිසම ලෙනින්ගේ දේහය භූමදානය නොකොට සදාකාලික මතකයක් ලෙස රතු චතුරශ්‍රයේ ජීවමාන සොහොන් ගැබක තැන්පත් කිරීමට තීන්දු කෙරිණි. 1953 දී ස්ටාලින්ගේ මරණයෙන් පසු, ඔහුගේ දේහය ද එම්බාම් කර ලෙනින්ගේ දේහය අසල තැන්පත් කර තිබුනත් 1956 දී කෘෂ්චෙව් ගේ පාලනය විසින් ස්ටාලින්ගේ දේහය ඉන් ඉවත් කර වෙනත් සොහොන් බිමක තැන්පත් කළේය. ස්ටාලින් ගේ දේහය ලෙනින් අසලින් තැබීම සුදුසු නැතැයි කෘෂ්චෙව් පාලනය ගෙන තිබූ තීරණය හේතුවෙනි.

විද්‍යාඥයින් ලෙනින් ශරීරයේ භෞතික දේහය සෑම මාස දහ අටකට වරක් නැවත එම්බාම් කිරීමේ ක්‍රියා පටිපාටිවලට භාජනය කරයි. දශක ගණනාවක් පුරා, වෛද්‍යවරු ඔහුගේ ශරීරය සංරක්ෂණය කිරීම සඳහා නව ශිල්පීය ක්‍රම සංවර්ධනය කර ඇති අතර,ඔහුගේ මුහුණ, අත් සහ ඇඳුම පමණක් නරඹන්නාට දෘශ්‍යමාන වුවද, සොහොන් කොත් කණ්ඩායම ලෙනින්ගේ ශරීරයේ නම්‍යශීලීභාවය සහ ජීවයට සමාන ගුණාත්මකභාවයත් පවත්වා ගනී.
ලෙනින්ගේ සංරක්ෂිත දේහය ඔහුගේ මරණයෙන් පසු 20 වැනි සියවස පුරාමත්, 21වැනි සියවස දක්වාත් සුරකිව තිබේ. ලෙනින් ගේ සොහොන් ගැබ ඉවත් කිරීමට සෝවියට් සංගමය බිද වැටීමෙන් පසු කිහිප වරක්ම යෝජනා වී තිබුනත්, රුසියානු ජාතික ගීය තරමටම, ලෙනින් ගේ සොහොන් ගැබෙහි ඓතිහාසික වටිනා කමක් ඇතැයි ව්ලැඩිමීර් පුටින් කල අවසාන නිගමනය හේතුවෙන්, එය තවමත් සුරක්ෂිතව පවතී. 1991 න් පසු කඩා බිඳ දැමූ ලෙනින් හා ස්ටාලින්ගේ ප්‍රතිමා මොස්කව් හා වෙනත් නගරවල නැවත යථා පරිදි සකස් කිරීමේ වැඩපිලිවෙලක් ද මේවන විට සිදු වෙමින් පවතී.
සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු ලෙනින්ග්‍රෑඩ් නගරයේ මුල් නම වන ශාන්ත පීටර්ස්බර්ග් ලෙස වෙනස් කෙරුනත් එය නැවත ලෙනින්ග්‍රෑඩ් නගරය ලෙසින් නම් කිරීමටද පසුගිය දා යෝජනා වී තිබේ. ව්ලැඩිමීර් පුටින්ගේ මෙකී නව යෝජනා හා උත්සාහයන් සම්බන්ධව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ මෙය හුදෙක් රුසියාව නැවත කොමියුනිස්ට් රාජ්‍යයක් කරා යාමක් නොව ඔවුන්ගේ පෞරාණික වීරත්වය කරලියට ගැනීමේ උත්සාහයක් බවය.
ප්‍රංශ කොමියුනිස්ට්වාදියෙකු මෙන්ම පුවත්පත් කර්තෘවරයෙකු වූ මාර්සෙල් කැචින්,1924 ජනවාරි 22 දා ලෙනින්ගේ මරණය සිදුවූ පුවත ලද සැනින් මෙලෙස සටහනක් තැබුවේය.
“ඊයේ, දහවල් ලෙනින්ගේ මරණය පිළිබඳ පුවත L’Humanité හිදී අපට ලැබුණි . අපව වෙළාගත් වේදනාව සහ හැඟීම් අපට වචනවලට පරිවර්තනය කළ නොහැක. මාක්ස් සහ එංගල්ස්ගේ මරණයෙන් පසු, කිසිදු විප්ලවවාදියෙකු මෙම ශ්‍රේෂ්ඨ ගුරුවරුන් දෙදෙනාගේ මූලධර්මය එතරම් පුළුල් හා ප්‍රබල බුද්ධියකින් අධ්‍යයනය කර, අදහස් දැක්වූයේ හෝ වර්ධනය කර නොතිබුණි. පුවත්පත්වල, සම්මේලනවල කථාවල, පත්‍රිකාවල, පොත්වල – ඒවායින් සමහරක් ලෙනින් විසින් නිර්ධන පංති සටන් උණුසුමේදී ලියන ලද ඒවාය. ඔහු තම ආත්මයේ සාරය බවට පත් කළ මාක්ස්ගේ නිබන්ධන ආලෝකවත් කළේය, පැහැදිලි කළේය, ජීවමාන කළේය.”

ගාමිණි මුතුකුමාරණ-Gamini Muthukumarana





