“සංසාරබන්ධන”

මුල් පිටු කීපය කියවද්දී මුලින්ම ඇතිවූ කුතුහලය ඉදිරියට යද්දී තරමක් අඩු වූ අතර පිටු සියය පසු කළ විට පොත ඉක්මනින්ම කියවීමේ නොනිත් ආසාවක් හිත තුළ ඉපිද ආවේය.

ඒ මංද පෙර සසර, ආත්ම, සංසාර බැඳීම් ගැන කියවීමට මාගේ වැඩි කැමැත්තක් ඇති නිසා වීමට පුළුවන. මාගේද පළමු කතාවද සංසාර බන්ධනයක් ගැන ලියවුණු කතාවකි. ඒ මා පාසැල් යන කාලයේය. ඒවා ඇත්තටම සත්‍ය වශයෙන්ම සිදුවීද, සිදුවෙනවාද, සිදුවෙයිද කියා පාඨකයාට සිතෙන කතාය. නමුත් මේ විශ්වය තුළ අපට නොපෙනෙන බලවේග බොහෝ ඇත.

ඉතිං මෙහි එන රශ්මී ගැන මා සිතෙහි පහන් සිතුවිල්ලක් පොත ආරම්භයේ නොතිබුණ අතර, අවසානයේදී ඇය කෙරෙහි මා සිත වඩාත් පහන් විය

සේයා වැනි යහළුවන් අපිට හමු වන්නේ නැති තරම්ය. නමුත් මෙම කතාවේ විශ්මිට එවැනි චරිතයක් හමු වනු ඇත. තම යහළුවෙකු වෙනුවෙන් ඒ සා තරම් ආදරය කරුණාව දක්වන්නට හැකි අය සැබැවින්ම සංසාරයේ එකටම ආ අය විය යුතුමය.

මෙම කතාව ප්‍රබන්ධයක් යැයි විටෙක මට සිතුණි. නමුත් මෙවැනි කතාවල් සත්‍ය වශයෙන්ම සිදුවීමට ඉඩක් ඇත. ඒවා සමාජගත නොවීම වැළලී යන්නේමය. විය හැකිද යැයි විටෙක සිතෙන, ඇත්තටම විය හැකි යැයි තවත් විටෙක සිතෙන මෙය අපූර්ව වූ කතාවකි.

කතාව ආරම්භයේ සිටම පාඨකයා තමාගේ ලියවිල්ල හා යාකර තබන්නට ලේඛිකාවට හැකියාව ලැබී ඇත.

විටෙක පවුලේ කතාවක් සේ හැඟෙන, තවත් විටෙක අතීතය අපට නැවත මතක් කර දෙන කතාවක් සේද සිතෙන, නමුත් මූලිකවම සංසාරයේ එක මඟ යන්නට හමු වූ අයම ගැන ලියවී ඇති කතාවක් යැයි කතාව අවසන සිතිණි. ඒ මගේ සිතුවිල්ලය.

සඳමාලි වික්‍රමාරච්චි

ඉතාම සරල බස් වහර මා අගේ කරමි. සැබැවින්ම නව කතාවක් කියවන අය අතර විවිධ වූ අධ්‍යාපන මට්ටම් වල අය සිටිත්. අඩු අධ්‍යාපන ලාභියෙකුට වුවත් කියවා මනා සේ තේරුම් ගත හැකි අයුරින් ලියැවුණ මෙම කතාව වැඩිපුර සමාජගත වීමට එම සරල බස්වහර හේතුපාදක වනු නියතය. සැබැවින්ම සෑම අධ්‍යාපන මට්ටමකම අය වෙනුවෙන් නව කතා ලිවීම ගැන මා පෞද්ගලිකව කැමැතිය

මෙහි එන සියලුම චරිතවලට සාධාරණයක් ලේඛිකාව විසින් එක් කර ඇත. දින පොතෙහි බස හැසිරවීම සහ අනෙකුත් ලිවීම අතර වෙනස් වූ ලිවීම් ක්‍රම දෙකක් යොදා ගැනීම අතිශයින්ම ආකර්ෂණීයය.

මෙහි අවසානය ඇය ලියා ඇති සිදුවීම ඇයගේ සංසාර ගත පෙම විශ්මිට සේයා ත්‍යාගයක් ලෙස හිමි කරන්නට කටයුතු කළාය. මෙහි දෙවනි කොටස එන බව ඇය කියා තිබේ. නමුත් මාගේ පෞද්ගලික හැඟීම අනුව එම ත්‍යාගය කුමක්ද කියා දෙවන කොටස පටන් ගැනීමට තබා ගත්තා නං දෙවන කොටස බලන්නට පාඨක අපට උපරිම කුතුහලය මෙම මුල් කතාවෙන් ලෙබෙනු ඇත.

More From Author

ආචාර්ය මධුභාෂිණියට මල් මිටක්

“අමාලි නොදුටු සාපය” නවකතාව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348