සුදර්ශන සමරවීර:
සමකාලීන සිංහල ප්‍රබන්ධ කතාව පිළිබඳ නියැදියක්: The Routledge Companion to Sinhala Fiction from Post-War Sri Lanka
ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක සංස්කරණය කළ මේ පොත දින කිහිපයකට පෙර මා අත පත් විය. එය විදේශයකදී යෙදෙන තම උපන්දින සැමරුම දා අහම්බෙන් මෙන් නෑ-හිතමිතුරන් පිරිසක් මුණගැසීමක් බඳු අසිමත් සිදුවීමකි. මේ කෘතිය පළ වූ බව ආරංචි වූ කාලයේ සිටම මෙය පිළිබඳ උනන්දුවක් තිබුණද විවිධ හේතු නිසා එය කල් යමින් තිබිණ. මේ දිනවල මා යෙදී සිටින අධ්‍යයනවලට අදාළ කෘති ලැයිස්තුවක් සකස් කරමින් සිටින විට මේ පොත ගැන අවධානය යළි ඉස්මතු විණ. අපේ පුස්තකාලයේ පොත නැති නිසා ඉන්ටර්ලයිබ්‍රරරි ලෝන් සේවාව හරහා පොත ඉල්ලූ විට පසුදා වන විට ඔවුන් එහි ඊ පිටපතක් මා වෙත එවා තිබිණි. එහෙත් මට පොතෙහි දෘඪ පිටපතක් අවශ්‍ය බව යළි ලියා යැව්වෙමි. සතියකට පසු ඔවුන් විසින් පොත එවා තිබිණි. මේ කෙටි සටහන පොත අත පත් ප්‍රීතියෙනි.

මෙහි මූලික වශයෙන් එන්නේ කෘතියේ නමින්ම ඉඟි කෙරෙන පරිදි -පශ්චාත්-යුධ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රබන්ධ කතා-ය. එනම් 2009න් පසු ලංකාවේ ප්‍රබන්ධකතාකරුවන් සිංහලෙන් ලියූ කෙටිකතා සහ නවකතාවල තෝරාගත් නියැඳියකි. සමකාලීන සිංහල රචකයන් දාහතරදෙනෙකුගේ තෝරාගත් කෙටිකතා පහළොවක පරිවර්තන සහ නවකතා නවයක තෝරාගත් උද්ධෘත කොටස් අඩංගු වේ. මෙය හුදෙක් තෝරාගත් රචකයන් කිහිපදෙනෙකුගේ රසවත් සිංහල කෙටිකතා සහ ඇතැම් සිංහල නවකතාවල කොටස් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමකට වඩා අධයාපනික වශයෙන් වැදගත්කමක් ඇති මැදිහත්වීමක් බව අවධාරණය කළ යුතුය.
පොතේ කෘතියෙහි හැඳින්වීම් නාමය සිවිල් යුද්ධය හා සම්බන්ධ වන පරිදිම එහි එන බොහෝමයක් නිර්මාණ යම් යම් ආකාරවලින් හා යම් යම් පරිමාණවලින් සිවිල් යුද්ධයේ ඇතැම් පසබිම් චිත්‍රණය කරයි. සිවිල් යුද්ධයේ බලපෑම සමකාලීන ලංකික ජන ජීවිතයට කොයිතරම් බලපාන්නේද යත් මෙකල ලියැවෙන ඕනෑම ප්‍රබන්ධ කතාවක පාහේ යන්තමින් හෝ එම අර්බුදයේ සෙවණැලි වැටී තිබිය හැකිය. ඒ එසේවුවත් – මේ කතා හැම එකකම පාහේ කිසියම් සිවිල්-යුද සෙවණැල්ලක් තිබුණත් මේවා ඉඳුරාම යුධ-කතා නොවේ.
සමකාලීන ලංකාවේ මානව අත්දැකීම චිත්‍රණය කෙරෙන කතාය. ඒ අර්ථයෙන් මේ කතාවල එන්නේ සමකාලීන ශ්‍රී ලාංකිකයාගේ පොදු ජීවන අත්දැකීම කිව හැකිය. මා මේ කෘතිය සමකාලීන සිංහල ප්‍රබන්ධ කතාව පිළිබඳ නියැඳියක්ය කීවේ ඒ නිසාය. ආචාර්ය මධුභාෂිණීගේ මේ කෘතියට හැඳින්වීම සහ මහාචාර්ය සසංක පෙරේරාගේ පෙරවදන මගින් සිංහල ප්‍රබන්ධ කතාවේ ආඛ්‍යාන කලාත්මකත්වය, තේමාත්මක කලාප මෙන්ම සාහිත්‍ය සහ සමාජය අතර වන කතිකාව පිළිබඳ වැදගත් අන්තර්දෘෂ්ටි සපයයි. ඒ අයගේ අදහස් සිංහල ප්‍රබන්ධ කතාව පිළිබඳ උනන්දු අය සංවාදයට ගැනීම වැදගත්ය. ඒ ගැන වෙනම සටහනක් ලියන්නට සිතා ඉමි. මේ කෙටි සටහන මේ පොතේ අධ්‍යාපනික වැදගත්කම අවධාරණය පිණිස පමණි.

මා ඉහත කියූ ලෙස හුදු යුධ-අත්දැකීම් නිරූපිත කතා වෙනුවට සමකාලීන ලංකාව වටහාගැනීමටද කවුළුවක් විවර කරමිනි මෙම කෘතිය සංස්කරණය කර ඇත්තේ. ඇය මෙහි එන කතා ප්‍රධාන තේමා දහයක් යටතේ කාණ්ඩ කොට තිබේ.
- Tamil Identity, Ethnic Politics, and Violence
- Environment, Land, and Ethnic Competition
- Sinhala and Muslim Politics
- Women in Conflict
- Economy, Class, and Violence
- Religion, Faith, and Politics
- Media and Censorship
- Militarization of Society
- Corruption as an Everyday Event
- Alienation in Societies with Conflict
අජිත් තිලසේන, ජයතිලක කම්මැල්ලවීර, එරික් ඉලයප්ආරච්චි, ටෙනිසන් පෙරේරා, කීර්ති වැලිසරගේ, ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම්, ප්‍රභාත් ජයසිංහ, සුනේත්‍රා රාජකරුණානායක, බටුවන්ගල රාහුල, කත්‍යානා අමරසිංහ, කෞෂල්‍ය කුමාරසිංහ සහ කුමාරි කුමාරගමගේ යන අය වර්තමානයේ අපට සිටින වැදගත්ම සිංහල ලේඛක ලේඛිකාවන් අතර සිටින බවට විවාදයක් නැත.
මේ වැදගත් සිංහල ලේඛකයන්ගේ රචනා සහ ලාංකික සමාජය අතර කතිකාමය සම්බන්ධය පිළිබඳ ආචාර්ය මධුභාෂිණීගේ වර්ගීකරණයද අගනා එකකි. ඒ නිසා මෙම කෘතිය ජනවාර්ගික අධ්‍යයන, යුද්ධය හා සාම අධ්‍යයන, සංස්කෘතික අධ්‍යයන, දේශපාලනික සමාජ විද්‍යාව, දකුණු ආසියානු අධ්‍යයන, පශ්චාත් යටත්විජිත අධ්‍යයන, තුලනාත්මක සාහිත්‍යය ආදිය හදාරන අප වැනි ශිෂ්‍යයන්ට, පර්යේෂකයන්ට, ගුරුවරුන්ට මෙන්ම ආසියාව හෝ ශ්‍රී ලංකාව පිළිබද උනන්දු පොදු පාඨකයාට අධ්‍යාපනික වශයෙන් මෙය ඉතා වටිනා මූලාශ්‍රයකි. උදාහරණයක් ලෙස මෙවැනි කෘතියක් මගින් ලංකාවේ සාහිත්‍ය නිර්මාණ පාදක කරගෙන විවිධ පර්යේෂණවල නිරත වෙන මා වැනි විද්‍යාර්ථීන්ට මෙවැනි කෘතියක් උපකාරයකි. එමගින් ඇති කෙරෙන අධ්‍යන කාර්යක්ෂමතාව සහ පහසුව අප යෙදෙනවල අධ්‍යන ප්‍රතිඵලවල ගුණාත්මකභාවය වෙත ආලෝකය සපයයි.
අප හැමෝම දන්නා පරිදි සිංහල සාහිත්‍ය පිළිබඳ ජාත්‍යන්තර අවධානය ඒ තරම් සතුටුදායක එකක් නොවේ. ශ්‍රී ලාංකික සාහිත්‍ය ලෙස අප කියවන -ලාංකික දෙමළ- සහ -ලාංකික ඉංග්‍රීසි- ලේඛකයන්ගේ නිර්මාණ වෙත සිංහල නිර්මාණකරුවන්ට සාපේක්ෂව තරමක අවධානයක් යොමු වී ඇති බවත් ඇත්තය. මහාචාර්ය සසංක පෙරේරා මේ කෘතියෙහි පෙරවනද තුළද නාම මාත්කරිකව ඒ කාරණයට එයි. මා දැනට අත්දැක ඇති පරිදි මෙය මුළුමනින්ම එකඟවිය හැකි තත්ත්වයකි. අනෙක් අතට ලංකාවේ ලියැවෙන දෙමළ හෝ ඉංග්‍රීසි ප්‍රබන්ධ කතා, කවි ඇතුළු සාහිත්‍ය භාවිතයට වඩා සිංහල භාෂාවෙන් කෙරෙන නිර්මාණවල සාහිත්යික විශිෂ්ටතාව, ආඛ්‍යාන කලාත්මකත්වය, තේමාත්මක සංකීර්ණතා චිත්‍රණය කිරීම ආදියෙන් අනෙක් භාෂා දෙකෙහි නිර්මාණකරණයට වඩා -උසස්- භාවිතයකින් යුතු බව ඇතැම් අය කියනු මා අසා ඇත. ඒ භාෂා දෙකටම වඩා ප්‍රමාණාත්මකව නිර්මාණ කෘති විශාල ප්‍රමාණයක් සිංහල භාෂවෙන් ලංකාව තුළ පළවන බවද ඇත්තකි. මේ සියල්ල මැද සිංහල සාහිත්‍ය සංස්කෘතිය පෝෂණයෙහිලා වැදගත්ම අංගයක් ලෙස පරිවර්තයේ අව්‍යතාව පෙනෙන්ට තිබෙන බව කවුරුත් පිළිගනිති.
මා ඉහත කියූ ආකාරයේ විද්‍යාර්ථීන්ට සිංහල සාහිත්‍ය කෘති ඉංග්‍රීසියෙන් කියවන්නට නැති වීම විශාල ගැටලුවක් බව මා මීට පෙරෙද ලියා තිබේ. ඒ අර්ථයෙන් ආචාර්ය මධුභාෂිණීගේ මෙම මැදිහත්වීම ඉහත කී අධ්‍යයන ක්ෂේත්‍ර සහ සිංහල සාහිත්‍ය අතර පාලමක් තැනීමකි. සිංහල සාහිත්‍ය සමාජය සහ ගෝලීය අධ්‍යයන අතර ඇති පරතරය පියවීමේ අනගි උත්සාහයකි. මා මේ සටහන ලියන්නේ ඒ මැදිහත්වීම ගැන ගෞරවයෙනි.
අනෙක් අතට මේ කෘතියෙහි එන පරිවර්තන සහ මුල් කෘති අතර ඇති සම්බන්ධය පිළිබඳ අවධානය දෙන විට මට සිතෙන්නේ මේවා සාහිත්‍ය නිර්මාණයක මූලික කලාත්මක කාර්යය (සෞන්දර්යමය ගොඩනැංවීම) සැලකිය යුතු තරම් ගිලිහී ඇති බවකි. ඒ, මට සාහිත්‍ය රසිකයෙකු ලෙස මේ කතා මගින් ඇති කළ නැවුම් බව අඩුවෙන් දැනුණු නිසා වන්නට පුළුවන. මා ඉන් අදහස් කරන්නේ මේවා -දුර්වල පරිවර්තන- බව කියැවෙන පැතලි කියුම නොවේ. මෙහි එන ටෙනිසන්පෙ රේරාගේ -උන්මාද මන්දිර- නමැති ප්‍රබන්ධය හැරෙන්නට ඇනෙක් සියලුම කෘති මා විසින් සිංහලෙන් කියවා තිබේ. ඒ නිසා මා මේ කතා ඉංග්‍රීසියෙන් කියවන විට මව්භාෂාවෙන් කියවා ලද කලාත්මක ප්‍රීතිය මගහැරෙන බව අමුත්තක් නොවේ.
ඇතැම් දීර්ඝ නවකතාවලින් කඩාගත් ඇතැම් කොටස් පමණක් කියවීමෙන් නවකතාවේ ආනන්දය ලැබිය නොහැකි බවද අලුතින් කියන්නට දෙයක් නැත. ඇය ඒ ගැන ඉතාම සවිඥානිකය. ඇය සිදු කොට ඇත්තේ සිංහල ප්‍රබන්ධ කතාව සහ පශ්චාත් යුධ ලංකාවේ ගතිකයන් සිංහල සාහිත්‍යයෙහි නිරූපණය වන අකාරය පිළිබඳ නියැඳියක් සංග්‍රහ කරමින් ඒ වෙත ගෝලීය අවධානය යොමු කරවීමයි. ඒ අර්ථයෙන් කෘතියෙහි වන මෙම සීමාව මෙවැනි කෘතියක නෛසර්ගිකව පැන නගින්නක් විය හැකිය. අනික් අතට මෙහි එන්නේ විවිධ ආඛ්‍යාන ශෛලීන්අ නුගමනය කරන, නොයෙක් සාහිත්යික අත්හදාබැලීම් අභ්‍යාස කරන, ලේඛනය පිළිබඳ විවිධ භාෂාත්මක අනන්‍යතාවන් ගාඩනගාගත්, එකිනෙකට වෙනස් නිර්මාණක භාවිත හා උපායන් අනුගමනය කොට ඇති අයගේ කෘතිය. එවැනි විසිරුණු – ගතික – සමරවිට එකිනෙකාට පරස්පර කලාත්මක අගයන් විශද කරන මේ ප්‍රබන්ධ එක කෘතියක සංගෘහිත වීම අසිරිමත් වැඩකි. එය පරිවර්තකයාට විශාල අභියෝගයකි.
එරික් ඉලයප්ආරච්චි, ලියනගේ අමරකීර්ති, නිශ්ශංක විජේමාන්න හෝ ප්‍රභාත් ජයසිංහ එසේත් නැතිනම් කෞෂල්‍ය කුමාරසිංහ වැනි අයගේ ශෛලීන් සහ නිර්මාණක එළඹුම් කෙතරම් වෙනස්ද? මෙවැනි පරිවර්තන කෘතියකදී එසේ එක් එක් නිර්මාණකරුවාගේ අනන්‍යතාව ඉස්මතු සේ කෘතිය සම්පාදනය කිරීම අතිශය බරපතල අභියෝගයක් බවට සැක නැත. කෙතරම් ශූර පරිවර්තයෙකුට වුවත් මේ සා ගතිකවත් නිර්මාණකරුවන්ගේ කෘති එක හා සමානව ඒ ඒ කෘතියට අනන්‍යසාධාරණ ලෙස පරිවර්තනය කළ හැකි යැයි අප සිතිය යුතුද නැත.

මා තවම මෙම කෘතියෙහි එන කතා සම්පූර්ණයෙන් කියවා අවසන් නැත. ආචාර්ය මධුභාෂිණී රත්නායක ප්‍රබන්ධ කතා රචනයේ යෙදෙන ලේඛිකාවක් මෙන්ම නිර්මාණාත්මක රචනය පිළිබඳ ආචාර්ය උපාධි මට්ටමේ පුහුණුවක් ඇති අයෙකි. ඉතිං ඇය මෙවැනි කෘතියක් සම්පාදනයට වඩාත් සුදුසුකම් ඇති අයෙක් බව පැහැදිලිය. ඉංග්‍රීසි භාෂා ලෝකයට අලුතින් පැමිණ සිටින මා වැනි අයෙක්ට මෙවැනි කෘතියක ඇති සංකීර්ණතා මගහැරෙන්නට හොඳටම ඉඩ තිබේ. කෙසේවෙතත් මේ කෘතිය එවැනි සීමාවන් ඉක්මවන අධ්‍යාපනික වශයෙන් ඉතාම වැදගත් මූලාශ්‍ර සම්පාදනයක් බව නැවත කියමි.
මා මේ සටහනෙහි නැවත නැවත අවධාරණය කරන මේ -අධ්‍යාපනික වැගත්කම- විසින්ම කෘතියෙහි තවත් සීමාවන් සලකුණු කරයි. ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි පාඨමාලාවල සාමාන්‍යයෙන් කලාතුරකින් පමණක් හමුවන පෙළ පොතක් තරම් ඉහළ මිලකින් යුතු එකක් වීම නිසා මෙය වැඩි පාඨක පිරිසක් අතරට යෑම එය විසින්ම සීමා කෙනෙ බව අත්දකින්නට තිබේ. ඉන්ටර්ලයිබ්‍රරරි ලෝන් සේවාවන් හරහා පොත් කියවන්නට වැඩි පිරිසකට අවස්ථා නොයෙදේ. අනෙක් අතට -පශ්චාත් යුධ ලංකාවේ සිංහල ප්‍රබන්ධ කතා කලාව පිළිබඳ නියැඳියක්- ලෙස ගෙන ආචාර්ය මධුභාෂිණී විසින් ප්‍රබන්ධ කතාව කාණ්ඩ කොට ඇති ආකාරයට අනුව ඒ ඒ කාණ්ඩවලට අදාළව ලියැවුණු හොඳම නිදර්ශන මේවාද යන්න කෙනෙකුට ඇසිය හැකිය.
මෙහි එන කෙටිකතා මෙන්ම අහම්බකාරක, ධරණි, තාරා මගේ දෙව්දුව, බුද්ධදාසි, මේ රහස් කවුළුවෙන් එබෙන්න, හඳ පළුව තනි තරුව, රන් කරඬුව වැනි නවකතා මෑත කාලයෙහි සිංහලෙන් ලියැවුණු ඉතාම වැදගත් කෘති බව අවිවාදිතය. එවැනිම ආකාරයේ තවත් ප්‍රබන්ධ මෙහි ඇතළත් කරන්නට තරම් මෙවැනි කෘතියක ඉඩහසර හරස් වන්නටද පුළුවන. මේ ආකාරයේ තවත් කෘති කිහිපයක්වත් සංස්කරණය කෙරෙන්නේ නම් මෙවැනි සීමා අභිබවා යා හැකිය. අනෙක් අතට සාහිත්‍යය යනු ඒක පුද්ගල රසවින්දනය කේන්ද්‍ර කරගත් මාධ්‍යයක් නිසා විද්‍යාර්ථීන් අතර විවිධ පරස්පරතා ඇති වීම නොවැළක්විය හැකි දෙයකි. නමුත් ශාස්ත්‍රවන්තයෙකු වැඩ කරන්නේ හුදු ඒක පුද්ගල තෝරාගැනීම් සහ පුද්ගලික අනුකූලතාවලට ඔබ්බෙන් පොදු පදනමකිනි. න්‍යායික එළඹුම් සමගිනි. මේ අර්ථයෙන් විමසන විට මට මේ කෘතියෙහි ඇතැම් ලුහුඬුතා පෙනෙන්නට ගනියි. මේ තේරිම්වල ඇතැම් ආංශික නැමියාවල සංකා පහළ වෙයි. උදාහරණයක් ලෙස නිශ්ශංක විජේමාන්නගේ -තාරා මගේ දෙව්දුව- නවකතාවේ කොටස්වල පරිවර්තන එන නමුදු ඒ පරම්පරාවේ තවත් වැදගත්ලේ ඛකයෙකු වන ආරියවංශ අබේසේකරගේ -මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්- වැනි නවකතාවක් මගහැරෙන්නේ කෙසේද කියා ප්‍රශ්න කළ හැකිය.

අනික් අතට වාර්ගික යුද්ධය හා සෘජු සම්බන්ධයක් නැති නවකතා දෙකක් වන කෞෂල්‍ය කුමාරසිංහගේ -මේ රහස් කවුළුවෙන් එබෙන්න- සහ -නිම්නාගේ ඉතිහාසය- යන නවකතා දෙකෙහිම උද්ධෘත සංග්‍රහ කෙරෙන මේ කෘතියෙ හිමංජුල වෙඩිවර්ධනගේ -මගේ ආදරණීය යක්ෂණී- වැනි නවකතාවක් මගහරියි. මා සිතන ආකාරයට වාර්ගික යුද්ධය පිළිබඳ සිංහලෙන් ලියා ඇති ලේඛකයන් අතර ප්‍රධානම කෙනෙක් තමයි මංජුල වෙඩිවර්ධන. මෙවැනි කෘතියක ඔහුගේ ප්‍රබන්ධයක් පළ නොවීම සිංහල සාහිත්‍ය සහ මෙහි එන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයෙකු නොමග යවන්නක්ද වන්නට ඉඩ තිබේ.

අනෙක් අතට විශාකේස චන්ද්‍රෙස්කරම්ගේ -රජ සහ ඝාතකයා-වැනි කෘතියක්ද මේ අතරෙහිලා මගහැරිය නොහැකි එකකි. ඔහුගේ නවකතාව නම් ඉංග්‍රීසියෙන්ද පළ වී තිබේ. මේ ආකාරයට මෙම කෘතිය තුළ අඩංගු විය යුතුයි කියා සිතෙන තවත් කතා ඉබේටම සිහියට එයි. මේ කෘතියේ කාණ්ඩ කොට ඇති අප ඉහත සාරාංශ කළ එක් එක් ක්ෂේත්‍ර ආවරණය කෙරෙන වඩාත් අන්තර්දෘෂ්ටිකවත් ප්‍රබන්ධ අවස්ථා මේ කෘතියේ එන ලේඛකයන් විසින්ම වෙනත් තැන්වල ලියා ඇති බවක්ද හැඟේ. මා මේ කියන දේවල් මෙවැනි කෘතියක් කියවන ඕනෑම කෙනෙකුට සිතෙන ඒවා විය හැකිය. මේවා මෙසේ ලිවීම අශාස්ත්‍රීය ප්‍රවේශයක් බව දනිමි. එහෙත් මෙවැනි ෆේස්බුක් සටහනක ඒවා නිදර්ශන ලෙස ගෙන දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට ඉඩක්ද නැත. අනෙක මෙවැනි හැඟීම් මගින් මේ කෘතියේ වැදගත්කම අවතේක්සේරු කෙරෙතියිද මම නොසිතමි. මෙමගින් නැවත කියැවෙන්නේ මෙවැනි සාහිත්යික සහ ශාස්ත්‍රාලයික මැදිහත්වීමක ඇති බැරෑරුම්කමයි. සිංහල සාහිත්‍ය පිළිබඳ කතිකාව විකල්ප අවකාශවලත් ගෝලීය අධ්‍යාපන අවකාශවලත් දැල්වෙනු දකින බලාපොරොත්තු මෙවැනි කෘති නිසා ලියලයි. ආචාර්ය මධුභාෂීණීට කෘතවේදීත්වය උණුසුම් හදවතින් ලියා යැවීම පිණිස මේ සටහන මෙහි පළ කරමි

Sudarshana Samaraweera – සුදර්ශන සමරවීර





