” මා තදින් ආදරය කළ කාන්තාව ( ආදර කවි විස්සක් පොතේ සෑම කවියක්ම පාහේ මා ලිවුවේ ඇයටය. )
පිටුව 87
‘ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක්’ පැබ්ලෝ නෙරූදා විසින් රචිත Twenty Love Poems and a Song of Despair කෘතියෙහි සාර්ථක සිංහල පරිවර්තනයකි.

Book by Pablo Neruda
නිර්මාණයක් රස විඳීමේදී නිර්මාණකරුවා අමතක කර දැමිය යුතු වූවත් නෙරූදා අමතක කර නෙරූදාගේ කවි කියවීම පෞද්ගලිකව අපහසු කටයුත්තකි.
ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. දේශපාලකයෙකි. ස්ත්‍රී ලෝලියෙකි. නොබෙල් ත්‍යාගලාභී කවියෙකි.
ආදර කවි විස්සක් සහ සුන් පැතුම් ගීතාවක් යනු නෙරූදාව විශිෂ්ට කවියෙකු ලෙස ලෝකය ඉදිරියට ගෙනගිය කවි පොතයි. එය ඔහු ඇල්බර්ටීනා නම් ඔහුගේ හිටපු පෙම්වතියක් වෙනුවෙන් ලියා ඇති අතර ලොව වැඩිම අලෙවියක් ඇති කවි පොත් අතර ඉදිරියෙන්ම ඇති කෘතියකි.
නෙරූදාගේ කවියේ විශේෂත්වයකි. ඔහුගේ කවි උපදින්නේ ඔහුගේ රුධිරයෙන් යැයි කෙනෙකුට හැඟෙනා තරමට මේ කවි තුළ ඔහුගේ හැඟීම් ප්‍රකාශනය ප්‍රබලය. භාෂා භාවිතය විශිෂ්ටය. බිහිසුණුය. හදවතෙහි ලැගුම් ගන්නා සුළුය… නෙරූඩාගේ ජීවිතයේ කැළඹිලි සහිත කාල පරිච්ඡේදයක ලියැවුණු මෙම කවි තුළ ,ඇල්බර්ටීනා පිළිබඳ ඔහු තුළ වූ අනුරාගික ආදරයේ තීව්‍රතාව, ඇගෙන් ප්‍රතික්ෂේප වීම නිසා ඇති වූ හදවත බිඳී යාමේ තියුණු වේදනාව සහ සම්බන්ධතාවක් අවසන් වූ පසුව ඉතිරි වන සුසුම් ගැබ් වී ඇත. ඉන් කවිවලට අමතර සත්‍යතාවයක් මෙන්ම විශ්වසනීයත්වයක් එක් වී ඇති නිසා පාඨකයාට මේ කවි තමාගේ කරගෙන විඳිය හැකිය. එලෙසම වඩාත් තියුණුව සහ සමීපව කියවා ගතහැකිය. .

” මා ඔබට ප්‍රේම කරන විට මගේ ආත්මය බබළන ලෙස බබළන
පළමු තාරකාවලට නිශා කුරුල්ලෝ හොට තබති. “
(VII – සවස්කාලවල එල්බෙමින් – පිටුව 26)
සාම්ප්‍රදායික කාව්‍ය ශෛලියකින් බැහැර වූ මේ කවි සියල්ලම පාහේ දිගු කවි පන්තීන් වේ. ඔහු භාවිතා කර ඇති කාව්‍ය ශෛලිය නිසාත් සිය අත්දැකීම් සහ හැඟීම් ඇසුරින් නිර්මාණය වී ඇති නිසාත් ඇල්බර්ටීනා පිළිබඳ ඔහු තුළ වන ආශාව සහ අහිමි වීමේ ශෝකය තීව්ර ලෙස ඉදිරිපත් කිරීමට නෙරූදාට හැකි වී ඇත .එසේම මෙම කවි ස්වභාවධර්මය, මානව ශරීරය සහ ඒ තුළින් ගලා යන හැඟීම් පිළිබඳ විචිත්‍රවත් විස්තරවලින් යුක්තය. නැවුම් උපමා රූපකවලින් පොහොසත් ය. නෙරූඩාගේ රූපක සහ සංකේත භාවිතය කවිවලට ගැඹුරක් සහ සංකීර්ණත්වයක් එක් කර ඇති අතර ඉන් ඔහුගේ කවියේ විශ්වීය ගුණය සහ සදාකාලිකත්වය ආරක්ෂා වී ඇත.
”පිට රැළි මැද උඩුගං බලා ඇදෙන දිය දහර
ඉක්මනින් සහ සෙමෙන් ,අහස යට ඇති ශක්තිය තුළ
මසෙකු සේ සදාතනික ලෙස ඇලුණු මගේ ආත්මයට
ඔබේ සමාන්තරගත සිරුර යටත් වෙයි මගේ දෑතට. “
(Ix – මත් වී පයින් තුරුවලින් – පිටුව 29 )
ආදරයේ සංකීර්ණත්වය ග්‍රහණය කර ගැනීමට නෙරූදාට ඇති හැකියාව මේ කවි එකතුවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ආදරය කිරීමේ ප්‍රීතිය, ආදරය අහිමි වීමේ වේදනාව සහ සම්බන්ධතාවක් අවසන් වූ පසුව ඉතිරි වන සෝ සුසුම් පිළිබඳ නෙරුදා නොබියව විවෘත වී ඇති ආකාරය සිත් ගන්නාසුළුය. .මනුෂ්‍ය සම්බන්ධතාවයන් මෙන්ම මෙම කවිද පරස්පරතාවලින් පිරී ඇත. සම්බන්ධතාවයකදී ආදරය සුන්දර මෙන්ම කුරිරු ය, ප්‍රීතිමත් මෙන්ම වේදනාකාරී ය. නෙරූදා සිය කවිය තුළ මෙම පරස්පරතාවන් පහසුවෙන් මෙහෙයවයි.
පෙම් කළාය ඈ මට , මම ද ඇයට පෙම් කළෙමි ඇතැම් විට
යමෙකු පෙම් නොකර සිටින්නේ කෙලෙසද ?
ඇගේ සොඳුරු නිසල දෙනෙතට
වේදනාබර පද පේළි අද රෑ මට ලියන්නට හැකිය
ඇය මට හිමි නැති බව සිතන්නට ,
මා ඇය අහිමි කර ගත් බව හගින්නට
(X X – අද රෑ මට ලියන්නට හැකිය – පිටුව 46 )
මේ කවි එකතුව හුදු පෙම් කවි එකතුවකට එහා ගිය මානව අත්දැකීම් පිළිබඳ ගවේෂණයක් ලෙසටද සැලකිය හැකිය..එසේම මානව සම්බන්ධතාවල ඇති බිඳෙනසුලු ස්වභාවය , මිනිස් හැඟීම්වල ස්වභාවය මෙන්ම ආදරයේ සහ ජීවිතයේ අර්ථය සොයා යෑමේ අර්ථය යනාදී තේමාත්මක කලාපයන් හරහා පාඨකයාව රැගෙන යන චාරිකාවක් ලෙස පැසසිය හැකිය. .
මා කැමති ඔබ නිසලව හිඳිනවාට :
ඔබ නොපැමිණ සිටි කාලයේ හිඳි විලසට
ඔබ මිය ගොස් ඇතුවාක් මෙන් සොවින් පිරී , ඈත්ව
එක වචනයක් , එක සිනහවක් සෑහේය එවිට
සතුටිනි මා එතකොට , සතුටිනි, සැබෑවක්
නොවන හෙයින් එය
(XV – මා කැමති ඔබ නිසලව හිඳිනවාට- පිටුව 39)

Kanchana Priyakantha -කාංචනා ප්‍රියකාන්ත





