තිඹිරයාගම බණ්ඩාර:
ගඳ කිලියට වැද
දෙදණ නමාගෙන
ගිතෙලින් පිසු දන පිළිගන්වා
සැතපුණු සමිඳුන් අවදි කරවමින්
යදියි උවැසියන් මලසුන අසල ම
මේ දන සමිඳුට පූජා වේවා
මතු භවයෙදි යස ඉසුරු ලැබේවා
කප්තුර අබියස මා ඉපදේවා
සක් දෙවිඳුගෙ සිරියහන ලැබේවා
බුදු ගේ දොර ළඟ දණින් වැටීගෙන
කඳුළු පිරුණු දුබල වු නෙතු දල්වා
තවත් උවැසියක් පැතුවා මෙලෙසට
මේ මල් සමිඳුට පූජා වේවා
පුංචි පුතුට කිරි බිඳක් ලැබේවා
හිමිගේ දෑතට සවිය ලැබේවා
අපේ නෙතේ දුක කඳුළ මැකේවා
- (ලියනගේ අමරකීර්ති 1987.06.21.සිළුමිණ)
සිළුමිණ පුවත්පතෙහි පළවූ මේ කවිය මවිසින් 1988 දී සංස්කරණය කරන ලද තෝතැන්න සඟරාවෙහි පළ කළෙමි.එය රෝනියෝ මුද්‍රණයෙන් නිකුත් කරන ලද්දකි.
ප්‍රතිභා සමාජයෙහි සාමාජිකයන්ගේ නිර්මාණවලට අමතර උපුටනයක් ලෙස මෙය තෝරාගැනීමේ හේතුවක් වූයේ කවියාගේ ජීවිත නිරීක්ෂණය,මානව හිතවාදී බව සහ සමාජ විෂමතාවෙහි ඇති භයංකරත්වය නියම කවියෙකුගේ විලාසයෙන් ඉදිරිපත් කිරීම යනාදී
කරුණු ය.මේ කවියා තමා සිසුවෙකු බව සඳහන් නොකළ ද ඔහු උසස් පෙළ ඉගෙනගන්නා අයෙකු බව දැනගතිමි.එම අවධියෙහි ප්‍රතිභාසම්පන්න බොහෝ කවීන් ප්‍රවණතාත්මක කලාව හෙවත් කවිය අවියක් කරගැනීමේ භාවිතයට නැඹුරු වෙද්දී අමරකීර්තිගේ සුහුඹුල් කවිය කවියට හිමි නියම ස්වරූපය සොයා යෑමේ ප්‍රවේශයක් වැන්න.
අප දැනගඳුනාගත් එකල භීෂණයේ දුක්ගනාන්ධකාරය මැද මගේ කවිපොතක් මුද්‍රණය සඳහා කුරුණෑගල මිහිර මුද්‍රණාලයට භාර දුන්නෙමි.පොත එළියට ගැනීම සඳහා පුදුම කට්ටක් කෑමට සිදුවිය.අවසන නිකුත් වූයේ මුද්‍රණ දෝෂ බහුල පොත් කබලකි.අමරකීර්ති තම පළමු කවි පොතේ අත් පිටපතද එම මුද්‍රණාලයට භාරදී එබඳුම කට්ටක් කෑ බව මම දනිමි.
1990 වසරේ සාහිත්‍ය මාසය නිමිත්තෙන් පළ වූ පහන්වැට කවි එකතුවෙහි අමරකීර්තිගේ නිර්මාණයක්ද පළ විය.මේ එම කවියයි.
උපාධිධාරී ස්වාමි පුරුෂයාගේ කවිය
යන්තමට ළැම ඉහළ පහළ යයි
මට පෙනෙයි
ඔබ මැසිම වගේ දඟලන හැටි
සෙනෙහසේ නිල් වතුර කැලැත්තෙන
යටගිළුණු නෙත් සඟල
ජීවයක් නැති වුණත් ජීවිතේ
සුජීවා මං ළඟින් ඉන්නවා
හැමදාම හිත යටට කොඳුරලා
ගෝර්කිගෙ පොතක් යට තීරුවේ
මා ලියූ කවිය මට කියනවා
සුජීවා ඇවිත් මේ පිල උඩින් ඉඳගන්න
සඳවතී අහස් ගඟ ඉවුරටම පීනලා
ඇතුගලේ ඇතු සිරස අත ගගා ඉන්නවා
ඉතිහාසයක මහා බර අදින
ඇතුට පෙම් සුව දැනී
යන්තමට සවන් තල සලනවා
ඉන් අපට ඇල් පවන මැවෙනවා
සුජීවා! තැඹිලි තෙල් කුප්පියත්
අරගෙනම එන්නකෝ
දවල් ගිනි පූටකේ කරවෙලා
ඔලුව කම්මල වගේ
අද ටිකක් රෑ වෙලා ඇල වෙමු
බය වෙන්ට දෙයක් නෑ
හෙට ඉරිද දවසනේ
අමරකීර්තිගේ මේ කවිය තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ සමුච්චයක එක් නිර්මාණයකි.සමකාලීන නිර්මාණකරුවන්ගේ කවි සමග ඔහුගේ කවියෙහි පොදු ලකුණු මෙන්ම ස්වලක්ෂණ ද අධ්‍යයනය කළ හැකි ය.
1990 වසරේ ලක්මිණ පුවත්පතේ මා සංස්කරණය කළ භාවගීත කවි පිටුව සැරසූ කවි කිවිඳියන්ගේ නිර්මාණ අකර අමරකීර්තිගේ කවි ද පළ වූයේ දැන හැඳුනම නිසා ම නොව ඔහුගේ කවිත්වය නිසා ය.රෝහිණී චිත්‍රා ජයවර්ධන,කමල්පී.අලහකෝන්,චන්ද්‍රකුමාර වික්‍රමරත්න,සුජීව ප්‍රසන්නආරච්චි,මනෝරා ප්‍රභාති තෙල්මා ඇතුළු දිගු නාමාවලියක් සිහිපත් වේ.
ලියනගේ අමරකීර්ති “එකමත් එක පිටරටක” මැයෙන් තම පළමු කවි එකතුව පළ කළේ 2016 වසරේදීය.(ඇත්තටම ඔහුගේ පළමු කවි අත්පිටපත ලියැවුණේ 1990ට පෙරය.)”හමුවෙද වෙණ තත” ඔහුගේ දෙවැනි කවි එකතුවයි.කවිය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් ඇති ඔහුගේ කවිය යනු කවියට කෙතරම් නිදහසේ පාඨක මනස් තලයෙහි සැරිසැරීම පිණිස පියාපත් විදහාගත හැකි ද යන්න පිළිබඳ කැටපතක් වැන්න.ඔහුගේ කවියෙහි අන්තර්ගතය ඉල්ලා සිටින කාව්‍යාකෘතිය ගොඩ නැගීමෙහිදී කාව්‍ය නිර්මාණය පිළිබඳ රීති හා සිද්ධාන්ත පසුකරගෙන කවියෙහි නියම හැඩතල මතුවෙයි.
“කොටු දැල” යනු ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනකි.
“රූපවාහිනී හාදු දර්ශනය කොටු දැලකින් වැසෙයි”
රැයක් කියන්නේ මුළු හද එළිය වුණ
සැම තැනක් අහුමුල්ලක් පෙනෙන තැන
ආලෝකය කිමැයි අඳුරින් අසන මෙන
රාත්‍රිය කියන්නේ ගුලි ගුලි එකතු වුණ
ආලෝකයේ සුවිසල් කුට්ටියක් මෙන
රැයක් කියන්නේ දවසේ අඳුර බිඳ
දවාලක් දවා එළියක් සදන තැන
සෙනගක් ඉදිරිපිට ඔබෙ අත අරගන්න
ලැජ්ජා හිතුණ සැණ කොටු දැල ඇද වැටිණ
නිරුවත් පිරිමි කොලුකම් පිරි ආදරය
සිනමා කිස් එකක් විණ වැටුණ කොටු දැල
අපේ ආදරේ නිදහස වසාගෙන
භයංකාර කොටු කොටු දැල පාත්විණ
හිරේ ඉන්න පිය හිමියන් දැකගන්න
ජේලර්ගේ ගිජු දෑසින් ගැලවෙන්න
උපාසිකා ඇඳුමින් ගත වසාගෙන
බත් එක අරන් එන ගැහැණිය වැනිය නුඹ
රැයක් කියන්නේ දවසේ අඳුර බිඳ
දවාලක් දවා එළියක් සදන තැන
ගත්ත හිරේ හිරගෙය කළ කොටු දැලට
ගිනි තබා දිදුලවමි රැය හා දවාල ද
සාලයෙම පෙරළගමි ඉරමි සුදු පිරුවට
ප්‍රාණය යළි පිඹිමි ජීවිත හදවතට
ගෙන ඔබෙ සුරත මහ දහවල් රැයක් කර
ඇවිද යමි දෙතොල තබමින් ඔය කොපුල
සිල්වත් නගරයම හොවමින කොටු දැලක
ආදරේ කියන්නේ සොඳුරිය නිදහසට
රැයක් කියන්නේ දවසේ අඳුර බිඳ
දවාලක් දවා නව එළි සදන තැන
කවියට නිමිත්ත වී ඇත්තේ රූපවාහිනී තිරය මත සිප ගැනීම් දර්ශන කොටු දැලකින් වැසීමය.(මේ කොටු දැලට මත් පැන් සහ දුම්බීමේ දර්ශනද ඇතුළත් ය.)කවියා එහිදී සිප ගැනීමේ දර්ශනය වෙන් කරන්නේ ප්‍රේමයේ නිදහස වික්ටෝරියානු ආකල්ප නමැති කොටු දැලෙන් හරස් කිරීම ඇඟවීමේ පහසුව පිණිසය.කවියා මෙහිදී අඳුර සහ ආලෝකය පිළිබද දෘශ්‍යමානය විනිවිදිමින් අඳුරම ආලෝකයක හැඩය ගැනීම ගැන කියයි.
සාමාන්‍යයෙන් ගෘහස්ත ජීවිතයට හුරුවූ මානවයා ශිෂ්ටාචාරයේ සලකුණන් හැටියට සම්භෝග රසය සඳහා ගෘහය ඇතුළත හා අඳුර තෝරාගනී.විවිධ සමාජ තහංචිද පනවා ගනී.සංස්කෘතියෙන් සංස්කෘතියට මේවා වෙනස් වෙයි.පාරෙහි යන විට බිරියගේ වුව ද අතින් ඇල්ලීම ඇතැම් “ශිෂ්ට සම්පන්න”සමාජවලට අනුව සදාචාර විරෝධීය.මේ නිසා “අනේ අපොයි” කියති.මෙබඳු සමාජ වාතාවරණයක සැමියා හමුවට බිරිය එන්නේ හිරේ සිටින සැමියා දකින්නට බිරිය බත්මුලක් රැගෙන එන ආකාරයෙන් යැයි සැමියා කියයි.මේ කදිම උත්ප්‍රාසයකි.පෙම්වතුන්ට වැටෙන කොටු දැල ම විවාහකයන්ට ද වැටේ .
මේ කවියෙහි ඇති පරිදි නිදහස පතන සැමියා බිරියගේ පිරුවට ඉරා දමයි.
ගත්ත හිරේ හිර ගෙය කළ කොටු දැලට
ගිනි තබා දිදුලවමි රැය හා දවාල ද
සාලයෙම පෙරළගමි ඉරමි සුදු පිරුවට
ප්‍රාණය යළි පිඹිමි ජීවිත හදවතට
“හිරේ” යනු විවාහය සහ හිරගෙය යන ද්විවිධ අරුත් නංවයි.”හිරේ” “හිරගෙයක්” වන්නේ කොටු දැල නිසාය.මේ නම් කදිම වාගුක්තියකි.පද දෙක ගැටීමෙන් උපදින්නේ නව අරුතකි.කවියා උපහාසයද උත්ප්‍රාසයද කවියේ ජීවය බවට පත් කර ඇත.
දෙපද,තෙපද සහ සිව්පද ආකෘතිය එකම කවියක අන්තර්ගත වීම මෙහි ආකෘතිකමය විශේෂත්වයකි.එබඳු විශේෂතා හා කවිවල පුපුරු ගසන ප්‍රතිසංස්කෘතික චින්තනයද නිසා මේ කාව්‍යාවලිය වැදගත් වෙයි.

ලියනගේ අමරකීර්තිගේ අලුත් කවි පොත් දෙක වන “මහ සිහිනයක මිහිරි කරදර සහ “සෙවනැල්ලක් සේ පතිත වෙමි”
අද පෙ.ව.10ට ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේදී ජනගත වෙයි.
ඒ කවි පොත් දෙක කියවීමේ “මහ සිහිනය” ඇති ව අමරකීර්ති කවියාට සුබ පතමි අද දවස ලස්සන වේවා!

තිඹිරියාගම බණ්ඩාර-Thimbiriyagama Bandata





