නුවර මතක

නුවර අලදෙණිය පාරෙ යද්දී අවධිවන මතක ගොඩක් තියෙනවා.
ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ වගේ පුවක්ගහකුඹුර හරියේ මායි ,මංජයි, පූසියි( අනූෂා) ඉංග්‍රීසි පන්ති යනවා. අපි රට පුරා ඉංග්‍රීසි පන්ති ගිය හැටියට හරියට ඉගෙන ගත්ත නම් අද සුද්දටත් ඉංග්‍රීසි උගන්වනවා.

කොහොම හරි දවසක් මම අලදෙණිය බස් එකෙන් එතන බහිද්දි මගේ සාය බස් එකේ දොරේ පැටලිලා මම බුදු වැටිල්ලක් වැටෙනවා. මාව ඇදිලා ගිහින් මගේ කකුල් දෙක බස් එකේ යට, මාව පාරෙ දිගා වෙලාම යනවා.

හොඳ වෙලාවට ඩ්‍රයිවර් සයිඩ් කන්නාඩියෙන් දැකලා මම නැගිටිනකන් බස් එක නවත්තන් ඉන්නවා. එදා කලබලේට බස් එක ඇද්දුවා නම් මගේ කකුල් දෙක අද තියෙන්නේ දණහිස ළඟට විතරයි.

හරියට හින්දි ෆිල්ම් එකක වගේ බස් එකකින් බැහැපු තරුණයෙක් මගේ පොත් ටික අහුලලා දීලා මාව නැගිටවනවා..

ඒ කාලෙ ඇස්වලින් පිරිමි ඇස්වලට ඊතල විඳින කාලෙ , ඒත් එදා මාව නැගිටවූ තරුණයා දිහා නිකමටවත් මං බැලුවේ නෑ.මං හිතන්නේ ලජ්ජාවට වෙන්න ඇති .

නැගිටලා බලද්දි පාරෙ දුරක ඉඳන් පූසියි මංජයි බලන් ඉන්නවා, මූණුවල හිනාව පිරිලා පිපිරෙන්න ඔන්න මෙන්න. මම එයාල දිහා අහිංසක හිනාවක් පානවා,ලැජ්ජාවෙ ඇඹරෙමින් . එතකොට ම ඒ මුහුණු දෙකේ හිනාව හක හක හඬින් එළියට පැන්ණා. ඒ තමා මගේ හොඳම යාලුවෝ. අදටත් එයාලා මගේ හොඳම යාලුවෝ .(පුදුම එවුන් )

පස්සේ ටික කාලෙකින් ආරංචි වෙනවා අර මාව නැගිටෙව්ව තරුණයා අපේ වයසේ ගෑනු ළමයෙක්ව මරලා එයාගේ බෙල්ල කපලා, බෙල්ල අරගෙන ගිහින් බව. එයාගේ ආදර යෝජනාවකට කෙල්ල අකමැති උන හන්දා තමා එහෙම කරල තියෙන්නේ.

දෛවය කියන දේ පුදුමාකාර බව ජීවිතයේ සමහර තැන්වල දී අපට පසක් කරනවා.
එදා ඒ වෙලාවෙ ඒ ඇස්වලට මගේ ඇස් යොමු වෙලා හින්දි චිත්‍රපටවල වෙනව වගේ එහෙම හැඟීමක් මං ගැන අවධි වුණානම් පස්සේ කාලෙක බෙල්ල නැතිව යන්න වෙන්නෙ මට වෙන්නත් තිබ්බා.

ඒත් ඉතිං එහෙම කියලා සතුටක් විඳින්න බැහැ. අපරාදේ ඒ තරුණ ජීවිත දෙක.

අදටත් මගේ දහය එකොළහ ශ්‍රේණිවල හැම පන්තියක ම ළමයි එක්ක මම ඒ මිනී මැරුම ගැන කතා කරනවා. ඒක කියල මම එයාලට හැම වෙලේම මතක් කරනවා තව කෙනෙකුගේ ආදරේ පිළිගන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි කෙනෙකුට අයිතියක් තියෙන බව , වගේම ආදරයෙන් ප්‍රතික්ෂේප වීම කියන්නේ ජීවිතය ඇද වැටීමකට නෙමේ පන්නරයකට හේතුවක් කියන එක , ආදරය තුළ අනෙකාට දෙන නිදහස ගෞරවය අපි පුහුණු කරන්න ඕන දෙයක් බව , ආදරය තුළ ඇති ලාංකික මෙලෙච්ච කම අතහැරලා නිදහස් සාමකාමී දැක්මකින් ඒ දිහා බැලිය යුතු බව.

ආදරේ හිමිවීම වගේ ම අහිමිවීම කියන්නෙත් දිනක මැදිහත් නිදහස් හිතින් සිහි කළ යුත්තක් බව.

More From Author

දැලි වලං

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 12-II

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348