රෝසමල් කුමාරයාට මවකගෙන්

       රෝස මල් කුමාරයා, කොත්මලේ පුරවරයේ, රම්බොඩ, පලාගොල්ල සුන්දර ගම්පියසේ ජීවත්වන කටුක අත්දැකීම් සමූහයකින් පිරි තම ජීවිත ගමනට ශක්තිමත්ව මුහුණ දෙන තවත් එක් දරුවකු පිළිබඳ කතාවක්.
       රම්බොඩ,පලාගොල්ල අපට නුහුරු ප්‍රදේශයක් නොව,නුවරඑලිය මාර්ගයේ ගමන් කරන විට මෙම කතාවේ, 'ශ්‍රී ධරන්' චරිතය අපට මුණ ගැසේ. ඩේලියා මල් එකතු කර කැලෑ කොළ යොදා අපූරුවට මල් කලඹක් ඔවුහු සදාගනිති.හිමිදිරි උදයේ එම මල් මිටත් රැගෙන පාරට ගමන් කරන්නේ අහස උසට පොදි බැඳගත් බලාපොරොත්තු තිබුණද එය විකුණා ලැබෙන මුදලින් හැකි පමණින් අවශ්‍යතා සපුරා ගැනීමටයි.ජාති ආගම් කුල මල ඉදිරියට දමා වතුකරයේ මිනිසුන් ලෙස නම්බුනාම දීමට තරම් ඉහළ පැලැන්තියේ ඔටුනුලාගත් උඩගු මිනිසුන් අප සමාජයේ සිටීම ගැන සිතට ගෙන එන්නෙ මහත් පිළිකුලකි.

  මෙම ප්‍රදේශවල බොහෝ දෙනා කුලී වැඩ කරන අතර තවත් පිරිසක් ගම අතහැර දුර පළාත්වල රැකියා සොයායාම අලුත් දෙයක් නොවේེ.ඇතැමුන් තම දරු පවුල වෙනුවෙන් වෙහෙස වන ප්‍රමාණය මදි ය. මතට ගොදුරුවන මිනිසුන් අප සමාජයේ කොතෙකුත් දැක ඇත.තම බිරිඳ හා දරුවන් පිළිබඳ ඔවුන්ගේ අවධානය අඩු ය.කතුවරයා  ඒ පිළිබඳවද මෙම කතාවෙන් අපූරුවට පෙන්වා දී තිබේ. තම පවුලේ අගහිඟකම් කොතෙක් වුවද ඉගෙනීම ජීවිතය කරගත් දරුවන් අප කොතෙකුත් දැක ඇත.මෙම පොතේ සඳහන් දරුවාද එසේමය.එවැනි දරුවන් හට පාසලේ විදුහල්පතිතුමා හා ගුරුවරුන් දක්වන සෙනෙහස අසීමිතය.ඔවුන්ට එය මහත් ශක්තියක්.දරුවන් දිරිගන්වන මෙවැනි උගතුන් හට අප ගෞරව කළ යුතුය.

දරුවන්ගේ සැබෑ ස්වරූපය,හැඟීම් තේරුම් නොගත් රේණුකා ගුරුවරිය වැනි ගුරුවරුන්ද සිටිනා අතර සැබෑ තත්වය තේරුම්ගත් පසුව ඔවුන්ට ඇති වන්නේ තමා ගැනම කළකිරීමක් හා පසුතැවිල්ලකි.

දරුවන් තම පවුලට කෙතරම් ළෙන්ගතුද යන වග හා ඔවුන් වෙනුවෙන් කරන කැපවීම මෙම කෘතියෙන් ඉස්මතුවී පෙනේ.ඔවුහු අඳුරු ගුහාවෙන් එළියට විත් ආලෝකය දෙස නෙත් යොමා බැලීමට අපමණ වෙහෙසක් දරති.
දරිද්‍රතාවෙන් පෙළුණද ඇතැම් මිනිසුන්ට වඩා සියක් ගුණයකින් ඔවුන් මිනිස්කමෙන් ධනවතුන්ය.තම කුසේදීම දරුවන් මරා දමන දෙමාපියන් හා වැඩිහිටි නිවාසවලට දෙමව්පියන් ගෙනගොස් ගොස් දමන්නන් සිටින මෙවන් යුගයක මෙම කතාවෙන් සමාජයට ඉගෙනගත යුතු පාඩම් බොහෝය.
දුප්පත් වුවත් පොහොසත් වුවත් සෑම මිනිසෙකුම නිර්මාණය වී ඇත්තේ ලේ මස් නහරවලින් බව වටහාගත යුතුය.සෑම දෙනාටම දැනෙන්නේ එකම කුසගින්නකි.සිහින මාලිගාවල නොව සැබෑ මාලිගාවල ජීවත්වීමට ඔවුන්ටද අයිතිය ඇත. ආදරය කරුණාව කාගෙන් හෝ ලැබේ යයි යන සිතුවිල්ලෙන් ඔවුහු විඩාබර දෙනෙත් දල්වා බලාසිටිති.
මෙම කතාව මා දකින්නේ අප සමාජයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ ජීවිතවල එක් මං තීරුවක් ලෙසයි.ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නාක් මෙන් තම පවුල වෙනුවෙන් ඔවුන් දරනා වෙහෙස වචනවලින් කිව නොහැක. අප රටේ පමණක් නොව බොහෝ රටවල මෙම ඛේදනීය ඉරණමට මිනිසුන් මුහුණ පා තිබීම ගැන කතුවරයා මෙම කතාවෙන් පෙන්වා දී ඇත්තේ ඕනෑම කෙනෙකුට සංවේගය උපදවන ආකාරයටයි. මෙම පොත රටේ සෑම මිනිසෙකුම කියවන්නේ නම් තමන් සිටින්නේ කුමන තැනකදැයි වැටහී යනු ඇතැයි මම සිතමි.

රෝසමල් කුමාරයාට ස්තූතියි!!

පී.ඩී.ඉරේෂා සඳමාලි- රම්බොඩ

(සටහන:තම පුතු කියවමින් සිටි රෝසමල් කුමාරයා මවගේ අවධානය දිනාගත් අවස්ථාවකි.ලිපිය මවෙත එවූ ප්‍රසන්න රේණුකට ස්තුතියි)

More From Author

2025 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා සමස්ත ත්‍යාගය කැනේඩියානු ලේඛිකා චැනල් සදර්ලන්ඩ්ට

දේශපාලනික මාක්ස්වාදයක් සදහා -Towards Political Marxism (3කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348