අනුර බී. සෙනසෙනෙවිරත්න:
2025 පොදුරාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ සමස්ත ජයග්‍රාහකයා පසුගිය 25 වන දින ප්‍රකාශයට පත් කෙරිණි. ඒ, ඊට පෙර ප්‍රකාශයට පත් කරන ලද අප්‍රිකානු, ආසියානු, කැනඩා හා යුරෝපියානු, කැරිබියානු සහ පැසිෆික් යන කලාපීය ජයග්‍රාහකයන් පස්දෙනා අතරිනි.
මෙම කලාපීය ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලද්දේ මුළු ඇතුළත් කිරීම් 8,000 කට ආසන්න සංඛ්‍යාවකින් ජාත්‍යන්තර විනිශ්චය මණ්ඩලයක් විසින් අවසාන වටය සඳහා තෝරා ගන්නා ලද ලේඛක ලේඛිකාවන් 25 දෙනා අතරිනි.
ඒ අනුව, මෙවර අප්‍රිකානු කලාපයේ ජයග්‍රාහකයා බවට පත්වූයේ, ‘මදර්ස් නොට් ඇපියරිං ඉන් සර්ච්’ නම් කෙටිකතාව ඉදිරිපත් කළ උගන්ඩා ජාතික ලේඛකයකු වන ජෝෂුවා ලුබ්වාමා ය. ඔහු පසුගිය වසරේ මෙම තරගය සඳහා දිගු ලැයිස්තු ගත වූ ලේඛකයෙකි.

වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවකු වන විසිපස් හැවිරිදි ඔහු උගන්ඩාවේ කම්පාලා නුවර වාසය කරයි. ඔහුගේ නිර්මාණ ‘ද ඇනටොමි ඔෆ් ෆ්ලයින් තින්ග්ස්’ සහ ‘ට්‍රවලිං මෙන් ඩිට්න්ඩ් ඩයි’ යන තෝරාගත් කෙටිකතා එකතුවල පළ වී තිබේ.

අපට වඩාත් වැදගත් වන අප වෙසෙන ආසියානු කලාපයේ ජයග්‍රාහිකාව බවට පත්වෙන්නට බංග්ලාදේශ බෙංගාලි ලේඛිකාවක වන ෆාරියා බෂර් මෙවර සමත්ව සිටින්නී ය. ඒ, ඇය ඉදිරිපත් කළ ‘ඇන් අයි ඇන්ඩ් අ ලෙග්’ නම් කෙටිකතාව සඳහා ය. වරින් වර මහාද්වීප කිහිපයක් අතර ජීවත් වන ෆාරියා, එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සහ නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබා ඇත.

කැනඩා හා යුරෝපියානු කලාපීය ජයග්‍රාහකයා බවට මෙවර පත්වූයේ, චැනල් සදර්ලන්ඩ් නම් කැනේඩියානු ලේඛකාවකි. ඇය කැනඩාවේත්, සෙන්ට් වින්සන්ට් ඇන්ඩ් ග්‍රෙනඩින්ස් හි ත් වාසය කරන්නී ය. ඇගේ ජයග්‍රාහී නිර්මාණය ‘ඩිසෙන්ඩ්’ නම් කෙටිකතාව යි. ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන නිර්මාණාත්මක ලේඛන රචනා කරන ලේඛිකාවක වන චැනල්, 2021 CBC ප්‍රබන්ධ නොවන ත්‍යාගය සහ 2022 CBC කෙටිකතා ත්‍යාගය දිනා ගත් අතර, 2022 දී කියවිය යුතු එරට ලේඛකයන් 30 දෙනා අතරට ද ඇය නම් කරනු ලැබී ය. ‘ලේවේ චයිල්ඩ්’ නම් ඇගේ මංගල කෙටිකතා එකතුව 2026 දී ‘අනන්සියා හවුස්’ නම් ප්‍රකාශන සමාගම විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.
කැරිබියානු කලාපීය ජයග්‍රාහකයා බවට පත්ව සිටින්නේ ගයානා ලේඛකයකු වන සුබ්රාජ් සිං ය. ‘මාර්ගට්ස් රන්’ යනු ඔහු ඉදිරිපත් කළ කෙටිකතාව යි.

සුබ්රාජ් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිර්මාණාත්මක ලිවීම පිළිබඳ MFA උපාධියක් දරයි. ඇමෙරිකාවේ අයෝවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර ලේඛන වැඩසටහනට සම්බන්ධව සිටි ඔහුගේ ප්‍රබන්ධ ‘AGNI’, ‘New England Review’ සහ ‘Gulf Coast Journal’ වල පළ වී තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ පැසිෆික් කලාපීය ජයග්‍රාහිකාව බවට මෙවර පත්ව සිටින්නේ ඕස්ට්‍රේලියානු ලේඛිකාවක වන කැත්ලීන් රිජ්වෙල් ය. ඇය තරගයට ඉදිරිපත් කළ නිර්මාණය වන්නේ ‘ක්‍රැබ් ස්ටික්ස් ඇන්ඩ් ලොබ්ස්ටර් රෝල්ස්’ නම් කෙටිකතාව යි.
පර්ත්හි පදිංචි කැත්ලීන්, ඇගේ ‘ද එමරල්ඩ් ඩෝව්’ කෙටිකතාව සඳහා 2024 EM ෆ්ලෙචර් සම්මානයේ දෙවන ස්ථානය දිනා ගත්තා ය. ඇය තම වෘත්තීය ජීවිතය ගත කළේ අවාසි සහගත සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්‍රජා සේවාවන්හි සේවය කරමිනි.
මෙම කලාපීය ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් පස්දෙනා අතරින් 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ සමස්ත ජයග්‍රාහකයා ලෙස පසුගිය 25 වන දින තෝරා ගන්නා ලද්දේ ‘ඩිසෙන්ට්’ කෙටිකතාව ඉදිරිපත් කරමින් කැනඩා හා යුරෝපියානු කලාපීය ජයග්‍රාහිකාව බවට පත්ව සිටි චැනල් සදර්ලන්ඩ් නම් කැනේඩියානු ලේඛකාව යි.
පොදු රාජ්‍ය මණ්ඩලීය කෙටිකතා තරගයේ සමස්ත ත්‍යාගය සඳහා වන පවුම් 5,000 ක ත්‍යාගය ඇයට පිරිනැමුන අතර, අනෙකුත් කලාපීය ජයග්‍රාහකයන් සිව්දෙනාට ස්ටර්ලින් පවුම් 2,500 බැගින් පිරිනැමිණි.
මෙම කෙටිකතා තරගයේ 2026 වසර සඳහා නිර්මාණ භාරගැනීම ලබනසැප්තැම්බර් 01 දින සිට ආරම්භ වේ.

අනුර බී. සෙනසෙනෙවිරත්න-Anura B.Senevirathne





