අපි හැමෝ තුළම තමන්ගෙම කැමූ කෙනෙක් ඉන්නවා.” – කැතරින් කැමූ

ඒක නිකන් පොඩි ස්කිට්සෆ්‍රේනියා එකක් වගේ! ඒත් අභියෝග වලින් පිරුනු ජීවිතය මට මේ භූමිකා දෙක බැලන්ස් කරගන්න හැටි කියා දීලා තියෙනවා. මම ඇල්බෙයා කැමූගේ දුව. මගෙ රාජකාරිය එයාගේ සාහිත්‍යය උරුමය කළමනාකරණය කරන එක. ඒ රාජකාරියේදි මම තාත්තගෙන් ඉගෙන ගත්තු ඒවා යොදන්න උත්සාහ කරනවා: නිදහස, වගකීම සහ අනෙක් අය කෙරේ වන ගෞරවය. මම නිතර අනෙක් අයට කියනවා පපා මගේ පස්සෙන්ම ඉන්න එක හොඳ දෙයක් කියලා.

අපි හැමෝ තුළම තමන්ගෙම කැමූ කෙනෙක් ඉන්නවා. ස්වභාවයෙන්ම, ඔයාට පළවෙනි වතාවට කෙනෙක් මුණ ගැහෙද්දි, ඔයා කවුද කියලා කලින් හිතාගත්තු අදහසක් එයාට තියෙනවා. මේක හැමෝටම මේ වගේ. ඒත්, ඔයා ප්‍රසිද්ධ පුද්ගලයකුගේ, නොබෙල් ත්‍යාග ලාභියකුගේ දරුවෙක් උනාම ඒක දහගුණයකින් වැඩිවෙනවා. මට කවදාවත් අනෙක් අයට වඩා වෙනස් විදියට දැනිලා නෑ. මම සත්තුන්ටත්, සොබාදහමටත් ආදරෙයි. මට ඇකඩමික් අපබ්‍රංශ පේන්න බෑ! අනිත්මේට, මට කිසි දෙයක් ඔප්පු කරන්න නෑ. ජීවත් වෙන එක කොහොමත් අමාරුයි. ඉතින් මට, වෙන කවුරුත් වගේ බොරුවට මවා පාන්නේ නැතිව මමම වෙන්න ඕනේ. කොහොම උනත්, කලකිරීමට පත් නොවුන, මම ඉන්න විදියටම මට කැමති උදවිය ඉන්නවා. එක දවසක් එක කාන්තාවක් මට කීවා: ” ඔයා තමයි ඇල්බෙයා කැමූගේ ලස්සනම වැඩේ.” සතුටට මට කලන්තේ නොහැදුනා විතරයි.

මට කණගාටුයි. ඒත් මට හම්බ වුනේ තාත්තා විතරයි. මම එයා ගැන අළුත් කිසිම දෙයක් දැනගත්තේ නෑ. ඉපදුනු දා ඉඳන්, දරුවන්ට එයාලගේ දෙමාපියන් ගැන ගැඹුරු හැඟීමක් තියෙනවා. ඒත් ඒ ගැන කියන්න එයාලට වචනවත්, සංකල්පවත් නෑ. අන්න ඒකයි කවදාවත් දරුවන්ට බොරු කරන්න හොඳ නැත්තේ. එයාලා ඒක දැනගන්නවා. ඒකෙන් එයාල පීඩනයට පත් වෙනවා වගේම එයාලා තුළ වරදකාරී හැඟීම් ඇති වෙනවා.

අද කාලේ හැමදේම හරිම ඉක්මන් ගමනේ. ඉතින් මාරියාව ඉක්මනින් අමතක වෙයි කියලා මගේ හිත කරදර උනා. මට හිතුනා එයාලගේ ලිපි හුවමාරුව විශිෂ්ටයි කියලා. එක පැත්තකින් ඒ, එයාලගේ ආදරේ නොතිබුනානම්, ඒ කාලේ මගේ තාත්තා මූණ දුන්න බොහෝමයක් අසීරුතා වලින් ගොඩ එන්න එයාට දහිරිය නැති වෙන හින්දා. මාරියාට තාත්තා යවපු අන්තිම ලියුම කියවද්දි, තාත්තා මැරුණය කියලා මට හුඟක් දුක හිතුනා.

මගේ තාත්තා අනෙක් හැමෝම වගේ මනුස්සයෙක්. ඒත් මේ ලියමන් අපිට මතක් කරලා දෙනවා අපේ දුර්වලකම් සහ ප්‍රමාදයන්ම අපේ ශ්‍රේෂ්ටත්වයට හේතු වෙනවාය කියන එක. පුද්ගලිකව, පොඩි කාලේ ඉඳන්ම මට මගේ තාත්තාගේ හුදකලාවත්, වේදනාවත් දැනුනා. ඒත් එතකොට මම හුඟක් පුංචියි. එයා හිටපු විදියෙන්ම මම එයාට ආදරෙයි කියන්න මම ලැජ්ජා උනා.

පාඨකයන්ගෙන් මට එන අපමණ ලියුම් ගැන බැලුවොත්, ඉතාම සරලව, මගේ තාත්තා සෑහෙන හොඳක් කරලා තියෙනවා. තාත්තා සටන් කරපු පරමාදර්ශයන් වියැකිලා ගියත්, අපි තාමත් ජීවත් වෙන්නේ එයා භය උන වියුක්තියන් තියෙන යුගයක. ඒත් මගෙ තාත්තා ඒ විදියටමත් ඉන්නවා. පැහැදිලි, වටහාගත හැකි භාෂාවකින් කතා කරමින්, සම්පූර්ණයෙන්ම මිනිසෙක් විදියට. හැමවෙලේම අනාගතය ගැන අසුභවාදියෙක් උනාට, මේ දැන් ගැන එයා හැමවිටම සුභවාදියෙක් උනා. අපිට තියෙන්නේ එකම චකිතයන්, එකම බලාපොරොත්තු, එකම ශෝකයන්, එකම අහ්ලාදයන්. ඒකයි මගෙ තාත්තගෙ නිර්මාණ විශ්වීය වගේම සර්වකාලීන වෙන්නේ. එයාගේ පොත් යම්කිසි සහෝදරත්වයක් නිර්මාණය කරනවා. එතැන ඉද්දි අපිට තනිකම දැනෙන්නේ අඩුවෙන්.

An Interview with Catherine Camus
By Robert Zaretsky
March 4, 2018
Los Angeles Rivews of Books

More From Author

කෙටි කාලයක් තුල වැඩිම මාධ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය කල ඊශ්‍රායල් ත්‍රස්ත රාජ්‍යය…

දෙමළ වේදිකාවේ නොමැකෙන ලකුණ – මහාචාර්ය සින්නයියා මෙෳනගුරු

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348