තනිකම සුන්දරයි… ඒත් ඒ සුන්දරත්වය කියාගන්නත් කවුරු හරි කෙනෙක් ඉන්න ඕනනේ!“Solitude is fine, but you need someone to tell that solitude is fine”

පුස්තකාල කවුන්ටරයේ හිටපු ජපන් යුවතිය, පොත මගේ අතට දෙද්දී මුලින්ම ඇතිවුණේ කුතුහලයක්.
ඒ එක්කම විස්මයක්
!

ඇය මා අතට පත් කළ පොත මා ජීවත් වන නගරයේ කිසිම පුස්තකාලයක තිබුණේ නැහැ. ඒ නිසා මේ පොත මා වෙනුවෙන්ම ප්‍රවාහණය කර තිබුණේ තරමක දුර බැහැර පුස්තකාලයකින්. (ඈත දුරක පුස්තකාලයකින් පවා තමන්ට අවශ්‍ය පොතක් නොමිලයේ ගෙන්වා ගැනීමේ අනර්ග සේවාවක් කැනඩා පුස්තකාල ජාලයේ තියෙනවා). පොත කුමක් ද කියලා පස්සෙ කියන්නම්.

මා ඉල්ලුම් කළ පොත, බොහොම පැරණි පොතක් බව ඇත්ත. ඒ නිසා මා බලාපොරොත්තු වුණේ එහි නව මුද්‍රණයක්. පුස්තකාලයේ යුවතිය පොත අතට දෙද්දී මා කුතුහලයට පත් වුණේ බැලූ බැල්මටම පොතේ තිබුණු අතිශය පෞරාණික පෙනුම හින්දා.
පොතේ පිටු දිග හැරලා බලද්දි තමයි ඒ කුතුහලය පුදුමාකාර විදියේ විස්මයක් බවට පෙරළුණේ.

පොත මුද්‍රණය කරලා තියෙන්නේ 1901 අවුරුද්දේ. ඒ කියන්නේ මගේ අතේ මේ තියෙන්නේ අවුරුදු 125ක් විතර පරණ පොතක්.
ඒ විතරක් නෙමෙයි, ඇය මා අතට පත් කළ පොත, විශේෂිත පිරිසක් වෙනුවෙන් සීමිතව මුද්‍රණය වුණු පොතක්. – “Limited to one thousand sets printed for subscribers only – Copyrighted 1901”. පොත ගැන හොයලා බලද්දි තමයි දැනගත්තේ මගෙ අතේ තියෙන මේ සුවිශේෂී පොත සාහිත්‍ය ලෝකයේ ‘දුර්ලභ මාණික්‍යයක්’ (rare gem) විදියට සැළකෙන පොතක් කියලා. මේ නිසා පොත කියවන්නට කලින් මගේ අතට පත් වෙච්ච පොත ගැන හොයලා බැලුවා.

පොතේ පිටු ගණන 400කට කිට්ටුයි. අවුරුදු 125ක් පරණ පොතක් වුණත්, ඒ එකම එක කොළයක්වත් කහ පැහැ ගැන්විලා නැහැ. අඩුම තරමින් අවපැහැ වෙලාවත් නැහැ. ඒ වගේම පොතේ පිටු එකක්වත් ගනකම රෙදිබැම්මෙන් ගැලවිලා යන්න හිතලාවත් නැහැ.

නවකතා පොතක් වුණත් පොතේ සිතුවම් කිහිපයකුත් තියෙනවා. ඒ හැම සිතුවම් පිටුවක්ම ඉදිරියෙන් ටිෂූ කඩදාසියක් අමුණලා තියෙනවා. ටිෂූ කඩදාසිය කොයි තරම් සුමුදු විනිවිද පෙනෙන කඩදාසියක් වුණත් අඩුම තරමින් ඒ ටිෂු කඩදාසිවත් අවපැහැ ගැන්විලා නැහැ.

මේ සීමිත මුද්‍රණය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ නිව්යෝර්ක්වල Nottingham Society කියන ප්‍රකාශන ආයතනය 1901 වසරේ දි. 19සියවසේ අගභාගයේ ඉඳන් 20 වන සියවසේ මුල භාගය දක්වා ලොව අග්‍රගණ්‍ය පොත් (high-end books) ප්‍රකාශයට පත් කළ සමාගමක්. මේ සමාගම වඩාත්ම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ විශිෂ්ට ගනයේ සම්භාව්‍ය පොත්පත් අති සුවිශේෂී නිමාවකින් යුක්තව සීමිත සංඛ්‍යාවක් විදියට (classical literature – luxurious limited editions) ප්‍රකාශයට පත් කළ සමාගමක් විදියට. මේ නිසා මේ සමාගමේ දොරටුවෙන් එළියට ආවේ එක පොතකින් උපරිම වශයනේ පිටපත් දහසයි. එහෙමත් නැතිනම් ඊට වඩා අඩු සංඛ්‍යාවක්.

පොත් මුද්‍රණයට දායක කර ගත්තේ ඒ ඒ අංශවල අතිදක්ෂ ප්‍රවීණ ශිල්පීන්. ඉස්තරම් ම මට්ටමේ අමුද්‍රව්‍ය. මේ නිසා මේ ආයතනය ප්‍රකාශයට පත් කළ හැම පොතක්ම ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වුණේ ඒ පොත්වලතිබුණු උසස් සාහිත්‍යමය ගුණාංග නිසා විතරක් නෙමෙයි, පොතේ මුද්‍රණයේ තිබුණු කලාත්මක සහ විශිෂ්ට ශිල්පීය දක්ෂතාවත් (artistic craftsmanship) හින්දා. ඒ නිසා නොටින්හැම් පොතක් නම් ඒක උසස්ම පොතක්; කලාත්මක ප්‍රකාශනයක්; තාක්ෂණයේ අග්‍රඵලයක්!

මේ සමාගම පොත්පත් මුද්‍රණයට යොදා ගත්තේ අංක එකේ ඉස්තරම්ම (HighGrade, Acid-Free, premium Paper) කඩදාසි. ඒ කඩදාසි තනිකරම සුදු නෙමෙයි. ඒවා තරමක ළා ක්‍රීම් පැහැයකට (Cream /Off-White) හුරුයි. ඒ නිසා තරමක සුවිශේෂී, පෞරාණික පෙනුමක් (classic, vintage look) මේ පොත් පත්වලට නිතැතින්ම උරුම වෙලා තියෙනවා. පරම්පරා ගණනාවක් පුරා සිය දහස් ගණන් පාඨකයන් අතින් අතට ගිහිල්ලත් අන්තිමේ දී මගේ අතට පත් වුණු පොතේ කොළ කිසිම විදියකින් අවපැහැ වෙලා නැත්තේ මේ ඉස්තරම්ම වර්ගයේ කඩදාසි නිසයි. පොතේ කොළ එකිනෙක පෙරලද්දී තරමක ගනකමක් වගේම මෘදු සුමුදු ගතියක් අතට දැනෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පොතක් අතට ගත්තාට වඩා තරමක විශේෂ හැඟීමක් (premium feel) දැනෙනවා.

ඒ යුගයේ තිබුණු ඉහළම මුද්‍රණ තාක්ෂණයට (letterpress printing) අනුව මුද්‍රණය කෙරුණු මේ පොතේ සිතුවම් නිම කෙරිලා තියෙන්නේ දැව ඵලකයක් මත කළ කැටයමක (Woodcuts) තීන්ත තවරලා. ඒ යුගයේ බිහිවූ අග්‍රගණ්‍ය පොත්පත්වල සිතුවම් නිමවුණේ මේ විදියේ දැව ඵලකයක එහෙමක් නැතිනම් ලෝහමය ඵලකයක කළ කැටයමක් (steel engravings) විදියට. මේ කැටයම් ඉතා සියුම්. ඒ වගේම අතිදක්ෂ නිර්මාණ ශිල්පීන් තමයි ඒවා කැටයම් කළේ. මේ සටහනට අමුණා තියෙන රූප සටහන් දැක්කාම ඔබත් ඊට එකඟ වේවි. පොත බඳින්නට යොදා ගෙන තියෙන්නේ විශේෂිත රෙදි වර්ගයක්.

පොතක් කිව්වාට ඇත්තටම ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක්!

Nottingham Society විශිෂ්ටතම අමුද්‍රව්‍ය යොදා ගෙන අතිදක්ෂ තාක්ෂණික ශිල්පීන් රැසක් එකතු කරගෙන මේ විදියේ අග්‍රගණ්‍ය පොත් පත් සීමිත පිටපත් ප්‍රමාණයකින් පමණක් මුද්‍රණය කරන්නට හේතු වුණේ ඔවුන් ගොඩ නගා ගෙන තිබූ අද්විතීය කීර්ති නාමයේ ගෞරවය රැක ගන්න විතරක් නෙමෙයි. පොතක අන්තර්ගතයේ ඉහළම ගුණාත්මක භාවය වගේම පොතක මුද්‍රණයේ විශිෂ්ටත්වය ගැනත් එක සේ අවධානය යොමු කරන පාඨකයන් සහ පොත් පත් එකතු කරන්නන් (collectors and readers) පිරිසක් ඒ වනවිට යුරෝපීය සමාජයේ බිහිවෙලා හිටිය හින්දා. ඒ වගේම Nottingham Society වගේ ආයතනයකින් බිහිකළ මේ විදියේ සීමිත මුද්‍රණයක පොතක් තමන් සතුව තිබීම තමන්ගේ සමාජ තත්ත්වය වගේම තමන්ගේ සාහිත්‍යමය රස වින්දනය ලෝකයාට කියාපාන කරුණක් විදියට (literary taste and social status) තමයි ඒ කාලයේ සැළකුණේ. මේ වගේ පොතක් තමන්ගේ එකතුවේ තිබීම පුස්තකාලයකට වුණත් සාඩම්බර කරුණක් වුණා. මේ නිසා නොටින්හැම් පොත පත සාහිත්‍ය සීමාවෙන් එහාට ගිහින් තමන්ගේ තත්ත්වය පෙන්නුම් කරන තරමක ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක් වුණා කිව්වත් වැරදි නැහැ.

පොත් පත් කර්මාන්තය වෙළෙඳ පොළ තරගකාරිත්වයට එක් වෙලා බොහෝ පොත් පත් සමාගම් කරළියට ඒමත් එක්කම නොටින්හැම් ආයතනය ක්‍රමයෙන් අභාවයට ගියා. ඒත් ඔවුන් ප්‍රකාශයට පත් කළ පොත පත, ඒ අතීත මිහිරි මතකය නිහඬවම දරා ගනිමින් පුස්තකාලවල සහ පෞද්ගලික එකතූන් අතර ආදරයෙන් රැක බලා ගන්නවා. මගේ අතට පත් වුණේත් එහෙම ශේෂ වුණු පොතක්. සියවසකට කලින් පොත පත ලිවීම සහ ප්‍රකාශනය කොයි තරම් නම් භාරදුර කර්තව්‍යයක් විදියට පාඨක – ලේඛක – ව්‍යාපාරික ප්‍රජාව භාර ගෙන තියෙනවා ද කියන කාරණය මේ පොත පිටුවෙන් පිටුව කියවද්දී හිතට දැනුණා.

ඒ වගේම අමුණා ඇති ඡායාරූපවලින් ඔබට පෙනෙනවා ඇති 1901 අවුරුද්ද තරම් ඈත කාලයේ දීත් මේ පොතට ප්‍රකාශන හිමිකම් අයිතිය ලැබිලා තියෙන හැටි. ප්‍රකාශන අයිතීන් සුරක්ෂිත කරන්නට Berne Convention නමින් අන්තර්ජාතික ප්‍රඥප්තියක් ස්විට්සර්ලන්තයේ බර්න් නුවර දී සම්මත කරගෙන තිබුණේ 1886 අවුරුද්දේදී. මීට කලිනුත් එවැනි නීති රීති තිබුණත් ඒවා මේ ප්‍රඥප්තිය තරම් ක්‍රමානුකූලව සකස් වුණු ඒවා නෙමෙයි. මේ නිසා මේ නව නීති පද්ධතියට රටවල් 15ක් ආරම්භයේ දීම අත්සන් තැබුවා. අවුරුදු දෙක තුනක් යන්නටත් කලින් ලෝකයේ දේශ සීමා මායිම් ඉක්මවා යමින් මේ ප්‍රඥප්තියට ඇතුළත් වුණු රටවල් සංඛ්‍යාව 180 ක් දක්වා වැඩි වුණා. මේ නව නීතිය හඳුන්වා දීලා අවුරුදු පහක් ඇතුළත ප්‍රකාශයට පත් වුණු මගෙ අතේ තියෙන පොතත් බර්න් ප්‍රඥප්තිය යටතේ කර්තෘවරයාගේ වගේම ප්‍රකාශකයාගේත් අයිතිය සුරක්ෂිත කරගෙන තියෙනවා. ඒත් මේ කියන පොතේ කර්තෘවරයා නම් ඒ වෙනකොටත් මෙලොව හැර ගිහින්.

දැන් බලමු මේ පොත මොකක් ද කියලා.

මේ තමයි බල්සාක්ගේ “The Thirteen” කියන පොත. පොත පත කියවන ඒ වගේම සම්භාව්‍ය පොත් පත් ඇසුරු කරන අයන නම් ප්‍රංශ ජාතික සාහිත්‍යවේදියෙකු වගේම නාට්‍ය රචකයෙකු වුණු බල්සාක් (Honoré de Balzac) කියන්නේ කවුරුන්ද කියලා හොඳින්ම දන්නවා. ලෝක සාහිත්‍යයට යථාර්ථවාදී රීතිය (realism) හඳුන්වා දුන්නේ ඔහු තමයි. ඒ කියන්නේ ලේඛකයා කතාව ගොතන්නේ කතාවේ චරිත හැම කෙනාගෙම ‘පැටිකිරිය’ දන්න කෙනෙක් (all-seeing observer) විදියට. ඒ නිසා කතාවේ හැම චරිතයක්ම ගලාගෙන යන්නේ එකම රිද්මයකට (coherently presented). ඒ චරිත එකිනෙකා එක්ක එක එක විදියට මිනිස් සබඳතා පවත්වා ගෙන යනවා.

බල්සාක්ට කලින් හිටපු රොමැන්ටික් ලේඛකයන් වැඩියෙන්ම අවධානය යොමු කළේ භාවාතිශය එහෙමත් නැතිනම් හැඟීම්බර විදියට පෞද්ගලිකත්වයට බර වෙලා චරිත නිර්මාණය කරන්න.
මේ නිසා සම්ප්‍රදායික ප්‍රබන්ධ කතා කලාවට අඩිතාලම දමපු ලේඛකයා විදියටයි ඔහුව හඳුනා ගන්නේ. ප්‍රංශයේ විතරක් නෙමෙයි යුරෝපය පුරාමත්, මුළු මහත් ලෝක සාහිත්‍යයටම බල්සාක්ගේ ආභාසය ලැබුණා. ලෝක ප්‍රකට මැඩම් බොවාරි ( Madame Bovary) නවකතාව ලියන්නට ෆ්ලොබයාර්ට (Gustave Flaubert), අපරාධය සහ දඬුවම වගේ පොතක් ලියන්නට දොස්තයොස්කිට (Fyodor Dostoevsky), චාල්ස් ඩිකන්ස් වගේ ලෝක ප්‍රකට ලේඛකයන්ට පවා ආභාසය ලැබුණේ බල්සාක්ගෙන් තමයි.

මගේ අතේ තියෙන “The Thirteen” කියන පොත කෙටි නවකතා කිහිපයක එකතුවක්. බල්සාක්ගේ ප්‍රසිද්ධම නිර්මාණයක් වන “Father Goriot” කියන කතාවත් මේ පොතට ඇතුළත්. දරුවන් වෙනුවෙන් තමන් සතුව තිබූ හැම දෙයක්ම පරිත්‍යාග කළ තාත්තා කෙනෙකුගේ ඛේදවාචකය සහ ඔහුගේ දරුවන්ගේ ආත්මාර්ථකාමීත්වය මේ කතාවෙන් හරිම අපූරුවට විස්තර කෙරෙනවා.

බල්සාක්ගේ හැම නිර්මාණයකින්ම එදා ප්‍රංශ සමාජයේ දකින්නට ලැබුණු පංති පරතරය, ආදරය, ඊර්ෂ්‍යාව වගේම ධනවාදී සමාජයක මුදලට කොයි තරම් බලපෑමක් කළ හැකිද යන්න හරිම අපූරුවට විස්තරකරනවා. සමාජයේ ඉහළම ස්ථරය හොබවන ප්‍රභූ පැලැන්තිය තිරය පිටුපස ඉඳන් මුළු මහත් සමාජයක්ම හසුරුවන හැටි මා මේ කියවන ඔහුගේ කෘතියෙනුත් මනාව විවරණය කෙරෙනවා. එහෙම බැලුවාම යුරෝපයේත්, ආසියානු සමාජයේත් මේ සියවස් දෙක තුන තුළ ලොකු වෙනසක් වෙලා නැහැ. යුරෝපයේ හිටියත්, ආසියාවේ හිටියත් මිනිස්සු මිනිස්සුම තමයි.

ඒ යුගය වන විට විස්මකර්ම ලේඛකයෙක් වුණු බල්සාක්ට තිබුණේ කෙටි ජීවිත කාලයක්. 1799 දී උපත ලැබුව ඔහු 1850 දී මිය ගියා. ඒ ඔහුට වයස අවුරුදු 51 දි.

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා!

බල්සාක් කියන්නෙත් එක්තරා ආකාරයක අසාමාන්‍ය චරිතයක්. ඔහු තමන්ගේ නිර්මාණශීලීත්වය පවත්වා ගෙන යාමේ අරමුණින් දවසකට කෝපි කෝප්ප පනහක් විතර බිව්ව ලේඛකයෙක්. ඒ පුරුද්ද අවුරුදු 25 ක කාලයක් පුරාම ඔහු පවත්වා ගෙන ගියා. ඒත් ඒ අසාමාන්‍ය කෝපි පානය ඔහුගේ ජීවිතය කෙටි කළා කිව්වොත් නිවැරදියි. ඒ වගේම එක දිගටම මහ රෑ නිදි වරාගෙන පොත් පත් ලියන්නත් ඔහු පුරුදු වෙලා හිටියා. සාමාන්‍යයෙන් ඔහු පොත් ලිව්වේ මහ රෑ ඒකේ ඉඳන් උදේ අට වෙනකල්. දිනෙන් දිනම පිරිහුණු ශාරීරික සෞඛ්‍යය වගේම ඔහුගේ මානසික සෞඛ්‍යයත් ඒ තරම් යහපත් මට්ටමක තිබුණේ නැහැ. ඒකට හේතුව ආර්ථික අඩුපාඩුකම්. ඉක්මන් මරණයකට මේ හැම දේම අඩු වැඩි වශයෙන් බලපෑවා.

බල්සාක්ගේ විවාහයත් හරිම පුදුමාකාරයි. ඒ වගේම තමයි බල්සාක්ගේ දෙමව්පියන්ගේ විවාහයත්. බල්සාක්ගේ දෙමව්පියන් විවාහ වෙද්දී ඒ දෙන්නා අතර වයස් පරතරය අවුරුදු 35ක්. විවාහ වෙද්දී අම්මාට වයස අවුරුදු 18යි. තාත්තාට අවුරුදු 53යි. ඒ විවාහය සිද්ධ වුණේ ප්‍රේමය මත පදනම් වෙලා නෙමෙයි. විශේෂයෙන්ම බල්සාක්ගේ අම්මාගේ පැත්තෙන් ගත්තාම ඒ පවුලේ ආර්ථික සුරක්ෂිතතාව වෙනුවෙන් ගත්ත ප්‍රායෝගික තීන්දුවක් විදියට. ඒක ඒ කාලයේ සමාජයේ සාමාන්‍ය සංසිද්ධියක්. මේ නිසා අම්මයි තාත්තයි අතර ප්‍රේමණීය බැදීමක් නොතිබුණා වගේම අම්මයි දරුවොයි අතරත් දැඩි හැගීම්බර සම්බන්ධයක් තිබුණේ නැහැ.

බල්සාක්ගේ විවාහය නම් ඊ‌ට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රේමණීය විවාහයක්. ඒත් කලින් කිව්වා වගේම පුදුමාකාර විවාහයක්. ඔහු විවාහ වුණේ ඔහුගේ රචනා ශෛලියට වශී වුණු පෝලන්ත ජාතික ප්‍රභූකාන්තාවක් එක්ක. ඔහුගේ පොත පත අගයමින් ඇය ඔහුට මුලින්ම ලියුමක් එව්වේ දෙදෙනාගේ විවාහයට අවුරුදු 18 කට කලින්. මේ අවුරුදු 18 ක දීර්ඝ කාලය පුරාම ඔවුන් රහසිගතව ලියුම් කරදහි එකිනෙකා අතර හුවමාරු කර ගත්තා. රහසිගතව හමු වුණා. ඒත් විවාහ වෙන්න බැරි වුණේ ඇය අන්සතු ළඳක් නිසා. අවසානයේ දී ඇගේ සැමියාගේ අභාවයෙන් පස්සේ ඔවුන් දෙන්නා විවාහ වුණා. ඒත් ඒ බල්සාක්ගේ ජීවිතයේ අවසාන කාලය. අවුරුදු 18 ක ප්‍රේම සම්බන්ධතාවෙන් පස්සෙ සිද්ධ වෙච්ච මේ විවාහයෙන් මාස හයක් යන්නත් කලින් බල්සාක් තමන්ගේ අවසාන සුසුම් පොද වාතලයට පිට කළා. ඔහුගේ අවසන් කටයුතුවලට ප්‍රංශයේ හිටපු සෑම ලේඛකයෙක්ම වීමෙන් ම පේනවා ඔහු කොයි තරම් නම් බලපෑමක් සාහිත්‍යයට කළා ද කියලා. බල්සාක්ගේ අතිජාත මිත්‍ර ලෝක ප්‍රකට ලේඛක වික්ටර් හියු‌ගෝ අවමංගල්‍යය වෙනුවෙන් කතාවකුත් කළා.

ඒත් තමන්ගේ මේ කෙටි ජීවිත කාලය තුළ දී බල්සාක් ලෝක සාහිත්‍යයට කළ බලපෑම නම් අති මහත්. ලෝක සාහිත්‍යයේ ප්‍රගමණය ගැන කතා කරද්දී බල්සාක්ගේ නම අමතක කරන්නම බැහැ.

Honore de Balzac

මගේ අතේ තියෙන සියවසකට වඩා පැරණි බල්සාක්ගේ පොත මේ වෙද්දී ඉස්තරම් මට්ටකින් තිබුණත් තවත් කොයි තරම් කාලයක් ඒ ඉස්තරම් මට්ටමින් මේ පොත විනාශ නොවී තියේවිද කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. ඒත් “බල්සාක්” කියන නාමය නම් තවත් සියවස් ගණනාවක් ගියත් මැකී නොයන විදියට ලෝක සාහිත්‍යයේ රන් අකුරින් සනිටුහන්ව තියෙන බව නම් විශ්වාසයෙන්ම කියන්නට පුළුවන්.

බල්සාක් තමන්ගේ පොත්පත්වල සටහන් කළ අගනා කියමන් බොහොමයක් තියෙනවා. එයින් මා වඩාත්ම සිත්ගත් කියමන තමයි මේ පහතින් තියෙන්නේ.

ලෝකයේ කොහේ හිටියත් මිනිස්සු මිනිස්සුම තමයි”

කියලා බල්සාක්ගේ පොත්පත්වලින් හෙළිදරවු වෙනවා කියලා මං කලින් කිව්වානේ. ඒත් මේ පහතින් තියෙන කියමනෙන් දැනෙන්නේ

අපට අපව නැතිවත් බැහැ” කියලා නේද?

“තනිකම සුන්දරයි… ඒත් ඒ සුන්දරත්වය කියාගන්නත් කවුරු හරි කෙනෙක් ඕනේ”
“Solitude is fine, but you need someone to tell that solitude is fine”

More From Author

ට්‍රම්ප් සටන් විරාමය නිවේදනය කිරීමෙන් පසු ව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීම දිගටම

ප්‍රවීණ සාහිත්‍යවේදී විජය නන්දන පෙරේරාගේ ‘සහස්පත්’ කෘතිය, මහනුවර KCC පොත් සල්පිලේදී

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348