වසන්තය ගිම්හානයට මාරුවෙන්න ළඟයි.
ඇතැමක් සීතල, වැහි අන්දකාර දවස් ඇරුණාම ඉර දිලෙන දින ගණන් වැඩිවෙමින් එනවා.
ඍතුවෙන් ඍතුවට පරිසරය වෙනස් වෙනවා වගේම, මනුස්ස ජීවිතවල ගමන් ලතාවත් වෙනස් වෙනවා.
මේ ඉර එළියත් යහමින් තිබුණු, වළා ඇතිරියෙනුත් නොතොර දවසක එළිමහන් සක්මනක මතක මල්දමක්.

රත් පැහැ පොපිමල් යාය
අපි මේ පොපිමල් යායටම මෙයින් දින තුනකට කලින් පැමිණියා. ඒත් එය වැසි අඳුරින් වැසුණු දවසක්. ඊළඟ දවස් දෙකෙන් එකක් යළි අඳුරින් වැසුණා, අනෙක වැසි දියෙන් සේදුණා.
අප තුන්වැනි දිනයේ යළිත් පැමිණියේ හිරු එළියත් එක්ක නාටකාකාර අහසක් ද සමෝධාන වී තිබුණු හින්දා යි.
ඒත් කලින් දා දුටු පොපි මල්වලින් කොටහක් වැස්සට සේදී ගිහින්.

පොපිමල් යාය අසබඩ සිත්තරා
මේ සුදුවන් හිසින් යුතු සිත්තරාට බාධා කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැතත්, මා පින්තූර ගනිමින් සිටියදී, ඔහු දෙස විමසිල්ලෙන් බලාසිටි එසලියා ගැන ඔහුගේ අවධානය ලැබුණා. (කැමරාව මානමින් වුවත්, මා හිටියේ ඇයට ඔහු ළඟට ගොස්, නගුට වනා, ඇඟට පැන, ආල ලීල පා ඔහුගේ දැහැන බිඳින්න නොලැබෙන ලෙස ඇය දුරට කර නවත්වාගෙන.)
එසලියාගේ විමසුම් බැල්මෙන් දැහැන බිඳගත් ඔහුත් එක්ක වචනයක් දෙකක් කතාකරන්න මට අවස්ථාවක් ලැබුණා.
“ගිය සෙනසුරාදා මීට වඩා මල් තිබුණා. ඊයෙ වැස්සට කොටහක් හේදිලා ගිහින් වගේ.” මම කීවා.
“සෙනසුරාදාත් මං ආවා. මල් හුඟක් තිබුණා, ඒත් මට ඕනෑ විදියට ඉර එළිය තිබුණේ නෑ. අද ඉර එළියයි වලාකුළුයි මං කැමතිම විදියකට!” සිත්තර තානයකින් ඔහු කීවා.
ඔහු එසලියාගේ ද හිස අතගා මොහොතකට ඇය සුරතල් කළා.
ඔහු හිටියේ පොපි මල් යාය අද්දර බිම ඉඳගෙන, සිය කුඩා දියසායම් පෙට්ටිය හා හුරුබුහුටි සිත්තම් පොත දිග හැරගෙන පොපිමල් යායත්, ඒ මත නාටකීය රටා මවන අවුරැල්ලත්, වලාකුළු පෙරහරත් සිත්තමට නඟමින්.
ඔහු ගේ උරිස්සට උඩින් කැමරාව මානා සායම් පෙට්ටියත්, ඇඳෙමින් තිබූ සිත්තමත් එක් රූප රාමුවකට හසුකරගන්න පුළුවන් වුවත් මා එහෙම කළේ නෑ.
සිත්තරා තමන් ගේ ඒ ඇඳෙමින් පවතින සිත්තම කාටවත් පෙන්නන්න තීරණය කරලද, නැතිද කියන්න මං දන්නෙ නෑ. ඒ තීරණය නොදැන මං කොහොමද බාග සිත්තර වැඩක පින්තූර ගහගන්නෙ.
සිත්තරෙකුට ඇවැසි නිදහස යි. එසලියා නිසා ඔහු ම සිය දැහැන බිඳනොගත්තේ නම් මා ඔහුට බාධා කරන්නේත් නෑ.
ඔහු තමන් හඳුන්වාගත්තේ සිත්තරකු නොව ‘විනෝදයට සිත්තම් අඳින්නෙක්’ විදියටයි. (ඒක මෙහි ජනප්‍රිය හැඳින්වීමක් – Hobbymaler)
ඔහු පැමිණි පාපැදිය පාරේ පසෙක නවතා තිබුණා.
ඔහු පොපි යාය අද්දර බිම වැටීගෙන, හුදෙකලාවේ දිගටම සිතුවම් අඳිමින් සිටියා.

එසලියාව පිස්සු වැට්ටූ අසරු ලිය
එසලියාත් මාත් පසුකර යන්න, ඉතාම ගාම්භීර ලීලාවෙන් පා තබන තුරුණු අස්සයෙක් පැමිණියා. අස්සයා මත පූර්ණ අසරු ඇඳුමෙන් යුතු ප්‍රතාපවත් යෞවනියක්. අසරු ලියක්.
එසලියාට තියෙන්නේ පුදුම අස්ස පිස්සුවක්. අස්සයෙක් දැක්කාම හැදෙන්නේ පුදුම අස්ස කුලප්පුවක්.
අත පුරෝල හොම්බට හොඳට ගුටි දෙන පූසො තමයි ඇගේ ජම්මාන්තර වෛරක්කාරයෝ. බැහැයි අස්සයන්ට තියෙන්නෙ මාර ‘ලව්’ එකක්. (ඒක ‘ඉලව්’ වෙන්නෙ දවසක හොඳ පයිං පාරක් කාපුදාට තමයි.) ඇයට මාත් ඇදගෙන අස්සයා පස්සේ යන්න ඕනෑ වුණා. ඒත් ඒක කරන්න බෑ.
යෞවනිය යාන්තමට ඉදිරියට නැවී අස්සයාගේ ගෙල පෙදෙස සෙමෙන් අතගා කිසිවක් මුමුණමින් අසු සන්සුන් කළා.
“පේන්නැද්ද, එයා පිස්සු බැලි කෙල්ලක්! අපි පාඩුවෙ යමු…!” ඇය කියන්න ඇති.
මේ දසුන අපට ඈතින් හිටි Devikaගේ කැමරාවේ ‘සිනෙ-මායා’ වීඩියෝවක් විදියට සටහන් වුණා.
මගේ බිත්තියේත් පහළ ඒක ඇමිනී ඇති.

හුදෙකලා ගිතාරු වාදකයා
ගිතාරුවත් එල්ලාගෙන පාපැදියක නැඟී පැමිණ සිටි තරුණයෙක් මඟ අයිනේ ලී බංකුවක හුදෙකලා ගිතාරු වාදනයක.
කෙත්බිම් තණබිම් පිසගෙන එන නැවුම් සුළඟ විඳිමින්, සැඩ නොවූ වසන්ත අවුරැලි නහමින්…
ඔහුගේ රුවක් කැමරාවේ සටහන් කරගන්නවාට ඔහුගේ අකැමැත්තක් තිබුණේ නෑ. ඒත් මං යන්තම් පින්තූර දෙක තුනක් ගත්තා විතරයි. එවැනි නිදහස්කාමීන්ට කරදර කරන්න හොඳ නෑ.
“පත්තරේක දානවනං මට පත්තරේ නම කියපං.” ඔහු කිව්වා.
“නෑ, හිතුණොත් ෆේස්බුක් දානවා. කමක් නෑනෙ!”
හුදෙකලාව විඳින්න ආපු සංගීතකාරයෙකුටත් දුර දිග යන කචබච කතාවලින් බාධා කරන්න හොඳ නැති නිසා අපි ඉක්මනින් ඔහුගෙන් සමුගත්තා.
මේක විසාල ගොවි බිමක්. එක් පසෙක ඉතාම පිළිවෙළට නඩත්තු කරන විශාල ගවගාලක්. විවිධ ධාන්‍ය කෙත් වගේම තණ බිම් සහ තමන්ගේ ම කුඩා එළවලු පාත්ති ටිකක් වවාගන්න කැමැති අය අතර බෙදාදෙන ‘ඍතු අනුගාමී වගාබිමකුත්’ (ඒක වෙනම විස්තරාත්මකව කතාකළ යුතු සුන්දර අත්දැකීමක් අපටත් දායාද කළ මාතෘකාවක්) මෙහි තියෙනවා. ඇයි, නිදහසේ කෑම අහුලාගෙන කන්න ඇරපු කුකුළන් සහිත කුකුළු ගොවිපොළ කොටසක් හා පාත්තයන්ට තාරාවන්නට වෙන්කළ කොටසකුත් තියෙනවා.
ඒ අතරේ, කැමැති කෙනෙකුට ගොවිබිම පුරා වැටුණු ගුරු පාරවල් දිගේ ඍතු සංවේදනා විඳිමින් ඔහේ ඇවිදගෙන යන්නත් කාගෙන්වත් තහනමක් නෑ. පාපැදිවලටත් ඒ මාවත් නිදහස්. හැබැයි වාහනවලට තහනම්.
එසලියාගේ වර්ගේ අයටත් කිසි තහනමක් නෑ. හැබැයි රැහැනක් සහිතව විතරයි.
නැත්නම් එයාලගෙන් කුකුළු කොටුවක්, පාත්ත රංචුවක් බේරගන්න පුළුවන් වෙයි කියන්න බෑනේ!
ඒ විතරක් නෙවෙයි, ධාන්‍ය බිම් හා තණබිම් අස්සේ ඉඳලා හිටපු ගමන් එහෙ මෙහෙ දුවන පනින හාවුන් සහ මුව, ගෝණ වර්ගවලට අයත් කුඩා සත්ව විශේෂවලටත් එසලියාලාගේ කට්ටිය ආල ලීල පාන්න යන එක විසාල කරදරයක් නේ!

සනත් බාලසුරිය-Sanath Balasooriya





