සත් මිතුරු ඇසුර සමග එංගලන්තයට!

පර්යේෂණ පත්‍රිකාවක් සඳහා එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ තිබුණු සමුළුවකට ආරාධනා ලැබුණේ පෙබරවාරියේ එහෙ යන්න. ඒත් මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වී තිබීම වගේම තිබුණු කෙටි කාල සීමාව එහෙම ගමනකට ඉඩ සැලසුවේ නැහැ. නමුත්, ඒත් එක්කම, මම කලින් සඳහන් කරපු අප්‍රේල්වල බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලයේ තිබුණු සමුළුවට මගේ තවත් පර්යේෂණ පත්‍රිකාවක් තේරුණා. මගේ පළමුවන එංගලන්ත ගමන එයින් ස්ථිර වුණා.

බර්මින්ග්හැම් විශ්වවිද්‍යාලය

රාජ්‍ය මුදල් වියදම් කරගෙන දැන් මේ සමුළුවලට යන්න බැහැ. අපි යන්න කලින්ම, අපි යන්නෙ අදාල රටේ ආයතනයකින්, නැත්තම් අතේ මුදලින් බව රජයට කියන්න ඕනෙ. ඉන් පස්සෙ තමයි මේ පර්යේෂණ සමුළුවලට යන්න අපිට අවසර ලැබෙන්නෙ. (ඒ සියල්ල ගැන වෙනම කතා කරමු.)

මේ ගමන මම ගියෙ මගේ අතේ මුදල්වලින්. නමුත්, ඒක එහෙමමයි කියන්නත් බෑ. හේතුව, එංගලන්තයට පා තබපු වෙලාවෙ ඉඳන් ලැබුණු සත් මිතුරු සත්කාර සහ සොයාබැලීම් එක්ක, නවාතැන් සැපයීම් සහ නානාවිධ උදව් එක්ක ඒක බරසාර සංචාරයක් වුණු නිසා. ආපිට ආ ගමන්ම ඒ හැමෝටම ස්තුති කරල ලියන්න හිටියත් කරන්න යෙදුණු ඇස් ඔපරේෂන් එකක් වැඩේ පරක්කු කළා. ඔන්න දැන් වෙලාව!‘ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටට බැහැල මගේ තැනට වරෙන්’ කිව්වෙ මගෙ පේරාදෙණි සගයෙක් වුණු සංජීව (Sanjeewa Samarakoon). සංජීව දැන් ලන්ඩනයේ ලංකා බැංකු ශාඛාවේ වැඩ. සංජීව සහ එයාගෙ එකම පුතා මට මුල් දවස් දෙකේ, පර්යේෂණ සමුළුව තිබුණු බර්මින්හැම් පැත්තට යනකම්ම, ඉහලින් සැලකුවා. පේරාදෙණියෙ ලංකා බැංකු ශාඛාව ‘සුපිරි පන්තියේ’ ශාඛාවක් කරන්න ඉහළින් වැඩ කරපු සංජීවගෙ පිළිවෙල, දැක්ම, මම ඒ දවස් දෙකේ දැක්කා. අපි බොහොම දේ ගැන කතා කළා. ඔය පළවෙනි, දෙවෙනි පින්තූරවල ඉන්නෙ එයාලා.

‘ප්‍රියන්ත, ඔයාට බර්මින්හැම්වල නවතින එක අමාරු වෙයි සල්ලි ගෙවල නම්… අපෙ ගෙදර ඉඳන් යන්න එන්න කැමති නම් ඔයා මෙහෙ එන්න.’

ඒක අසේලගෙ ආරාධනය! අසේල රංගදේව (Asela Rangadewa) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙක්. එයා දැන් ලෙස්ටර්ෂයර්වල පදිංචි වෙලා ආචාර්ය උපාධියට වැඩ. ලෙස්ටර්වල ඉඳන් බර්මින්හැම් යනකම් පැයක, ඇඟට නොදැනෙන, කෝච්චි ගමන මම සමුළුව තිබුණු දින හතරෙම ගියා. ඒ හැම දවසකම, අසේල සහ එයාගෙ ආදරණීය බිරිඳ බුද්ධිකා වගේම එකම පුතත් මට බොහොම උපකාර කළා.

අසේල බොහොම වැඩවලට දක්ෂයි. උයන කෑම හරි රසයි. පුංචි අඩියක් එක්ක කියන කතා තවත් රසයි. ශාස්ත්‍රීය දේවල්, රට ගැන තොරතුරු, වල්පල්, රස කතා එක්ක ඒ ගෙවුණු දවස් තුන-හතර නියම මතකයක්! (එයාලා ඉන්නව තුන්වෙනි පින්තූරෙ)

බර්මින්හැම් මම යැවෙන්නෙ නෑ උපුල් නොවෙන්න. මේ දැවැන්ත පර්යේෂණ සමුළුව ගැන තොරතුර එවල පත්‍රිකාවක් ලියන්න යෝජනා කළේ උපුල්; උපුල් කුමාර වික්‍රමසිංහ (Upul Kumara Wickramasinghe). ආචාර්ය උපාධිය කෙළවර කරල, දැනට එඩින්බරා විශ්වවිද්‍යාලයේ ‘පෝස්ට්-ඩොක්’ එකක ඉන්න උපුල්ටයි මටයි සමුළුවේ සැරිසරන්න වුණේ දවස් දෙකයි. ඒ, එයාගෙ වැඩ අධිකකම නිසා. නමුත්, ඒ අතරෙ උපුල්ගෙන් ලැබුණු අදහස් සහ දිරිමත් කිරීම් හරි අගෙයි.

බර්මින්හැම් සමුළුව කෙළවර වුණේ හල් බලා ගිය ගමනකින්. හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරමින් ඉන්න, සහෝදරියකට සරි සංජීවනී (Sanjeewani Rupasinghe) බොහොම උවමනාවෙන් මම හල් එනකම් බලාගෙන හිටියා. ජීවිතේ පළවෙනි වතාවට මාව මල් කළඹක් දීල පිළිගත්තෙ සංජීවනී සහ සමන් (Saman Kariyawasam)! ඒ හල් ස්ටේෂන් එකේ දි.

හල්වල ගෙවුණු දින කිහිපය ශාස්ත්‍රීය වශයෙන් වැදගත්. හල් නගරයේ දී හඳුනාගත්, හල් හී බහායි කමිටුවේ වෛද්‍ය සිනා හැක්මන් (ඉරාන ජාතිකයෙක්) ‘ලෝක සාමය’ පිළිබඳ කෙරෙන වැඩසටහනක් අතරතුර ‘සාමය හා සබැඳෙන සිනමාව’ ගැන කතා කරන්න මට ආරාධනා කළා. එතන මාත් එක්ක, කොංගෝවෙන් ආපු ක්ලෙමන්ට් ම්විමිකා මහත්මයත් හරවත් කතාවක් කළා.

පුරාණ හල් නගරය පුරා ඇවිදින්නයි, ලෝකයේ දිගම එල්ලෙන පාලම වුණු හම්බර් පාලම බලන්න සමන්, සංජීවනී එක්ක මගේ ලොකුම ගමන් සගයා වුණු සංජීවනීගේ පුංචි පුතා යෙවිනුත් එකතු වුණා. යෙවින් ඉඩක් ලැබුණු හැම වෙලේම තට්ටුවක් දාලා ‘ආ… මාමේ’ ගාන එක කොයි හැටි වෙතත්, හල්වල ඇවිදින්නත්, අන්තිමේ මැන්චෙස්ටර් එන ගමනෙදිත් එයා මාත් එක්ක හිටියා.

මැන්චෙස්ටර් දවස් දෙක-තුන ඒ තරම්ම වර්ණවත් නොවෙන්න මගේ සෞඛ්‍යය පිරිහීම බලපෑවත් ගංගා (Ganga Samarawickrama) (විශ්වවිද්‍යාලයේ පහළ වසරක උන්නු සමීප සහෝදරියක්) වගේම ඇගේ ස්වාමි පුරුෂයා වුණු ශ්‍රීමාල් (Srimal Samansiri) එක්ක දරු දෙදෙනාත් ඒක පිරිමහල දුන්නා.

ශ්‍රීමාල් මාව එකතු කරගෙන ගිය මැන්චෙස්ටර් නගර සංචාරය වටින එකක්. එංගලන්තයේ පැරණිම කර්මාන්ත නගරයක් වුණු මැන්චෙස්ටරයේ අතීත වෘත්ත මහ ගොඩක් ශ්‍රීමාල් දැනගෙන හිටියා. අපි ගොඩ වැදුණු කෞතුකාගාරවල ඇතැම් තැන් සහ දේවල් මම බැලුවෙ, ශ්‍රීමාල් කරපු අපූරු පැහැදිලි කිරීම් එක්ක. හරිම සුන්දර මල්වලින් සැරසුණු එයාලගෙ ගෙවත්තේ ඡායාරූප කැමරාවෙ දාගත්ත මම ගංගා නැත්තම් ශ්‍රීමාල් ගෙන ආපු කෝපි, රස ආහාර, මධුවිත එක්ක බොහොම දේ ගැන කතා කළා. චිත්‍රපටි වගේම බීබීසීයේ හරවත් වාර්තා වැඩසටහන් බැලුවා.

මැන්චෙස්ටර් නගරයේ ඡායාරූපයකි

මම ලංකාවට එන්න බලාගෙන ආපිට ලන්ඩනයට ආවෙ ලන්ඩනයේ ඇවිදින්න දවස් දෙකක් තියාගෙන. ඒත් දිගින් දිගටම පිරිහුණු සෞඛ්‍ය මට දුන්නෙ දවසයි.

‘ලන්ඩන් ආවම මම ඉන්න තැන ඉන්න පුළුවන්’ වරා, ත්‍යාගරාජා වරදාස් (Wara Thiyagaraja), කලින්ම කියලයි තිබුණෙ. ඒ දවස් දෙක ගෙවුණෙ එතන. ලන්ඩනයේ තියෙන විවිධත්වය ගැන උදාහරණ පෙන්වමින්, ලංකාවේ දේශපාලනය, ලෝක දේශපාලනය, විශ්වවිද්‍යාල, ශාස්ත්‍රීය වැඩ ආදිය ගැන කතා කරමින් වරා මගෙ අසනීපවලටත් සත්කාර කළා.

ලන්ඩනයේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ වැඩි ප්‍රමාණයක් මට අතෑරුණා. ඒත් මහ නගරයේ දි මුණ ගැසුණු සේනක (Senake Hettiarachchi) තිබුණු සුළු වෙලාවෙ මාත් එක්ක පොඩි රස්තියාදුවකට ආවා. හවස් වෙලා මුණගැහුණු උවිඳුත් (Uvindu Kurukulasuriya) අපිත් එක්ක ඇවිද්දා, රස කතා කිය කිය.

‘අන්තිම දවසෙ අපෙ දිහා නවතිමු! මම ඔයාව එයාපෝට් දානව අයියෙ!’ කිව්වෙ ලගත් (Lagath Gunasinghe). ලගත් මගේ චෙස් මිතුරෙක්. නුවර විද්‍යාර්ථයේ මට පන්ති කීපයකට පහළින් හිටපු ලගත් උසස් පෙළ කරන්න රෝයල් එකට ගියා. ඒ හින්දම අපේ සමීප මිතුරුකම් නතර වෙලා අවුරුදු තිස්ගාණක් වෙලයි තිබුණෙ. ඒත්, ඒ අන්තිම දවස ලගත්, එයාගෙ බිරිඳ කල්පනී ((Kalpanee Gunawardana) වගේම පවුලෙ සේරම ආයෙම අපිව දිගුකාලීන මිතුරන් බවට පත් කළා. රසවත්ව කතා කරන්න පුළුවන් ලගත්ලාගෙ ගෙදර හැන්දෑව උපරිමෙම්ම රසවත් වුණේ,
‘උඹ යන්න කලින් මම කොහොම හරි උඹව බලන්න එනවමයි!’ කියල දුවගෙන ආපු තුමිඳු (Thumindu Dodantenna), කලණි (Kalani Dodantenna) වගේම පුතා හින්දා. එක අතකින් තුමිඳු – කළණි කාලෙකින් මුණගැසීම මට ලොකු සතුටක් වුණා. අනිත් අතට, උදේ වෙද්දි හීනෙකින්ව්ත් නොහිතපු ‘කූඹියෝ’ එකේ ජෙහාන් එක්ක, නිළියක් හැටියට ආදරය දිනපු එයාගෙ බිරින්දෑ කලණි ගෙදරට ආපු එක ලගත් -කල්පනී යුවලට සතුටක් වුණා.

මම ලන්ඩනයෙන් පිටත් වුණේ ‘මිතුරු දම්’ කොයිතරම් නම් සුන්දර ද, අගනේ ද කියල හිතමින්! මුණගැහුණු උඩ කියපු අය හැර තව බොහොම දෙනෙක් මට ‘මිස්’ වුණා. බර්මින්හැම් ළඟපාතම ඉඳපු අවන්ත අයියා (Awantha Herath), නිලන්ත වලිසුන්දර (Nilantha Walisundara) කෝල් කලත්, එන්න කීවත් වෙලාව ඉඩ දුන්නෙ නෑ. ‘බ්‍රිස්ටල් නගරයට ඇවිත් දවසක් ඉඳල යමු’ කියල කියපු, අපේ නීති දෙපාර්තමේන්තුවේ කලින් සේවය කරපු චේතනා (Chetana Karunatilaka), ශ්‍රීපාලියේ ශිෂ්‍ය ප්‍රජාව අතර උන්නු ජයන්ත (Withanage Jayantha) ජයන්ත චෙස් ප්‍රජාවේ වුණු හිරාන් (Hiran Wijeratne) තරිඳු (Tharindu Wickramanayake), පෝස්ට්මවුත් එන්න කියපු කෞෂල්‍යා (Juliyan Kawshalya Mendis) සහ තුසිත (Thusitha Laknath Galindawaththa) වගේ සේරම දුර, කාලය, මුණ නොගනස්වපු අය.

මධුනි (Madhuni Alahakoon Pussewela) කියලම තිබුණත් බීඑෆ්එයි (බ්‍රිතාන්‍ය සිනමා ආයතනය) එක්ක යන බව එයාගෙ වැඩ අධිකකම නිසා අපේ හමුව යෙදුනෙත් නැහැ. ඇන්ඩි (Andi Schubert) සහ සමල් (Samal Vimukthi Hemachandra) එක්ක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල හමුවීම් නොයෙදුනෙත් කාලය නිසාමයි.

ඒත් මේ හැමෝම එක දෙයක් කිව්වා.

“අපි ආයෙම මුණගැහෙමු!”

ඔව්! මිතුරුකම් එහෙමයි… ඒවා අපි
.ව ජීවත් කරවනවා. ඔයාලා හැමෝටම ස්තුතියි.

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගල: 7

සමන් පුෂ්ප කුමාරගේ ‘හේගල්’ විස්තරාත්මක හැදින්වීමක් ඔස්සේ කලාව සහ කලා විචාරය වෙත ආපසු යාම (දෙවනි කොටස)

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348