ප්‍රියංජලා සෙනෙවිරත්න
යාපනය සරසවියේ මෙවර වෙසක් බැති ගී ගැයෙන වීඩියෝවක් නරඹන්න ලැබුණා. ඇත්තටම පහු වී හෝ මේ සිදුවීම සතුටක්. උතුරු දකුණු සංස්කෘතික හුවමාරුව අතීතයේ නිසියාකාරව සිදු වුණා නම් පසුකාලීනව මහා විනාශකාරී යුද්ධයක් ඇති නොවී තිබෙන්න තිබ්බා.
සමහර ලොකු මාතෘකා ගැන අපිව අවදි කරන්නේ පොඩි සිද්ධි වෙන්න පුළුවන්. මාව දෙමළ ජනයා ගැනත් ඔවුන්ගේ යයි සම්මත සියල්ල ගැනත් සංවේදී කරවන්නේ වරෙක සිදු වූ එක් සිද්ධියක්.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටි අවධියේ දිනක් මගේ මිතුරු පිරිසක් අපේක්ෂාවෙන් මම කලාගාරයේ ඉදිරිපස බිම ඉඳගෙන හිටි වෙලාවක, මගේ කණ්ඩායමේ දෙමළ ශිෂ්‍යාවක් එතන ඇවිත් ඉඳගත්තා. අපි දෙන්නා ඊට පෙර කවදාවත් කතා කරලා තිබුණෙ නෑ. අපි එදා දීර්ඝ කතාවකට මුල පිරුවා. නොදැනීම කතාව නොහිතුව තරම් දිග, මගේ ජීවිතය පුරාවටම ම එන එකක් උණා.
“ඔයා කොහෙද ඉන්නේ”
වගේ සාමාන්‍ය ප්‍රශ්නවලින් පටන් ගත්ත කතාව දෙමළ කම්කරු ජනතාවගේ අල්පේච්ඡ ජීවිත, පුරවැසිභාවය අහිමි පරපුරු ගණනක ඛේදවාචකය, ලයිම් කාමරවල ගෙවන දෙමළ ජන ජීවිතය වගේ සංකීර්ණ සමාජ ප්‍රශ්න දක්වා දුරදිග ගියා.
කතාවේ විටින් විට ඇයගේ ඇස් වල කඳුළු, කේන්තියෙන් දිලිසෙන ඇස්, උපහාස හිනා, සියල්ල ඉදිරියේ ඇයිද නොහැඟෙන අපහසුතාවයකට පත්ව නිහඬ ව ඇයගේ සියලු හැඟීම් මගේ කර ගනිමින් මම හිටියා.
එයා කතා කරපු තැන් කිහිපයක ඇය ආණ්ඩුව හැඳින්වූයේ
‘ඔයාලගේ කට්ටිය’ යන වචනයෙන්.
වෙන තැන්වල නම් ගල් පැළෙන තර්ක එන මගේ කට වැහුණා. නිහඬව ඇය ළඟ ගල් වෙලා හිටියා මිස ඒවට ප්‍රතිඋත්තර දීම වෙනුවට දීර්ඝ කාලයක් කවුරු හරි පිරිසක් අතින් ඔවුන්ගේ සමූහයට සිදුව ඇති මිනිස් වර්ගයාට නොසිදු විය යුතු සිද්ධි දාමයට ඒ සියල්ලන් වෙනුවෙන් සමාව ඉල්ලීමට මට ඕන කමකින් පෙළුණා .
ඒ වෙනුවට දෙමළ භාෂාව ,දෙමළ සංස්කෘතිය හා ඇය නියෝජනය කළ සියල්ලට ඒ මොහොතේ සිට විශාල ගෞරවාදරයකින් මාව පිරුණා .
අදටත් මගේ ශිෂ්‍ය පිරිස ළඟ, බොහොමයක් පාඩම් ළඟ ඇය ගැන මතක අවධි වෙනවා.

මඟතොට දකින මුහුණු ළඟ, ලයින් කාමර ගෙවල් දකින තැන, ඇය ගැන මතක ඇවිලෙනවා.
“මේ ලෝකේ මිනිස් වර්ගයා ‘මනුස්ස’ කියන සංකල්පය මත විතරක් රැඳුණා නම් ලෝකයේ අද දක්වා සිදුවුණ යුද්ධ ගැටුම් කිසිවක් ඇති නොවෙන්න තිබ්බා. මිනිසුන් සතුටින් ජීවත් වෙන්න තිබ්බා”
එදා කලාගාරය ඉස්සරහ මුණ ගැහුණු
දෙමළ, වතු දෙමළ, ලයින්වල ජීවත්වෙන වගේ වර්ගවලට අයත් කෙල්ල මට උගන්නලා ගිය පාඩම ඒක.
එදායින් පස්සේ ආයෙත් අපිට කතා කරන්න ඉඩක් ලැබුනේ නෑ. අද ඇය කොහෙ ද මම දන්නෙත් නෑ. ඒත් ඒ පාඩම මම මගේ සියලු ශිෂපරම්පරා හරහා සමාජය වෙත ගෙනයමින් ඉන්නවා, ඇය වෙනුවෙන්.
එදා ඇයව සනසන්න කිසිවක්ම කළ නොහැකි වූවාට මම තෝරගත්ත වන්දි ගෙවීම ඒක.
සමහර මිනිස්සු අපට හමුවෙන්නෙ අපි නොහිතන නොදකින පැති අපට පෙන්නලා යන්න , ඇත්තටම ලෝකෙ සමහර අපි නොදැක්ක අහුමුළු අපට පෙන්නලා හිත් ඇතුළට ඒව පුරවලා යන්න.
යාපනය සරසවියේ වෙසක් ගී ගැයූ වීඩියෝව දකිද්දිත් ඇයි දන්නේ නෑ , මට ඉස්සෙල්ලාම හිතට ආවේ ඇයව.
