ශ්‍රී නරේන්ද්‍ර මෝදි
අග්‍රමාත්‍ය
ඉන්දියාව
සැරදේ භාරත මාතා!
සැරදේ අගමැති තුමනි!
භාරත මාතාවගේ ළයෙන් වෑහුණු කිරි බිඳුවක් වන් ලංකා ද්වීපයෙහි උපන් මනුෂ්‍යයෙකු ලෙසත්,අසල්වැසි අර්ධ මහාද්වීපයේ නායකයා ලෙස ඉන්දියාව ලොව බලගතු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා අභීතව කටයුතු කරන නායකත්වය පිළිබඳ සතුටු වන්නෙකු ලෙසත්
ගත් කතුවරයෙකු හා ජනමාධ‍්‍යවේදියෙකු ලෙසත් හදවතෙහි උපන් උණුසුම් හැඟීමෙන් යුතුව ඔබට මේ කෙටි හසුන එවමි.
ගරු අගමැති තුමනි!
ඉන්දියාව නමැති මහා දේශයේ අතීත සම්ප්‍රදාය සහ ශිෂ්ටාචාරයේ උරුමය මෙන්ම ජාතීන් ගණනාවකින් සමන්විත ඉන්දියානුවන්ගේ මෙන්ම අසල්වැසි රාජ්‍යයන්ගේ සුපුෂ්පිත පැවැත්ම උදෙසා පාකිස්ථානය සම්බන්ධ ස්ථාවරය මඳක් වෙනස්කොට පියවරක් ආපසු ගනු මැනවි.!
පළමුව ඔවුන් එල්ල කළ හිතුවක්කාර ප්‍රහාරයෙන් නැති වූ ජීවිත වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට පාකිස්ථානු රජයෙන් සැලකිය යුතු වන්දියක් යෝජනා කරමින් සාකච්ඡාමය සම්මුතියක් සඳහා ඔවුන්ට ආරාධනා කරන්න!එයින් ඔබගේ සහ භාරත මාතාවගේ අභිමානයට කැළලක් නොවේ.
අතීත ශිෂ්ටචාරයෙහි බලය වෙනුවෙන් කෙරුණු බිහිසුණු යුදගැටුම් ගණනාවකින් භාරාත මාතාවගේ සිරුර තෙත් වී ඇත.
ඓතිහාසික නිදහස් අරගලයෙහි ප්‍රතිපල ලෙස යුද ගැටුම් හා කුල බෙදීම් අවම වූ දේශයක් ගොඩනැගීම උදෙසා අරගලයේ නායකයන් හා මහජනතාව කළ කැපවීම් සුළුපටු නොවේ.ජනවර්ග ගණනාවකට අයත් මහා ජනසමූහයක් සමානයන් හැටියට පිළිගන්නා ඉන්දියානු ව්‍යවස්ථාව එහි මාහැඟි ප්‍රතිපලයයි.
ගරු අගමැති තුමනි!
කපිලවස්තු පුරයත් කෝලිය නගරයත් අතරින් ගලා බසින රෝහිණී නදිය හරහා බැඳි වේල්ලේ ආධාරයෙන් ජලය බෙදාගෙන ගොවිතැන් ඇතුළුව ජීවන සංස්කෘතිය පෝෂණය කරගත් ශාක්‍ය වංශිකයන් සහ කෝලිය වාංශිකයන් අතර ජලය මුල් කරගෙන ඇවිළෙන්නට ගිය මහා ගැටුම සමථයකට පත් කළ, භාරතයේ උපන් ගෞතම බුදුන් ගිය මග අනුව යමින් දෙරට අතර අවි ගැටුම ඇවිළෙන්නට ඉඩ නොදෙනු මැනවි.
ත්‍රස්තවාදී ප්‍රහාරයක් නිසා මිය ගිය ඉන්දියානුවන්ගේද,වේලි හරස් කිරීමෙන් දුකට පත්වන පාකිස්ථානුවන්ගේද ගින්න නිවිය හැකි මහා පුරුෂයා ඔබයි.
අවි ගැටුම දුර දිග ඇදී යෑමේදී සිදුවන විනාශයකින් පසු කවුරු ජය ලැබුවත් ඇතිවූ හානිය වැළැක්විය නොහැකි වනු ඇත.
ගෞතම බුදුන් මෙසේ කීහ.
“ජයග්‍රාහකයා වෛරයෙන් පසුවන්නන් රැස් කරයි.පරාජිතයා දුකින් නිදයි.ජය පරාජය බැහැර කර උපශාන්ත ව වෙසෙන්නා සුව සේ නිදයි “
මහා භාරතයේ භාරකරුවාණෙනි!සුවහසක් ජනතාවගේ අනාගත ඉරණම ඔබට පැවරී ඇත. භාරතයේ මෙන් ම අසල්වැසි රටක් වශයෙන් ලංකාව ඇතුළු රටවල් ගණනාවක වෙසෙන මහා ජනකායට මේ සත්‍යය පොදුය.
ලොව බලගතුම රාජ්‍යයක් ලෙස හැමතින්ම නැගුණු භාරත මාතාව බිහිසුණු යුද්ධයකින් තුවාල වෙනු දකින්නට අකමැති අසල්වැසි රාජ්‍යයේ රටවැසියෙකු වශයෙන් ඔබට මෙසේ මෙසේ දයාබරත්වයෙන් ආරාධනා කරමි.
පාකිස්ථානු රජය සමග සාකච්ඡා සම්මුතියකින් යුදමය විසඳුම වෙනුවට විකල්ප විසඳුමක් කරා යනු මැනවි!
ඔබටත් භාරත දේශයටත් යහපතක් ම වේවා!
සාමය උදා වේවා!
මම
ලංකාවාසී
තිඹිරියාගම බණ්ඩාර

තිඹිරියාගම බණ්ඩාර
ජනමාධ්‍යවේදී
අද පුවත්පත් කර්තෘ මණ්ඩලය
විජය පුවත් පත් ආයතනය.
හුණුපිටිය හරස් පාර
කොළඹ 2
ශ්‍රී ලංකාව
thimbiri@gmail com
දුර/වට්ස්ඇප් 0710386339
2025.5.10
මෙම සන්දේශය ඉන්දිය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි ඇතුළු ආසියානු කළාපයේ අනෙකුත් රටවල රාජ්‍ය නායකයන්ට යොමුකර ඇත.මෙි එහි සිංහල පරිවර්තනයයි.





