එරික් ඉලයප්ආරච්චි
සමන් පුෂ්පකුමාර කතුවරයා සිය සාරගර්භ කෘතියෙහි ලා හෙගල්ගේ ඥානවිභාගාත්මක පදනම් විභාග කරමින් පවසන්නේ හෙගල්ගේ දාර්ශනික අභිලාෂය මයිකල් ඇන්ජිලෝගේ කලාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහසක් සමඟ සමපාත වන බව ය.
“මයිකල් ඇන්ජිලෝට අනුව සෑම ගල් කුට්ටියක් තුළ ම අභ්‍යන්තර පිළිමයක් ඇත. මූර්ති ශිල්පියාගේ අභිලාෂය විය යුත්තේ මේ අභ්‍යන්තර පිළිමය සොයා ගැනීම ය. දාර්ශනිකයා කරන්නේ හුදෙක් මතයක් ඉදිරිපත් කිරීම නොවේ. තමා තුළ ඇති අදහසක් එළියට දැමීම නොවේ. ඔහු කරන්නේ ක්‍රමානුකූලව අභ්‍යන්තරික සත්‍යය හෙළිදරව් කිරීමකි. මූර්ති ශිල්පියා අභ්‍යන්තරික පිළිමය සොයනවා සේ පරමත්වය ක්‍රමානුකූලව හෙළිදරව් කිරීම ය.”
හෙගල්ගේ එම මයිකල් ඇන්ජිලියානු මූර්තිකරණ දාර්ශනික පද්ධතිය තුළ දී, සාහිත්‍යය හා කලාවෙහි ලා අභ්‍යන්තරික ලෙස අපට ලැබෙන්නේ කුමන ආකාරයේ අත්දැකීමක් ද යන බව විභාග කළ මනා ය. එහි ලා නිෂේධනය විසින් ඉටු කරනු ලබන කාර්යය හඳුනා ගැනීම වැදගත් වන අතර ‘හෙගල් විස්තරාත්මක හැඳින්වීමක්’ කෘතියේ ‘හෙගලියානු නිෂේධනය’ නම් 19 වෙනි පරිච්ඡේදය ඒ වෙනුවෙන් කියවීම මැනවි.

එනමුත් අප කවුරුත් එසේ කළ යුත්තේ සාහිත්‍යය හා කලාව දර්ශනවාදයේ දිගුවක් හෝ රූකඩයක් කරන්නට නොව සෞන්දර්යවේදය තුළ නිෂේධනය අර්ථකතනය කරනු පිණිස ය. සමන් පුෂ්පකුමාර කතුවරයා ‘හෙගලියානු නිෂේධනය’ නම් මෙම පරිච්ඡේදය අරඹන්නේ අසුභවාදී හා ක්ෂමාලාපවාදී ස්වරයකිනි.
“ප්‍රගතිය පිළිබඳ අදහස බිඳ වැටී ඇති යුගයක, නූතනත්වය පිළිබඳ අපේක්ෂාවන් වියැකී ඇති යුගයක ප්‍රගතිය ගැන විශ්වාසය තැබූ නූතනවාදී දාර්ශනිකයකු වූ හෙගල් කියවීම කෙතරම් යුක්තියුක්ත ද? ආගම පිළිබඳව, පරමත්වය පිළිබඳව අපේක්ෂාවක් නැති යුගයක හෙගල් කියවීම ප්‍රයෝජනවත් කටයුත්තක් ද?”
කතුවරයා පෙන්නුම් කරන ප්‍රගතිය, නූතනත්වය හා පරමත්වය යන කාරණාවන්ගේ හායනය හෝ අභාවය අතරට සාහිත්‍යය හා කලාව ද ඇතුළත් විය යුතු බව සිතමි. එසේ නම් සාහිත්‍යය හා කලාව පිළිබඳ අපේක්ෂාවන් වියැකී ඇති යුගයක සාහිත්‍යය, කලාව සහ සංස්කෘතිය ඇතුළත් කර ගත් ඉතිහාසයෙහි ප්‍රගතිය ගැන විශ්වාසය තැබූ නූතනවාදී දාර්ශනිකයකු වූ හෙගල් කියවීම කෙතරම් යුක්තියුක්ත ද? යන ප්‍රශ්නය අප නැඟිය යුතු ය.
එපමණක් නොව ඒ පරිහානියට එරෙහිව නොතිත් විචාරාත්මක අරගලයෙහි යෙදී සිටින්නන් ද කතුවරයාගේ 25 වෙනි පරිච්ඡේදයට, එනම් ‘හෙගල් ගැන කතිකාව සහ අපගේ මැදිහත් වීම’ නමින් ලියැවුණු ඔහුගේ ජාතික දේශපාලන සංගණන වාර්තාවට ඇතුළත් විය යුතු ය.
එහි සඳහන් මැදහත් වීමේ දාර්ශනික ප්‍රකාරයන් බොහොමයක් ද සාහිත්‍යය හා කලාව පිළිබඳ අපේක්ෂාවන් වියැකී යාමට කොයි තරම් දායක වී ද යන ඉතාමත් විවාදාත්මක ප්‍රශ්නය ද කල් නොතැබිය යුතු සාධාරණ එකක් බව කල්පනා කරමි.
කලින් කල මෙරට බුද්ධි අම්බරයට නැඟුණු එම කතිකාවේදීන් තුළ පැවතුණු සාහිත්‍ය හා කලා අන්ධභාවය ද, සාහිත්‍යය හා කලාව සම්බන්ධයෙන් සිදු කළ ඔවුන්ගේ ගණන් බැලීම් හා සුහදශීලිත්වය පිණිස භාවිතා කළ ටැබ්ලොයිඩ් විචාර වැනි සංනිවේදන ප්‍රවර්ග තුළ නෛසර්ගිකව පැවතුණු දාර්ශනික හා සෞන්දර්යවේදී දරිද්‍රතාව ද මෙහි ලා සඳහන් කරනු මනා ය.
ගැඹුරු සාහිත්‍ය හා කලා විචාරය ඉදිරියේ එය වඩාත් කැපී පෙනෙන අවරසිකත්වයක් වන අතර එහි ලා ඒ ඒ ගුරුකුලවල ම බටහිර කතිකාවේදීන් සාහිත්‍යය හා කලාව සම්බන්ධයෙන් විශාරදයින් වන අතරේ එහි පෙරදිග කතිකා රූපය ලෙස අප ජාතික සන්දර්භයෙහි කටයුතු කළ දේශීය කතිකාවේදියා බොහෝ විට අඳ බාලයකු වීම හා අර්බුදයෙහි දායකයකු වීම කතිකාවේදය තුළ සටහන් වූ සැලකිය යුතු කළු ලපයකි.
විදේශගත ලාංකික සෞන්දර්යවේදියකු බව පෙනෙන ‘ජනා චාමින්’ නැමැත්තකු ඉතාලියේ විද්‍යා පුනරුද සිතුවම් සියැසින් නරඹමින්, ඉහවහ ගිය කෝපයෙන් යුතුව, ‘බේසික් ලිට්රෙචර්’ නම් අදහසක් ඉදිරිපත් කරන්නේ ද ඒ නිසා විය හැකි ය.
කෙතරම් විවාදසම්පන්න චරිතාපදානයකට හිමිකම් කියන ලද්දේ වූවත්, ස්වකීය පරිශ්‍රමශීලී කතිකාව තුළ සෞන්දර්යවේදය සංරචකයක් ලෙස ස්ථානගත කළ අභාවප්‍රාප්ත රොහාන් පෙරේරාගේ මැදහත් වීම ද මෙහි ලා සඳහන් කළ මනා ය. ප්‍රති – රෝහානියානු අපුල හා ‘නෝසියාව’ තුළ පවා එකී කලා සාහිත්‍ය සංරචකය කෙරෙහි පවත්නා විරෝධය සැඟවී තිබේ.
සමන් පුෂ්පකුමාර කතුවරයා (අනතුරුදායක ලෙස වූවත්) නිෂේධනය පිළිබඳ අගනා විවරණය ඇතුළත් පරිච්ඡේදය ප්‍රශංසනීය අයුරින් රඳවන්නේ ‘හෙගලියානු නිෂේධනයේ අතිමහත් බලය’ නම් සිව්වැනි කොටසෙහි ය.
“හෙගල්ගේ සමස්ත දර්ශනයේ සාරය ‘නිෂේධනය’ (negativity) නම් බලවේගය වේ. ජර්මානු, ප්‍රංශ සහ ඇංග්ලෝ – ඇමෙරිකානු – හෙගලියානු මෙන්ම ප්‍රතිහෙගලියානු දර්ශනවාදීන් වසර 200 කට වැඩි කාලයක් කම්පනයට ලක් කරනු ලැබුවේ මේ නිෂේධනය ය. ඇතැම් හෙගලියානුවන්ගේ ද, ප්‍රති-හෙගලියානුවන්ගේ ද පිටුපස හඹා ගෙන ආ අවතාරය හෙගලියානු නිෂේධනය ය. හෙගල් තමන්ගේ දර්ශනයේ නියම බලය කුමක් ද යන්න පැහැදුවේ ‘The tremendous power of the negative; It is the energy of thought of the pure I’ ලෙසට ය. මෙය අතිමහත් බලයක් පමණක් නොව තැති ගන්වනසුලු බලයක් ද වේ.”
පරිමිතභාවයන් විනිවිද යාමට සමත් වන නිෂේධනය දැනුම, චින්තනය, දාර්ශනික සමපේක්ෂණය, දේශපාලන ක්‍රියාව යනාදිය සම්බන්ධයෙන් හුදු නිෂේධනමය ආකල්පයක් නොදරන බවත්, නිෂේධනය හරහා ප්‍රතිජානමය ගම්‍යයන් උදා වන අතර එය විනාශකාරී බලයක් පමණක් නොව නිර්මාණාත්මක සහ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද වන බවත් යථෝක්ත උධෘතයට සමීප සිය විවරණයේ දී කතුවරයා අවධාරණය කරයි.
“… පරිමිතභාවයන් විනිවිද යාමට නිෂේධනයේ බලය සමත් ය. හෙගල් දැනුම හා චින්තනය සම්බන්ධයෙන් මෙන්ම දාර්ශනික සමපේක්ෂණය හෝ දේශපාලන ක්‍රියාව සම්බන්ධයෙන් හුදු නිෂේධනමය ආකල්පයක් දරන්නේ නැත.හෙගල් කියන්නේ නිෂේධනය හරහා ප්‍රතිජානමය ගම්‍යයන් උදාවන බව ය. මෙයින් පෙන්නුම් කරන්නේ හෙගලියානු නිෂේධනය විනාශකාරී බලයක් පමණක් නොව නිර්මාණාත්මක සහ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද වන බව ය.”
කතුවරයාගේ යට කී විවරණය පැහැදිලි කරන නිදසුනක් ලෙස බුද්ධි ප්‍රබෝධනය (The Enlightenment) සම්බන්ධයෙන් හෙගල් දැක් වූ අපෝහාත්මක ආකල්පය ඒ හා ඉදිරිපත් වේ. බුද්ධි ප්‍රබෝධනය ස්වයංසිද්ධ පරිමිතභාවයක් නොවන අතර හෙගලියානු නිෂේධනය එය විනිවිද යයි. නිෂේධනය හරහා ප්‍රතිජානමය ගම්‍යයන් උදා වීමේ පදනම යටතේ එය විනාශකාරී බලයක් ප්‍රකට කරන අතරේ නිර්මාණාත්මක සහ සැබැවින් අතිශ්‍රේෂ්ඨ වූ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද වූ බව ය හෙගල් පෙන්වා දෙන්නේ.
“18 වන ශතවර්ෂයේ බුද්ධි ප්‍රබෝධයේ අරමුණ බුද්ධියේ ආලෝකය වුවත් එයින් සෑම සමාජ, දේශපාලන හා ආර්ථික ප්‍රශ්නයක් ම විසඳී යනවා යැයි කීවත් මේ බුද්ධි ආලෝකය යටින් අඳුරු ප්‍රචණ්ඩත්වයක් ගමන් කළේ ඇයි දැයි හෙගල්ගේ විමසුමට ලක් විය.”
ධනේශ්වර ලිබරල්වාදයට ප්‍රංශ විප්ලවය පරිමිතභාවයක් වන අතරේ හෙගල්ට එය බාහිර සහ ආත්මීය වශයෙන් සැබෑ ප්‍රගමනයකි.
“හෙගලියානු නිෂේධනය අධ්‍යහාර ලෙස ම නීතියකට යටත් නොවන අරාජික ස්වරූපයකින් යුක්ත ය. ප්‍රංශ විප්ලවයට අරාජික ප්‍රචණ්ඩත්වය හරහා නොයා විප්ලවයේ බුද්ධිමය ආලෝකය සාක්ෂාත් කර ගත නොහැකි ය. පරම සාරාත්මය තුළ නිෂේධනය ක්‍රියාත්මක වන ආකාරයට ම පුද්ගල ආත්මයත් පියවරෙන් පියවර සිය විඥානය ගැඹුරු කර ගනිමින් තමන්ව ශුද්ධ කර ගනියි. එය ශුද්ධ ප්‍රතිභානයක් (pure intuition) දක්වා ගමන් ගනී. විඥානයට අවශ්‍ය වන්නේ අතාර්කික, ඝනීභූත, ආධානග්‍රාහිත්වයන් ඉක්මවා යමින්, නිෂේධනමය ක්‍රියාවලියක් ඔස්සේ ගැඹුරු සත්‍යය වෙත හෙවත් පරමත්වය දක්වා ළඟා වීම ය.”
හෙගල්ගේ පරම විඥානවාදය වෙනුවට එකී අපෝහක සන්තතිය ඔස්සේ ද්‍රව්‍යවාදය කරා ගමන් කරන මාක්ස්, තම ලන්ඩන් ලිපිවල දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හා ඉන්දියාව සම්බන්ධයෙන් දරන අදහස තුළ ද හෙගල්ගේ සමස්ත දර්ශනයේ සාරය ලෙස ‘නිෂේධනය’ ද, ප්‍රතිහෙගලියානු ජාතිකවාදීන් හා ජාතිවාදීන් කම්පනයට පත් කරන්නා වූ දයලෙක්තික අලංකාරිකය ද, අධිරාජ්‍යවාදය ඊනියා හුදු අදහසක් ලෙස ප්‍රාදූර්භූත වූවක් ලෙස පරිමිතභාවයක් නොව නිෂේධනාත්මකව විනිවිද දැකිය යුතු දැනුම, චින්තනය, දාර්ශනික සමපේක්ෂණය හා දේශපාලන ක්‍රියාවක් බව ද පෙන්නුම් කිරීම දැකිය හැකි ය.
ඉන්දියාව පිළිබඳව ලියන ලිපිවල දී මාක්ස්, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් හුදු නිෂේධනමය ආකල්පයක් දරන්නේ නැත. ඒ තුළ යටත්විජිත ජාතික තත්ත්වයන්ගේ නිෂේධනය හරහා උදාවන ප්‍රතිජානමය ගම්‍යයන් මාක්ස් පෙන්වා දෙයි. එය විනාශකාරී බලයක් පමණක් නොව නිර්මාණාත්මක සහ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද විය.
මෙය අධිරාජ්‍යවාදය පරිමිතයක් ලෙස සලකන ධනේශ්වර ලිබරල්වාදයට මෙන් ම එය හුදු නිෂේධනයක් ලෙස සලකා ආපසු පූර්ව – අධිරාජ්‍යවාදී ස්වර්ණමය අවධියකට ආරාධනා කරන ජාතිකවාදයට පිළිතුරකි. තවද ‘අධිරාජ්‍යවාදී සතුරු පරිමිතය’ සමඟ සරල ගැටුමක් යෝජනා කරන්නා වූ ‘ජාතික විමුක්තියේ මිතුරු පරිමිතය’ වෙනුවෙන් ද සපයන ලද අගනා පිළිතුරක් වේ. ජාතික සටන්කාමිත්වයට බාහිර හා ආත්මීය වශයෙන් ජය ගත නොහැකි බාධකයක් ලෙසිනි, මාක්ස්ගේ ආසියානු විශ්ලේෂණය සිදු වන්නේ.
මාක්ස්ගේ අදහස වූයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය ඉන්දියාව තුළ ද්විත්ව මෙහෙවරක යෙදී සිටින බව ය. එක් මෙහෙවරක් ඉතා විනාශකාරී බවත්, අනෙක පුනර්ජීවනාත්මක බවත් මාක්ස් කීවේ ය.

එනම්, ඉංග්‍රීසි අධිරාජ්‍යය මඟින් විනාශ කිරීම මෙන් ම නව ගොඩනැගීමක් ද සිදු කරයි. වැඩවසම් ක්‍රමය බිඳ දමා, ධනේශ්වර ක්‍රමය ස්ථාපිත කරන එය අකාලික හෙවත් ‘අසිරිමත් සනාතන ඉන්දියාව’ මිනිසාගේ සමාජ ඉතිහාසය තුළට රැගෙන එයි. අසංඛ්‍ය සංඛ්‍යාත, කඩිසර, පීතෘමූලික, අවිහිංසක සමාජ බිඳී විසිරී, තම ඒකක තුළට දියවී ගලා යන සැටිත්, දුක් වේදනා සයුරක ගිලී යන සැටිත්, එහි විසූ මිනිසුන්ගේ පුරාතන ශිෂ්ටාචාර ආකෘති සහ පාරම්පරික යැපුම් මාර්ග ඒ සමඟ ම අහෝසි වී යන සැටිත් දැකීම මිනිස් හදවතකට දරා ගන්නට නොහැකි යැයි මාක්ස් කියයි.
එනමුත් ඔහු ඒ සමඟ ම පවසන්නේ ඒ සන්සුන් රමණීය භාරතීය ගැමි ප්‍රජා පෙනුමෙන් කොයි තරම් සාමකාමී වූවත්, ඒවා පෙරදිග අත්තනෝමතික පාලනයේ සවිමත් පදනම බව ය.
ඒවා විසින් මිනිස් මනස හැකි තරම් කුඩා කොම්පාසුවක් තුළ සිරගත කරනු ලැබුණි. එය මිනිස් මනස සම්ප්‍රදායික ගතානුගතික පාලනයේ වහලකු බවට පත් කරමින්, සකල සියලු ආශ්චර්යන් සහ බලශක්තීන් ඊට අහිමි කළේ ය.
නිෂේධනය, පරිමිතභාවයන් විනිවිද යාමට සමත් වන නිෂේධනය හා ඒ හරහා ප්‍රතිජානමය ගම්‍යයන් කරා පැමිණෙමින් එය විනාශකාරී බලයක් පමණක් නොව නිර්මාණාත්මක සහ යමක් ගොඩනගනසුලු බලවේගයක් ද වන බව ප්‍රකාශ කිරීමේ දී, මාක්ස් විසින් හෙගල් වෙතින් ලබා ගන්නා ලද ආලෝකයක් ඇති බවත්, එය අපෝහක මූලධර්මය බවත් නිසැක ය. එනමුත් මෙහි දී අපගේ ආස්ථානය විය යුත්තේ හෙගල් ඔස්සේ මාක්ස් කියවීම නොව මාක්ස් ඔස්සේ හේගල් කියවීම පමණක් ය.
එසේ නොවුණ හොත් කතුවර සමන් පුෂ්පකුමාර විසින් ම පවසන පරිදි නීතියකට යටත් නොවන අරාජික ස්වරූපයකින් යුක්ත හෙගලියානු නිෂේධනය බරපතල ප්‍රතිවිපාක ඇති කරන්නට නියමිත ය.
ඒ අනුව දේවවාදියා ස්වකීය විඥානය තුළින් විෂයලෝකය ඔස්සේ දෙවියන් ම දකින්නේ ය. අධ්‍යාත්මවාදී යෝගීවරයා සිය පුද්ගල විඥානය හා ආත්මය ඔස්සේ විෂය ලෝකය දක්නා අතරේ, පියවරෙන් පියවර සිය පරම විඥානය ගැඹුරු කර ගනිමින් තමන්ව ශුද්ධ කර ගෙන ශුද්ධ ප්‍රතිභානයක් දක්වා ගමන් කරන්නේ ය.
තවද කල්පනාලෝකවාදයේ සිට මැජිකල් යථාර්ථවාදය දක්වා ගමන් කරනු රිසි ලාංකික කලාකරුවා මායාමය ප්‍රතිභානය පළ කිරීම අලුත් වටයකින් අරඹන්නේ ය. මාක්ස්වාදයට පිටුපා යන ත්‍රස්තවාදියා සිය පුද්ගල විනාශය හා අරාජකවාදී විෂයබද්ධ සංයුක්ත විනාශය දක්වා ගමන් කරන්නේ ය. මේ සියල්ලට වුවමනා විඥානවාදී අවි ගබඩාව හෙගල්ගේ පරම විඥානවාදය තුළ අන්තර්ගත ය.






