එස්. අමුණුගම
උදා හිරු රැසින් පිණි බිඳු මුතු කැට දිදුලයි
නිශාචර සතුන් දොරගුළු ලමින් කූඩුවෙයි
ගිරා මලිති බටිති විහඟුන් අඩවියේ සැරිසරයි
උදා කල දකින දෑ මෙතෙකැයි කියා නිම නොවෙයි!
ගස් පිරී ඉතිර යයි කුසුමන්ගෙන් පිපුණූ
හිස් ඉඩක් නැතිය එතරමට මල් පිරුණූ
සිත් පිරී සතුට උතුරයි
දකින විට කුසුමන් සැලෙනූ
මත් වෙලා බමරු නද දෙති මල් අතරේ රැඳුනූ!
සිනාසෙයි රෝස කුසුමක් සුවඳ දසතට විහිදුවමින්
මනාපයි වගේ හැසිරෙති තටු සලති සමනලුන්
දිනා ගනු රිසින් සියුමැලි කුසුමන් අසල දැවටෙමින්
සොබා දම කියා දෙයි
පෙනෙන නොපෙනෙන බැඳුමෙ ඇති හැඟුමන්!
පින්න කැකුලියන් පිබිදෙයි තැනින් තැන
ඉන්න තැන කියයි අතුපතරෙන් මෑත්වන
දන්න අය මිසක් නොසිතති අගේ ගැන
පින්න මල හැඩයි සුවඳයි දකිනු මැන!
ලතා මඬුලු දිවයයි රුක් ගොමු අතරින්
මනා ලෙසම පැටලෙයි
රුක් අතරෙ යමින්
සිනාසෙමින් ලද සුරැකුම ගැන සතුටින්
මනාපයට මල් පුබුදයි
සෙනෙහෙ සිතින්!
මල්පෙති සොරාගෙන මඳනළ සෙමෙන් ඇදෙයි
පියවිලි පරාදයි ගෙමිදුල එයින් වැසෙයි
බර දී පයට ඇවිදින්නට දුකත් හිතෙයි
සෙමෙන් පය තබමි මල් පෙති පොඩි වෙයිද මට බයයි!
දිවි පෙවෙත රකින අටියෙන් පාලොස් පැයම ගත කරයි
නැඟී සිනාසුන හිරු
සුපිපුණු කුසුමන් නොදුටු බව හැඟෙයි
විඳී දවස ගත සිත
වෙහෙසමින් අඳුරත් සමඟ ගෙට වදියි
මෙකී ලෙසට උදා දිවා කල නොදැනීම සිතින් ගිලිහි යයි!
රූ රටා මවයි සැඳෑ අහස බැස යන හිරු ට සෙත් පතයි
අඳුරු ගැබට සඳ කුමරුන් සෙමෙන් පිය නඟයි
තරු කැට අහස පුරා දිදුලයි පුන් සඳට තනි රකියි
සැමට සැනසිල්ල කැන්ඳන රෑ යාමය ම සුන්දරයි!





