චමරි පී සේනාරත්න
දඹුලු විහාරයෙන් පිටවීමට නො ඉවසිල්ලක් මට වූයේ ප්‍රථම වරට සීගිරිය නැරඹීමට පැමිණි හෙයිනි. පවුලේ සියල්ලන් මහත් වූ භක්තියකින් අද ප්‍රථම වරට පන්සලකට පැමිණියාක් මෙන් දඹුලු විහාරය වන්දනාමාන කරද්දී හද කොනක වූ දැඩි නොඉවසිලිමත් බව හද මුදුනට පැමිණ මට කරදර කරන්නට විය..
“අක්කේ..ඉක්මනින් යමු සීගිරි නගිද්දී ඉර මුදුන් උනාම මහන්සි වැඩියි නේද ?අනික පොඩි එකා අම්මයි තාත්තයි පව්..”

හද කොනක හෝ නොමැති අනුකම්පාවක් මා මුවග හා උවන මත විය.”මොකෝ..මේ තමුසෙගේ අමුතු කරුණාවක්.. උදේ පාන්දරින් නැගිට්ට නිසා වෙන්න ඇති.
මා නිහඩව බිම බලා ගත්තේ දසසිල් උවැස්සෙකු ලෙසිනි. මන්ද වාද කිරීම මේ අවස්ථාවේ මට අලාභයක් බව අත්දැකීමෙන් ලත් හෙයිනි. කෙසේ හෝ අපි සීගිරිය බලා පිටත් වූයෙමු.
සීගිරියට පය තැබූ විගසින් මා කලේ දුරකථනය ගෙන පෙරදා නැරඹූ වීඩියෝව යලි ක්‍රියාත්මක කිරීමයි. ඉන් පන්නරයක් ලද මා සියල්ලන් අමතමින්.
“මේ. මම නම් උඩට නැගලා බැහැලා යන්න නෙවෙයි ආවේ හොදට මේක ගැන විස්තර හොයන්න. ඔයාලා යන්න මම පොඩ්ඩක් අර පැත්තට යනවා එහේ පරණ කැනීම් වලින් හොයාගත්ත ගොඩක් දේවල් තියෙනවා.”
සීගිරි බිමෙහි වූ දකුණු පස ප්‍රදේශය පෙන්වමින් මම පැවසුවෙමි.

“අනේ..හ්…මේ චූටි අතරමං නොවී යමු අපි එක්ක. පැහිච්ච වැඩ නොකර.” අම්මාගේ පළමු වෙඩිමුරය තවත් තීව්‍ර කිරීමට අක්කා සමත් විය.
“අනේ..ඔව් මේ..හ්..ඊලගට තමුසෙව හොයන්න වෙයි අපිට මේ ඔක්කොම පැත්තට දාලා.”
මා අසරණව තාත්තා හා මස්සිනා දෙස බලද්දී තාත්තා බිම බලා ගත්තේ ඔහු වාද කිරීමේ සිය කිරුළ වසර විසි අටක් තිස්සේ නිතරගයෙන් අම්මා වෙත පළදා ඇති හෙයිනි. එහෙත් වසර දහයක කාලයක් තිස්සේ කිරුළ හිමි වෙමින් අහිමි වෙමින් අක්කා සමග තරග වදින අය්යා නොපසුබටව ඉදිරියට පැමිණියේය
” අනේ.. මේ.. සෙව්වන්දී.. මල්ලි පොඩි එකෙක් නෙවෙයි ඌට දැන් විසිතුනක් ඌ ඇවිදලා ආපුදෙන් අනික ෆෝන් එක අතේ තියෙනවනේ.. ඒ ඉස්සර අතරමං වෙන්නේ.. ඔන්නොහේ ගියදෙන් අම්මේ..”
සියල්ලන් නිහඩ වූයෙන් අය්යාට කිරුළ මෙන්ම මට ස්වාධීන වීමේ අවස්ථාවද හිමි වුණි.
මා තනිව දකුණු පස බිමෙහි ඇතුලට ගමන් කරද්දී පිඹුරෙකු කරෙහි දමාගත් අයෙක් විදේශිකයින් පිරිවරාගෙන කාශ්‍යප රජුටත් වඩා ගාම්බීරත්වයෙන් පසු විය. ඉන් ඔබ්බට වූ ගල්ලෙනක් අභියස ශ්‍රී ලාංකික මග පෙන්වන්නෙක්
“ දිස් ඊස් කාශ්‍යපස් ඒසී රූම්..“
ලෙස ඒ පිලිබදව විස්තර කරද්දී මා ද ඊට කන් යොමා සිටියේ මේ ගමන අර්ථවාන්විත ගමනක් කර ගැනීමට මට අවැසි වූ හෙයිනි. එයින් නොසෑහුන මා ඒ මං ඔස්සේ ඉහලට යෑමට උත්සාහ කලා පමණි.
“මල්ලී ඔහේ බලන්න තරම් දේවල් නැහැ කැමති නම් මා එක්ක යමු..”
විදේශිකයන්ගේ මග පෙන්වන්නා මා දෙසට හඩ නගා පවසද්දී අමුතු පෞරුෂයක් නගා ගනිමින් ඔහු දෙස බැලූ මා..
“මම කැලණිය කැම්පස් එකේ අය්යේ මම මේ සීගිරිය ගැන පර්‍යේෂණ වගයක් කරන්න ආවේ” යැයි පැවසුවෙමි.
ඔහු යන ගමන පවා නවතා මා දෙසට පැමිණ මහත් ගෞරවයකින් මා දෙස බලා කාඩ් පතක් දිගු කරමින්..
“නියමයි මල්ලී.. මට දැන් කතා කරන්න වෙලාවක් නැහැ හෙමිහිට කෝල් එකක් දෙන්න මම දන්න දේවල් ඔයාට කියන්නම්.. වීඩියෝ එකක් කරමු කාශ්‍යයපගේ නොදුටු අභිරහස් දිවිය කියලා.. බයවෙන්න එපා කොල්ලෝ මාතෘකාවම විග්‍රහ වෙන්න ඕනී නැහැ.. නිකන් වීඩියෝ එකේ.. මේවා එලියට ආවම අපේ රස්සාවටත් හොදයි.. හොදට සීගිරිය මාකට් කරතෑකි.. මොකෝ සුද්දෝ ආපස්සට සීගිරිය ගැන රිසර්ච් කර කර යන එකක් යැයි..”
ඔහු උස් හඩින් සිනාසුනද මට එය කල නොහැකි වූයේ මා සත්‍යයට වඩාත් ප්‍රිය කල හෙයිනි. අප එකිනෙකාගේ මාවත් වලට යොමු වුණි.
මා මාර්ගය පාදා ගනිමින් ඉහලට ගමන් කරද්දී දැනෙන වෙහෙස නිවා ගන්නට අසල වූ ගලක් මත වාඩි වූයෙමි. අම්මාට ඇමතුමක් ලබා ගත්තේ පුතු ලෙස මා වෙත වූ වගකීම සිහි වූ හෙයිනි.
“අනේ.හ්.. බැහැ චූටියෝ.. හ් මම සිංහ පාදේ ළඟ නැවතුණා. තාත්තා ලොක්කා වගේ නැග්ගා රෑ තිස්සේ කකුල් අමාරුවට මාව ඇහැරෙව්වොත් තමයි මම උන්දැට සීගිරිය පෙන්නන්නේ..”
අම්මාගේ සිංහ නාදයට සිංහ පාදය දෙදරා වි යැයි සිතුණාටත් වඩා තාත්තා අද රෑ මගේ කාමරයට එතැයි බිය වූ මා..
“පවු අම්මේ..හුග කාලෙකින් නේ අපි ට්‍රිප් එකක් වත් ආවේ.. මුකුත් කියන්න එපා..”
“අනේ මම මුකුත් කියන්නේ නැහැ උබ මුකුත් නොකියන්න හිතට ගනින් මොකද අද තාත්තා උබේ කාමරේ..”
කාශ්‍යප මෙලෙස තනි වී ගලක් උඩ රාජ්‍යයක් තැනීමට හේතූ ලෙස කවුරුන් මොනවා පැවසුවත් ඒ පිටුපස ගැහැණියක් නම් සිටිය යුතුමය..
දැඩි වෙහෙසක් දැනුණි. වතුර බෝතලයෙන් උගුරු කිහිපයක් පානය කොට අම්මා ලබා දුන් කෑම බදුනට අත තැබුවා පමණි..
“අය්යණ්ඩී..හ්..” ඒ සොඳුරු ළයාන්විත හඩට හැරුණා නොව හැරවුණි. වචනයෙන් විස්තර කල නොහැකි රූප කායකින් සමන්විත ඇගේ සමෙහි වර්ණය ලා දුඹූරු පැහැයක් ගත්තේය.. ඈ දුටු පසු ලස්සනම සුදු කෙල්ලන් බව කිසිදා පැවසිය නොහැකි සේ මගේ මුව ගොලු විය. එහෙත් මේ කැළයේ මෙවැනි සුරූපිනියක් වූයේ කෙසේද යන පැනය මා දැවීය.. එහෙත් එය පසෙක ලා මා ඇය රස වින්දෙමි..
(දෙවියනේ මේකිගේ ලස්සන.. ඒත් මේ ඇදුම ? නිකන් ඉන්දියන් ලුක් එකක්නේ.. කවුද මේ?.. අම්මෝ ඇගත් හිරිවැටෙනවා මේකි දකිද්දී.. හමේ පාට..ලංකාවේ නෙවෙයි කියන්නත් බැහැ..)
ක..ක.වුද ඔයා? මෙහේ මොකද කරන්නේ..? තනියම මෙහෙට ආවේ කොහොමද?
“අය්යා…හ්….මම නාග ලෝකෙන් මගේ පියාණන් හොයාගෙන මනුස්ස ලෝකෙට ආවේ..මට ඔබෙන් උදව් උපකාර අවශ්‍යයි..”
කෑම බඳුන බෑගයට දමා ගත් මා ලහි ලහියේ නැගී සිටිමින් දුවන්නට සුදුසුම මානයක් සොයා විමසුම් නෙත් යොමු කරද්දී මින් පෙර නරඹා තිබූ හින්දී චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල වූ නාග කන්‍යාවියන්ගේ ශක්තීන් සිහියට නැගුණි.
(අනේ..හ්…ශිව දෙවියනේ මට ශක්තිය දෙන්න මට පිහිට වෙන්න..)
කිසිදා ශිව දෙවියන් වැද නොමැති මා ඔහුට සිතින් කන්නලව් කලෙමි.
“ශිවට කන්නලව් කරන්න අවශ්‍යතාවයක් නැහැ අය්යණ්ඩි.. ඒ වගේම මගෙන් පැන යෑමට අවශ්‍යත් නැහැ මොකද මා කිසිදා නුඹට හිරිහැරයක් නොකරමි. වසර තුන්සියයක් තිස්සේ මා මගේ පියණන් සොයමින් වෙහෙස වී සිටින්නෙමි.”
(යකෝ…හ්.. මේකී.. අවුරුදු තුන්සිය ගානක් වයස මට අයියණ්ඩිලු.. රෙද්දේ ගැලපීමක්නේ යකෝ ඒක එතකොට නාග ලෝකේ එවුනුත් අපේ එවුන් වගේමයි තමන්ගේ මුණුපුරාටත් බාල එවුන්ට මල්ලී කියනවා වගේ හරියට..)
මට වූ වේදනාත්මක පැනයට මම තනිව මුමුණා හිත හදා ගත්තෙමි.
“වරදවා හිතන්න එපා අය්යණ්ඩී මා ගරුත්වයටයි ඔබට එසේ අමතන්නේ..”
ඒ අදහසට සැබැවින්ම මා තිගැස්සුනි
(අප්පට සිරි වෙන්න..මේකී මගේ හිත කියවනවා..මොන..හු…)
ඉන්පසු මගේ මුවග වූයේ කිව හැකි අසැබි ම වදන් ය.
“අනේ..හ්..අය්යට තව භාෂා පුලුවන්ද මට ඒ කියපු ඒවා නම් තේරුණේ නැහැ “
(ඔව්..ඔව්..ඒ..හු..) ඉන් එහාට මා පැවසූ වදන් අකුරු කලහොත් මගේ රසිකාවියන් පවා මගේ ගිණුම අවහිර කරනු ඇත.
“අනේ..හ්..කතා කරන්ටකෝ අය්යණ්ඩී.. මට..මට කවදාවත් වෙනත් පුරුෂයෙක් ඉදිරියේ මෙවැනි හැගීමක් දැනී නැහැ.. පසුගිය කාල පරාසය තුලම මා භාවනා කරමින් මගේ ශක්තීන් වැඩි කර ගත්තා විනා ආදරයක් ගැන නොසිතුවෙමි. මගේ මෑණියන් පවසන ආකාරයට මනුෂ්‍යයන් බොහෝ ආදරණීයයි.. ඔවුන් ආදරය පන සේ සුරකී.මගේ පියාණනුත් එවන්නෙක්ලූ..”
(මුන් යකෝ…මනුස්ස ලෝකේ ගෑනුන්ටත් අන්තයි නේ තමුන්ට කෙ….)
මා වහා භාෂා මාධ්‍යය වෙනස් කලේ නාග කන්‍යාවිය මගේ මනස කියවා මා ඔවුන්ට පරිභව කරතැයි සිතා මට දෂ්ඨ කල හැකි බැවිනි.
(හොද වැඩේ මටත් අම්මගේ වචනෙට ගරු නොකලට..දැන් අර කියමනවත් මම නිසා වෙනස් වෙලා මැරුණට පස්සේ වත් මම ජනප්‍රිය වෙයිනේ.. අකීකරු එවුන්ට ඉස්සරහට කියන්න තියෙන්නේ කොටියම කාපිය කියලා නෙවෙයි නයාම කාපිය කියලා..)
“අනේ අය්යණ්ඩී ඔයාට වැරදිලා අපි මනුෂ්‍යයින් කවදාවත් අනුභව කරන්නේ නැහැ..කවුදෑ ඕවා කියන්නේ..”
( මොන..වදයක් ද ය$කෝ මේ.. ඊලගට කුණුහරුපම කියලා මම අපාගත වෙනවා..ශිට්. අම්මලා එක්ක යන්නේ නැතුව ආවා රෙද්.. ඉතිහාසය හොයන්න.. මේකිව මග ඇරලා යන්න විදිහක් නැද්ද දෙවියනේ..)
“අනේ..මට පිහිට වෙන්න අය්යණ්ඩිය.. ඔබේ මනුෂ්‍ය ලෝකේ මම දුටු අවංකම පුද්ගලයා ඔබ වූ බැවින් මා මෙලෙස ඔබ ඉදිරියේ දෘෂ්‍යමාන වූයේ..අනේ මට පිහිට වුව මැනවි.”
“මේ අහන්න මට ඇත්තටම ඔයාට උදව් කරන්න බැහැ මොකද අම්මලා එක්ක මම ගෙදර යන්න ඕනී..අනික මම කොහොම උදව් කරන්නද?
(ශිට්..බැලුවම අපේ එවුන් ඒ කාලේ ඉදන්ම කුපා$ඩියොනේ.. නාග කන්‍යාවියකට ගේම දුන්නා කියන්නෙම ඉතින් සුපිරි පොරක් තමයි…අම්මපා එක අතකට අපිට යක්ඛ පුත්තූ කියන එකත් සාධාරණයි… එක අතකට මුන්ටත් පිස්සු අප්පා අච්චර සැපට නාග ලෝකෙට වෙලා නොඉද මෙහෙට ඇවිත් පවු ගෙවනවා.. කසාදයක් කර ගෙන නාග පැටවු හදාගෙන පිලිවෙලක් වෙන්නේ නැතුව මෙහේ ඇවිත් අච්චර කෙළියක් කරපු අප්පා හොයනවා..බැලුවම මොන ලෝකෙත් ගෑනු එකයි වගේ.. දුක වවාගෙන කනවා..)
“ඔයාට මගේ වේදනාව තේරෙන්නේ නැහැ අයියණ්ඩි මෑණියෝ දැන් අවුරුදු පන්සීයක් තිස්සේ විදව විදව ඉන්නේ.. මට තවත් ඒක බලා ඉන්ට බැරුව මේ එලියට බැස්සේ..එතකොට අය්යව තමයි මගේ දෘෂ්ටියට වැටුණේ..”
(අනේ..හ්..හොදා තමුන්ට වඩා අවුරුදු දෙතුන් සීයක් වැඩිමල් එකියක් අයියණ්ඩි කියනකල් අහන් ඉන්න තරම් නිවිච්ච මාවම දෘෂ්ටි වෙච්චි එක හොදයි…හහ් එච්චර බූට් එකක් කාලත් මහ හැපින්න හැදිලා නැහැ වගේ.. හොද වෙලාවට මනුස්ස ලෝකේ ආයුෂ අඩු.. ඕනී දෙයක් කරලා පැන ගන්න පුලුවන් මාස දෙක තුනෙන් ගෑනුත් හිත හදාගෙන අපිත් බේරිලා..යකෝ අවුරුදු පන්සීයක් විදවන්නේ ඇත්තටම නාග ලෝකේ ඉන්න පිරිමි අපේ එවුන් තරම් රහ නැද්ද? ගෑනු ඉතින් කොයි ලෝකෙත් එකයි වගේ හොදම දේ ළඟ තියන් ඈතින් තියෙන නොලැබෙන දේට අඩනවා..)
“අය්යණ්ඩී…හ්..” ඇගේ හඩට මා ඈ දෙස බලද්දී ඇගේ අත මත දිස්නයක් විහිදී තිබුණි. එහි වූයේ කුමක්දැයි පැහැදිලි නොමැත. ඈ සිනාසෙමින් මා දෙස බලා..
“මට මගේ පියාණන් සොයා ගැනුමට නුඹ උපකාර කරන්නේ නම් මම නුඹට මේ මාණික්‍යය තෑගි කරමි. මෙහි වටිනාකම සිතා ගනු හෝ නොහැකිය.. ඔබ කැමති නම් ඔබට මෙය ස්පර්ශ කිරීමට වුව හැක. මෙය නාග මාණික්‍යයකි..”
(දෙවියනේ..හ්..නාග මාණික්‍යයක් අම්මෝ..හ්… මුලු පවුලම ගොඩ අරන් කනක් ඇහිලා මට මම කැමති විදිහට ජීවත් වෙන්න පුලුවන්..)
සතුට කෙතරම් දෝ කියා පැවසිය නොහැකි විය. ඒ සතුට හේතුවෙන් මා සොයා දිය යුතු ඇගේ පියා මීට වසර තුන්සියයකටත් එහා ජීවත් වූ අයෙක් බවත් මට අමතක වුණි.. මා හෙමිහිට ඈ වෙතට ළං වූයෙමි. අත දිගු කොට මැණික අත ගා එය සැක හැර දැන ගැනුම පිණිස එය තද කොට ස්පර්ශ කලෙමි..
“ආග්..ආව්..හ්..මොකද්ද බ#ලෝ තො$ට වෙලා තියෙන්නේ පල වන$චරයා..”
ඒ හඩින් මා අවදි වෙද්දී ඇදෙන් පල්ලට වැටී තිබුණි. මනූෂ යක්ෂාවේශයෙන් ගිනි පිටවන දෑසින් මා දෙස බලා සිටියේය.
(දෙවියනේ කැම්පස් එකේ හොස්ටල් එකේද එතකොට මම මේ ඉන්නේ..ඔහ්..ශිට්..මම මැණික කියලා..කියලා..)
මා උස් හඩින් සිනාසෙමින් කාමරයෙන් පිටතට දිව ආවේ මනූෂගේ දෑත් මිට මොලවෙනු දැකි හෙයිනි..