පැරිස් කොමියුනයේ 154 වැනි සංවත්සරය …..

පැරිසියේ දිළින්දන් විසින් වැඩ කරන ජනතාවගේ නායකත්වයෙන් විප්ලවාදී ලෙස නැගී සිටි දේශපාලන පෙරලිය සිදුවුයේ 1871 මාර්තු 18 දිනයි. ඔවුන් පිහිටවූ විප්ලවාදී ආණ්ඩුව ලෝකයේ පළමු විප්ලවාදී ආණ්ඩුව ලෙස සලකනු ලබයි. එහි විප්ලවීය ආකෘතිය විසින් පෙන්වාදුන් විප්ලවයේ විය හැකි බව මෙන්ම ආස්වාදය 1917 බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ දේශපාලන මග පෙන්වීමට ලෙනින් සහ බෝල්ෂෙවික් පක්ෂයට දැඩි පිටිවහලක් විය. 18 සහ 19 වැනි සියවසේ ප්‍රංශ දේශපාලන ඉතිහාසය එරට පමණක් නොව වෙනත් රටවල්වල නායකයන්ට අනතුරු හැඟවීමක් කරයි. එමෙන්ම විප්ලවවාදීන්ට ඒ ඉතිහාසය නිර්මානාත්මක ප්‍රබෝධයකට මග පෙන්වයි.
මේ කෙටි සටහන දින 72 ක් පැවති පළමු විප්ලවාදී ආණ්ඩුව ලෙස සලකන පැරිස් කොමියුනය කියා දුන් දේශපාලන පාඩම් ගැන අවධානය යොමු කිරීමක් වෙයි. ඒ පාඩම් අදටත් දේශපාලන වලංගු බවක් හිමි කර ගනී.
ප්‍රංශ- ප‍ර්සියානු යුද්ධය
ප්‍රංශ- ප්‍රර්සියානු යුද්ධය(1870-1871) අවසාන වුයේ ප්‍රංශයේ පරාජයත් සමගිනි. පැරිසිය පර්සියානු හමුදාවන් වට කිරීමත් සමග ප්‍රංශ ආණ්ඩුව වර්සේ නගරයට ගෙන යනු ලැබුවද පැරිස් කොමියුනය පැරිසියේ පාලන බලය අල්ල ගති. මෙයට පෙර පෙබරවාරි මාසයේදී පැවැත්වූ මහා මැතිවරණයේදී ප්‍රංශයේ ග්‍රාමීය බලය කොන්සේර්වටිව් වාදින්ටත්, පැරිසියේ බලය පසුව කොමියුනය ලෙස සමන්විතවූ රැඩිකල් ජනරජවදිටත් නැත්නම් සමජවාදිටත් හිමිවිය. 1871 මාර්තු 18 දින පැරිසියේ බලය අල්ල ගත් කොමියුනයට ප්‍රංශ ආණ්ඩුව දමාගොස් තිබුණු කල තුවක්කු 400 පමණ තමන් යටතට ගනු ලැබිණ. සැබෑ ලෙසම පැරිස් නගරය පර්සියානු හමුදා වන්ගෙන් යටත් නොවී බේරා ගත්තේ කොමියුනයේ සටන් කරුවන් විසින්. තත්වය මෙසේ තිබියදී පැරිස් කොමියුනයට වර්සේ පිහිටුවා ඇති ප්‍රංශ ආණ්ඩුව සමග සන්නද්ධ අහිමුක වීමකට සැරසෙන්නට සිදු වුයේ පර්සියානු හමුදාවන්ට කොමියුන්වරු මර්දනය කිරීමටද අවශ්‍ය වූ බැවිනි.

1871 මැයි මස වර්සේ වල පිහිටි ප්‍රංශ ආණ්ඩුව පැරිස් කොමියුනය පරාජය කොට පැරිසිය ලේ ගංගාවක පතිත කරනු ලැබිණ (මැයි 28). සටන්කාමී කොමියුන් වරු 20,000 ක් පමණ ඝාතනය කරනු ලැබිය. පරාජයෙන් පසුව අත් අඩංගුවට කම්කරුවන් ,ස්ත්‍රීන් සහ ළමයි ද මෙයට අයත් විය. පරාජයෙන් පසුව දැඩි පීඩාකාරී ලෙස ආණ්ඩුව ක්‍රියා කල අතර 38,000 අත් අඩංගුවට ගනු ලැබිණ.මෙයින් 7000 ක් පමණ පිටුවහල් කරනු ලැබිය.

පැරිස් කොමියුනයේ ජනතා ප්‍රතිපත්ති
පැරිස් කොමියුනය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සැබෑ නිර්ධන පන්තික ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබිණ.
පල්ලිය රජයෙන් වෙන්කිරීම, පිරිමින්ට සහ ස්ත්‍රීන්ට සමාන පඩි, හිස්ව ගොස් ඇති නිවාස අහිමි ජනතාවට පවරාදීම, නිදහස් අධ්‍යාපනය, නිදහස් නීති සේවාව, ළමා ශ්‍රමය තහනම් කිරීම, අකර්මන්‍ය වී තිබු කර්මාන්ත ශාලා කම්කරුවන්ට පැවරීම, රා‍ත්‍රී කාලයේ වැඩ මුර තහනම් කිරීම සහ උකස් මධ්‍යස්ථාන කම්කරු ජනතාවගේ අතිරික්ත ශ්‍රමය සුරා කන මධ්‍යස්ථාන ස්ථාන ලෙස වසා දැමීම මුලික වශයෙන් මේ ජනතා ප්‍රතිපත්ති වලට අයත් විය. මේවා සැබවින්ම ජනතාව ට සේවය කරන විප්ලවාදී ප්‍රතිපත්ති විය. අද ධනපති ආණ්ඩුවල ජනතා විරෝධි ප්‍රතිපත්ති දෙස බලන විට මෙයට වසර 150 කටත් වැඩි කාලයකටත් පෙර පැරිස් නුවර වැඩ කරන ජනතාව තම පන්තියේ ආර්ථික ගැටළු විසදීමට ඉදිරිපත් කල ප්‍රතිපත්තීන් කොතරම් ජනතවාදීද කොතරම් ප්‍රගතිශිලිද යන්න අපට කියා දෙන පාඩමකි.

පරාජයට හේතු වූ වැරදි දෙකක් ලෙනින් පැරිස් කොමියුනයේ ඓතිහාසික වැදගත් කම විශ්ලේෂණය කරමින් පැරිස් කොමියුනයේ පරාජයට හේතු වූ මුලික අඩුපාඩු සටහන් කලේ මේ අයුරිනි.

“වැරදි දෙකක් නිසා ශ්‍රෙෂ්ඨ ජයග්‍රහනයයේ ප්‍රතිපලයන් විනාශ කර දමනු ලැබිය. නිර්ධන පන්තිය අතරමග නැවතුනි. අයිතිකරුවන් අස්වාමික කිරීම පටන් ගන්නවා වෙනුවට පොදු ජාතික ඉලක්කයක් මගින් සමගි කරනු ලැබූ රටේ වඩාත් ඉහල සාධාරණතාවයක් මගින් තහවුරුකිරීමේ සිහිනයන් විසින් නොමග යාමට එය මග පාදනු ලැබිණ. උදාහරණයකට බැංකු වැනි ආයතනයන් අත් පත් කර ගත්තේ නැත. තවමත් ‘සාධාරණ හුවමාරුව ‘ පිළිබඳ පෘදොන්වාදී න්‍යායන් සමාජවාදීන් අතර බල පවත්වනු ලැබිණ. දෙවැනි වැරැද්ද වුයේ නිර්ධන පන්තියේ තිබු අති මහාත්මභාවයයි: සතුරා විනාශකර දමනවා වෙනුවට ඔවුන් මත සදාචාරමය බල පෑමක් උත්සාහ ගනු ලැබිණ. සිවිල් යුද්ධයක මිලිටරි ක්‍රියාන්විතයන් එය අවතක්සේරු කල අතර පැරිස් කොමියුනයේ පාලනය රජ කර විය හැකි වර්සේ ආණ්ඩුවට අධිෂ්ටාන සහගත ප්‍රහාරයක් එල්ල කරනවා වෙනුවට ප්‍රමාද වෙමින් වර්සේ ආණ්ඩුවට අඳුරු බලවේගයන් ඒකරාශී කිරීමට සහ මැයි මාසයේ ලේ වලින් තෙමීගිය සතියක් සුදානම් කිරීමට ඉඩ ලබා දුනි”(Lenin,Vol 13) නමුත් මේ සියලු වැරදි තිබියදී පවා කොමියුනය 19 වැනි සියවසේ ශ්‍රේෂ්ට නිර්ධන පන්ති ව්‍යාපාරයේ විශිෂ්ට උදහරණයක් වූ බව ලෙනින් වැඩි දුරටත් කියා සිටි.
විප්ලවීය මාක්ස්වාදය
විප්ලවීය මාක්ස්වාදයේ පදනම සපයන ඉතාන්ම වැදගත් පාඩමක් කාල් මාක්ස් අපට පැරිස් කොමියුනය සම්බන්ධයෙන් මෙසේ කියා දෙනු ලබයි.

“නමුත් කම්කරු පන්තියට කලින් තනා -නිමකළ රජ්‍ය යාන්ත්‍රණයක් ග්‍රහණයට ගෙන තමන්ගේ අරමුණු සඳහා යොදා ගත නොහැකි ය. “( Karl Marx,The Civil War in France ). මේ අතිශයින් වැදගත් කාරණය එදාට මෙන්ම අදටත් වලංගු වෙයි. එමෙන්ම ලෙනින් විසින් මෙයට ඉහතින් ගෙනහැර දැක් වැරදි දෙකද මේ ප්‍රකකාශයෙන් තව දුරටත් ස්ථිර කරයි.

මේ කරුණ නැවතත් පැහැදිලි කරන දේශපාලන අත් දැකීමක් පසු ගිය සියවසේ 1972 දී චිලියේ සිදු විය. එහි මහා මැතිවරණයෙන් බලයට පත් වූ මාක්ස්වාදී අයියන්ඩේ ආණ්ඩුව අධිරාජ්‍යවාදී සහ දේශීය ධනපති කොටස් වලින් සමන්විත වූ හමුදා කුමන්ත්‍රණයකින් පෙරලා දමා චිලිය ලේ විලක් කරනු ලැබිය.

මේ සටහන කාල් මාක්ස් විසින් ප්‍රංශයේ ‘සිවිල් යුද්ධය ‘ නම් කෘතිය අවසාන කරමින් කල ප්‍රකාශය යෙන්ම අවසාන කිරීමට යෝග්‍ය බව විශ්වාස කරමි. “පැරිසියේ වැඩකරන ජනතාවගේ කොමියුනය අලුත් සමාජයක දීප්තිමත් පෙරගමන්කරුවකු ලෙස සැමදා අනුස්මරණය කරනු ඇත. එහි වීරයන් කම්කරු පන්තියේ හදවත්වල නිදන් කොට ඇත. එහි ගහලයන් ගේ ඉතිහාසය ඔවුන්ගේ පුජකයන් ගේ සියලු යාඥාවන්ගෙන් ගලවා ගැනීමට නොහැකිවන සේ සදාකාලික දඬුකඳට තබා ඇන ගසා ඇත” .
මා සටහන අවසාන කරන්නේද එම අනුස්මරනය ජිවත් කරවීමත් සමගිනි.

More From Author

නෙතන්යාහු සටන් විරාමය කඩකරයි……

බුද්ධගයාවේ සිට හයිගේට්ස් සුසාන භූමිය තෙක්…

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348