වැලිමිදුලෙන් හමු වූ විනුර උස ගිහින්

රැස පුවත්පතේ වැලිමිදුල ළමා පිටුවේ නිත්‍ය ලේඛකයෙකු වූ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ විනුර ජයශංඛ කාලෙකට පසු හමුවුණේ නුගේගොඩ නගරෙදි…ඔහු දැන් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසුවෙක්.
ඔහු තමාගේ පළමු කෙටිකතා පොත අරං ඇවිත්……සතුටුයි ඉතින්..
මුලින් ම මේ දරුවා වැලිමිදුලට රසවින්දන ලිපියක් එව්වෙ ඇඳුනුමකින් තොරවයි.
එය හොඳින් ලියා තිබුණු. නිසා දිගටම ලියන්න ආරාධනා කළා. ඔහුගේ ලිවීමේ කලාව සෙමින් වැඩෙනු දුටුවා…විනුර, පවන්, සුභාෂිත, ෂෝන් යතින්ද්‍ර, චමත්ක ඇතුළු ව නාමාවලිය දිගයි.
මේ සැබෑ දක්ෂයෝ… .
විනුරගේ කතා පොත රටක් වටින පොතක් ව්‍යාපෘතිය යටතේ හොඳම පොත් සීයට තේරී තිබුණා.
ගොඩගේ ආයතනයෙන් පොත පළ කළා.
විෂම භාග චිත්‍රපටිය ප්‍රදර්ශනය කෙරුණු මෙහොතේ ඒ චිත්‍රපටිය ගැන විනුර ඇතුළු ශිෂ්‍ය ලේඛකයන් ලියූ ලිපිවලින් වැලිමිදුල පිටුවක් සංස්කරණය කළා. චිත්‍රපටයක් ගැන එහෙම ළමා පිටුවක් වෙන්වුණේ ඉතිහාසයේ මුල් වරටයි….
ඒ ලිපි ටික බොහොම අරුත්බරයි….
රැස පුවත්පත වසා දැමීමෙන් ලොකු ම පාඩුව වුණේ මට නොව ළමයින්ටයි..
ඒත් ඉතින් ඒ දරුවන් පත්තර පිටුවකට සීමා කරන්න බැහැ…නිදහසේ ගමන යනවා.
ඒ දරුවන්ගේ හැකියාව අප නිසා ඇති වූවක් ද නොවේ. අප ඒ හැකියාවේ සින්නක්කර උරුමක්කරුවන් නොව අතරමැදියන් පමණයි.
ඔවුන් යන ගමන සක්කරයාටවත් නවත්තන්න බැහැ..
විනුරගේ ගද්‍ය ලේඛන ශෛලියට මම කැමතියි. බස නිරවුල්ව හසුරුවන ලේඛකයෙක්.
“මායා වී ඇට”කෙටිකතා අහුර ලේඛකයයෙකු හැටියට ඔහුගේ අනාගතය ගැන සුබදායි අදහසක් ඇති කරනවා.
කෙටිකතාවේ ආරම්භය හා අවසානය ගැන ඔහු දක්වන සැලකිල්ල පමණක් ගත්තත් ඒ විෂය ගැන ඔහුගේ කැපවීම පිළිබිඹු වෙනවා.
වතුර කළය කෙටිකතාව ඇරඹෙන්නේ මෙහෙමයි.
” මද්දහන නොවුණත්, ඉර මුදුන් වී ඇත්තාක් මෙන් හාත්පස දැනුණේ, මහත් උණුසුමකි. වියළී ගිය පඳුරු, ඒ මේ අත වැනෙමින් දූවිල්ල මුසු වියළි සුළඟක් මැව්වේ ය.
ඉරි තැලුණු පොළොව මතින් පෙරට ඇදුණේ, කාන්තාවන් දෙදෙනෙක් හා කුඩා පිරිමි ළමයෙකි….”
විනුරගේ කෙටිකතා පොත් පිංච රසික අවධානයට ලක් වේවායි පතනවා.
ගිය සතියෙ නුගේගොඩදි හමුවන්න පෙර විනුර අවසන් වරට හමුවුණේ වසර කිහිපයකට පෙර මහවැලි කේන්ද්‍ර‍යෙහි පැවති විෂමභාග සම්මන්ත්‍රණයෙදි.
ඒ සම්මන්ත්‍රණය අමතා මම, ජැක්සන් ඇන්තනි, අජිත් ගලප්පත්ති, ජයන්ත චන්ද්‍රසිරි කතා කළා. මගේ ඇරියුමෙන් විනුර ඇතුළු වැලි මිදුලේ ලේඛකයිනුත් එදා මහවැලියට ආවා. චිත්‍රපටියේ අධ්‍යක්ෂ ලලිත් රත්නායකටත් හරි සතුටුයි….ඒවා සුන්දර හමුවීම්.
විනුර ඒ වන විට සාමාන්‍ය පෙළ විභාගයවත් නොලියූ දරුවෙක්.
ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙස ඔහු මට නැවත හමුවුණේ දැලි රැවුලක් සහිතව…..
සුපුරුදු සිනාව,දයාබරත්වය ඒ විදියමයි.
ටයි පටියක් පැලඳ සුදු කමිසයක් සහ කොට කලිසමක් ඇඳගත් ශාන්ත ජෝන් විදුහලේ අටේ පන්තියේ දීප්තිමත් සිසුවා මගේ මනස් සිතුවමෙහි තවමත් ඉන්නවා…..
විනුර ජයශංඛ පුතණුවන්ට සුබ පැතුම්!

More From Author

ශ්‍රී ලංකාවේ සමරිසි ජනතාව මුහුණ දෙන අභියෝග

උපහාරයෙන් පිදෙනා වගයි නම්…

Leave a Reply

Categories

LDM Columns