21/02/2025 සිට 01/03/2025 දක්වා)
අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් තායි එයා ගුවන් යානයකින් කාම්බෝජයේ අගනගරය වන නොම්පෙන් වෙත ළඟා වුණා.
කාම්බෝජය දකුණු ආසියානු රටක්. එය තායිලන්තය, වියට්නාමය හා ලාඕස් යන රට වල් අතර පිහිටා තිබෙන්නක්. වර්ග කිලෝ මීටර 181000 ක පමණ විශාලත්වයෙන් යුතු මේ රටේ ජනගහනය මිලියන 17.6 ක් පමණ වෙනවා. ඔවුන්ගේ භාෂාව ක්මර් භාෂාවයි. ක්මර් අකුරු ටිකක් තායි අකුරුවලට සමාන යි.
අපි පළමුවෙන් ම ගියේ පොල්පොට් විසින් ක්මර් වරුන් සංහාරයට ලක් කළ ඝාතන පිටිය හෙවත් killing fields වෙත යි.
පොල්පොට් ගැන කියනවා නම් :

1975 සිට 1979 දක්වා කාම්බෝජයේ අගමැති වූයේ පොල්පොට් ය. ඔහුගේ ඒකාධිපති රාජ්‍ය පාලන කාලය තුලදී ගොවිජන සමාජවාදය යන සංකල්පය ඔහු විසින් බලහත්කාරයෙන් පටවන ලද අතර, පොල්පොට්ගේ රජය සාමූහික ගොවිපලවල වැඩ කිරීම සඳහා නාගරික ජනතාව හා වෘත්තිකයින්, උගතුන්, බලහත්කාරයෙන් ගම්බද ප්‍රදේශවලට ගෙන ගියාලු. සම්පූර්ණ සමානාත්මතාවය පසුපස හඹා යමින්, මුදල් අහෝසි කර සියලු පුරවැසියන් එකම කළු ඇඳුමෙන් සැරසී සිටීමට බල කළ බවයි කියවෙන්නේ. ඔහුගේ පිළිවෙතට විරුද්ධ වූවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම ඔහුගේ පාලනය යටතේ සිදු කළ අතර මන්දපෝෂණය සහ දුර්වල වෛද්‍ය ප්‍රතිකාර නිසා මිලියන 1.5 ත් 2 ත් අතර ජනතාවක් (දළ වශයෙන් කාම්බෝජයේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ) මරණයට පත් කර තිබෙනවා.
සමුහ මිනීවළවල් වලින් ගොඩගත් ඇටකටු ස්මාරක තනා ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු යි පින්තූරයෙන් දැක්වෙන්නේ.
මානෙල් විජිතා ප්‍රනාන්දු