කුළු මී හරක් අං පටලන මුඩු බිමක
වෙහෙසට පත්ව හිරු සැඟවෙන කල ඉමක
ඇඳි සිතුවමක තෙලිතුඩු අග බිඳි ලෙසක
නිවෙසක් නොවන නිවෙසකි පිරි මඩ ගොඩක
හිරු රැස් පවා කිසි දිනකදි නොදුටු ඉම
ගන වන ලැහැබ මැද වේ තුඹසකට සම
ගිනිදළු නොමැතිවම අහසට නගින දුම
මොර ගා කියයි මෙහි වැසි දන දිළිඳුකම
තණපත් නැගී නෑඹුල් මල් පියළි ගිල
යළි යළි වමාරන සේ වන වදුළුවල
කටු ඉති එතී සාදන කල පියසි තල
දින දින වෙලෙයි මේ පැල අස අඳුරු නිල
කුඹුරක සිරිය ගත් මඩ පිරි කටු අකුල
ඉදලක් නොදුටු මිදුලෙහි කොළ රොඩු වදුල
තැන තැන කුහුඹු ගුල් සේ පිරි කුණු කසල
පවසයි දිළිඳුකම සහ වගතුග විසල
අලයක් බතලයක් ලිප උඩ විසුළු කෙරු
වේලක් කකා තව වේලක සුසුම් පිරු
කඩමලු චීත්තය කඳුළැලි උරන තුරු
ඇඳිරිය නොමැත කිසිවිට ගෙන් පිටට නෙරූ
අහසේ අඳුරු පැහැ වැහිකළු සේ විසල
කඳුළැලි මිදුණු පඬුවන් ඇගෙ මුව කමල
හසරැල් බිඳක ජීවය සොයමින් දුබල
සුසුමක් පවා කළඹයි සාගර පතුල
තිරයක වෙස රැගත් පහනෙහි තෙල් සිඳුණු
ඇදිවත පවා නොමැතිව කැහි හොටු රැඳුණු
දරුවන් නොතකමින් ගෙය තුලටම වැදුණු
ඇගෙ සිතුවිලි ද කැත කුණු අතරෙම බැඳුණු
පදිමින් යනෙන’තුර දෑතට රැගෙන විරි
ගිලිහී හබල සැඩ දිය මැද රිදුම් පිරි
දුර යා නොහැකි තැන ඔරු කඳ දෙකට ඉරි
දියවැල් අතර සැගවුණි දෝ කොතැන හරි
සමීරා අනුරංගනි
තාලෙ අමුණන පද දිගේ ජීවිතය කියවමු…..✍





