වැල්ල ගිලගෙන වෙරළ සිද  බිද ……                

         

සංක්‍රමණික මත්ස්‍යයෝ

මුහුදුබත් බිම් පීරති

ගිලුණු නැව් මල පාරති

අවර පෙති ගලවා හිසින් ගෙන

කවර දෙස හෝ පීනති

මෙවර ඒ ලෙස යන අතරතුර

කොදෙව්වක් ළඟ නවතිති

ගිමන් හැරගෙන යා හැකි.

අවර පෙති බිම තබා එහෙමම

උඩු බැලිව වැද වැතිරෙති

කල හරි ලෙසම දුටු කල

වල දමා මාළුන් ද ගොඩ එති

තඹ වන් ය මේ වැල්ල නොම වෙද 

සියොළඟ ම තැවරුණු අයුරු දැක

තම්බපන්නි’ යි  මුමුණති.

මෑත වෙරළෙන් ඈත ලඳු බිම

බැල්ලියක රුව හැඳිනෙති.

වැල්ල ගිල ගිල වෙරළ සිද බිඳ

පොළෝ යට වැද සැඟවෙති.

සීසපටිකා දිව එයි

බැල්ල ලුහුබැඳ කෙලි ලොල්ව

නැවතියං මට හතියි කිය කිය

බැල්ල දිවගොස් නවතියි

සීසපටිකා දෙස බලාගෙන

අවර පෙත්තක් ළඟින් ඉව කර

සාධුකාර ය ඇසෙන්නේ ගැයෙන්නේ හැම අත ම

සුදෝ සුදු වන් පිරිවර ය පෙරහැර ය දිගට ම

වැඩමවන්නේ හරසරිනි මෙ’ බිමට

පෙර පිනට පහළ වූ වස්තුව

පෙර කිසි දාක දැක නැති

මොකක්දෝ නොදන්නා වස්තුව

මොකක්වත් සම නොවන

මොකක් මුත් අසිරිමත් වස්තුව

‘ආභස්සරෙන් පහළට

වැඩම වූවක් වුවද විය හැක’

අයෙක් කල්පිත දක්වති.

ආභස්සරෙන් බැස ආ

රස පොළොව බුදිනා සත්ත්හු

පොළෝ යට වැලි කා, රෙති’යි

කිසිවෙකුත් නොදනිති.

ස්ථම්භාකාර දාගර්භ මුදුන් අග

තැම්පත් කෙරෙති අවර පෙති

දාස් ගණනින් පින්වත්තු විත්

සාධුකාරෙන් නමදිති

සෙල්ෆි ගෙන ක්ලවුඩ්වල අමුණති

ඉන්දියන් සාගරය පිසගෙන

පැමිණි සුළඟක් සෙමින් සිපගෙන

කිති කැවී පෙති කැරකෙති

වෙරළ ඔබ්බෙන් බිජු ලෑ

හොඳ හැටි දැක පුරුදු

වර නොලත් කිරිල්ලක්-දෙන්නෙක්

අවර පෙත්තක වැදී

ක්ෂිතිජයෙන් එපිට විසි වෙති.

සටහන :

රජය විසින් දියත්කරන ලද සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මන්නාරමේ සුළං විදුලි බලගාර ව්‍යාපෘතිය යටතේ මන්නාරම් දූපතේ සුළං ටර්බයින 30ක් ස්ථානගත කර ඇත. මේ හේතුවෙන් ස්වභාවික ඇලමාර්ග හරස් වීම වැනි පාරිසරික ගැටළුවලටත්, ප්‍රදේශයේ ජනතාව වාර්ෂික ගංවතුර තත්ත්වයන්ට සහ පානීය ජලයට ලවණ මුසුවීමේ අවධානමකටත් මුහුණ පා සිටිති. ඊට අමතරව මන්නාරම් දූපත සංක්‍රමණික පක්ෂීන්ගේ ගමන් මාර්ගවල සන්ධිස්ථානයක් වන අතර ඔවුන්ට ද මේ මගින් දැඩි ලෙස තර්ජන ඇති වී තිබේ. ඉදිරියේ දී අදානි සමාගම විසින් ද මෙවැනිම ටර්බයින පනහකට ආසන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. ඊට අමතරව TitaniumSands නම් ඕස්ට්‍රේලියානු සමාගමක් විසින් හොර රහසේ දූපතේ ඉල්මනයිට් කැනීම්වලට සැරසෙයි. පටු ඉඩ කඩක් සහිත වැලි දූපතක් වන මන්නාරම අති විශාල පාරිසරික සහ සමාජීය ගැටළු රැසකට අද වන විට මුහුණ පා සිටියි.

More From Author

සුදන දන සියපතය  දුදනන් අතර…

මගගම සේකරයන්ගේ හා තුන්මන් හන්දිය සමග අතීතයෙන්

Leave a Reply

Categories

LDM Columns