ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා

ජීවිතයෙන්, මා උගත් ඉතා වටිනා පාඩමක් තිබෙනවා. ඒ තමයි,
“කාලයට, ආදරයෙන් සහ ගෞරවයෙන් සලකන්න…” කියන එක.

“කාලය කෑම” ගැන, මට බොහෝ අත්දැකීම් තිබෙනවා. ඒත්, අපරාදයේ විනාශ වූ ඒ කාලය පිළිබඳව මම කිසිසේත්ම පසුතැවෙන්නේ නැහැ. මොකද, එහෙම කාළකණ්නි සමයක්- මට එදා තිබූ නිසයි, අද මම, කාලයේ අර්ථය සහ රිද්මය නිවැරදිව ග්‍රහණය කර ගත් සබුද්ධික මනුෂ්‍යයෙක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ….

දැන්,
මම මගේ හෘදයෙන්ම කාලයට ගෞරව කරන්නියක්. වයෝවෘද්ධ වෙන්න වෙන්න මනුෂ්‍යයෙකුට තේරුම් යන්න ගන්නවා, තමන්ට සොබාදහමින් පුන පුනා ලැබෙන අනර්ඝතම ත්‍යාගය තමයි “දිනය” කියන්නේ කියලා.
ඒ “දිනයේ අගය” පිළිබඳව තේරුම් කරවන්නයි
“අපට දින ලැබී තිබෙන්නේ” කියලා.
ඒ ලැබුණු දින ගණන “අවසන් වන දිනය-“
“දිනයක් ඇතුළේම හංගලා එවලා” තිබෙනවා කියලා…..

මගේ ඉතාම නරක පුරුද්දක් තිබෙනවා. හැමවිටම මම පරාර්ථය ගැන වද වෙනවා. හිතනවා. මට හානියක් නැති දෙයකදී පවා, වෙනත් කෙනෙකුට වන හානිය පිළිබඳව මම බොහොම වද වෙනවා. වෙනත් මනුෂ්‍යයකුගේ අර්ථ සාධනය වෙනුවෙන් මාරාන්තික සටනකට පවා පෙනී ඉන්න තරම් මම සූදානම්.
නමුත්,
පසුකාලීනව මට ටිකෙන් ටික තේරුම් යනවා….,
මේ ලෝකයේ කිසිම කෙනෙක්ව
ඔබට ගලවාගත නොහැකි බවත්,
ඔවුන් ඔවුන්ගේ කර්ම චක්‍රය ඔස්සේ- යා යුතු ගමන් ඒ ඒ ආකාරයෙන් යන බවත්,
සුළු අනතුරු හැඟවීමකින් හෝ අවවාදයකින් අනතුරුව, ඔවුන්ව මනසින් අත් හැර දැමිය යුතු බවත්…….

අන්න ඒ, “පසුව පැමිණි නුවණ” නිසා,
“මට ශේෂ වී ඇති දින ගණන-“
“මට පිළිසකර කළ නොහැකි වද වීම් උදෙසා-“
“නොකා ඉන්න තරම්-“
දැන් මම පරෙස්සම්.

එකම විදිහට කැරකෙන ඔරලෝසු තිබ්බට,
“කාලය කියන්නේ, අතිශය පෞද්ගලික දෙයක්” කියන එක මම වටහා ගත්තා.
හෘදයාංගම යමක් වෙනුවෙන්, ස්ව කැමැත්තෙන් හා ප්‍රීතියෙන් වැය කරන කාලය හැරුණු කොට, මගේ බුද්ධිය විවර නොකරන- මනස අපතේ යවන- හරසුන්- වැදගත් නුවූ කිසිවකට දැන් මගේ ජීවිතයේ ඉඩක් නැහැ.

Creating your own limits, margins & walls කියන්නේ, තමන් තමන්ටම කර ගන්නා මිනිස් තරවටුවක් ! කාලය විසින් මිනිසෙකුට ලබා දෙන ස්වයංභූ ඥානයේ- සුබවාදී අතුරු ඵලයක් !

සැබැවින්ම,
ඔබ මෙහාට ඇවිත් තිබෙන්නේ ඇයි?
ඒ, ඔබව සොයා ගන්නයි.
ඔබට ඔබව සොයාගන්න තරම් ප්‍රමාණවත් කාලයක් එක්කයි ඔබ මෙහාට ඇවිත් තිබෙන්නේ….
ඉතිං,
ඒ, ලැබූ කාලයට
ආදරය කරන්න.
ගෞරව කරන්න.

මාත් දැන් එහෙම කරනවා…

More From Author

අවසානයේ හඳගම ස්වර්ණාව නැති භංග කළේය.

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ අවශ්‍ය තොරතුරු අතැතිව ද?

Leave a Reply

Categories

LDM Columns