අයහපත් කාලගුණය

කොළඹ කාලගුණ මධ්‍යස්ථානයෙන් උදා අහසට යවන ලද බැලුමක් වෙමින් පාවෙන මට සියල්ල පෙනෙන්නේ කුරුලු ඇසකිනි. නගර, ගම්, කුඹුරු, සාගර, ගංගා, මංමාවත්, ගෙවල් දොරවල් ආදියෙහි හැඩය මට හොඳින් පෙනේ. ගුවන්ගත කර වැඩි වේලාවක් නැති නිසා මා ඉහළට පාවී යන්නේ පුරුදු පොළෝ ඉම වේගයෙන් දුරස් කරමිනි. කවුදෝ අත්වැල් බැඳ ගෙන ඉහළට ඇදගෙන යන්නා සේ මට හැ‍ඟෙයි. මෙවැනි වේගයකින් ඉහළට ගිය පසු මා කරා ළඟා වන විපත්තිය මට දැනේ. ඒ ගැන මා සිටින්නේ භීතියෙනි. පොළොවට ඇලී ගැලී ජීවත් වුණු මේ පුද්ගලයා මෙවැනි තාවකාලික සැහැල්ලුවක් අත්විඳින්නේ මන්දැයි කෙනෙකුට කල්පනා කළ හැකි ය. ඉහළ‍ට ගිය කල දෙව්ලොව හමු වෙති යි සිතන අන්දමේ අමනයකු නොවෙතත් ‍පොළොව නොවන යම් දෙයක් මට හමු වෙති යි සිතමිනි මා මේ ගමන යන්නේ. එය කුමක් දැයි මට තෝරා බේරා ගත නොහැකි ය. මේ ගමන නිසා මගේ ආත්ම විශ්වාසය තහවුරු කර ගෙන මානසික අවපාතය තුනී කර ගැනීමට සමත් වූ බවකි, මට හැ‍ඟෙන්නේ.

මුහුදින් වට වුණු ලංකාවේ දිවයින් හැඩය මට හොඳින් පෙනේ. එක පැත්තක සැඬ මුහුද මැරයකු සේ ගොඩබිම‍ට කඩා පනිද්දී අනෙක් පැත්තේ මුහුද සන්සුන් උපාසක හැඟුමකින් උදාසීනව මෙන් වැතිර සිටියි. ඒ සන්සුන් වෙරළ දිගට ධීවර යාත්‍රා නවතා ඇති අතර තවත් යාත්‍රා මූදු ගොස් ආපසු වෙරළට ළඟා වෙයි. මුහුදේ රළ පෙරළි කුමක් වූවත් ඒවා ඉවසා ගෙන පුළුවන් හැටියකට ජීවත් වන හැඟුමකි, දෙපැත්තේ ම සන්සුන් වෙරළවලින් මට පෙනෙන්නේ. චණ්ඩ වුණු සයුරකට හිස නවනවා විනා අභියෝග කරන වුවමනාවක් ඒ කොතැනකත් නැත. යුලිසිස්, කොලොම්බස්, මැගලන්, වස්කෝ ඩි ගාමා වැනි ධීරවීර යාත්‍රිකයින් මේ වෙරළවලින් කිසි දවසකවත් පිටත් වී ගොස් නැත්තා සේ ය.

මුහුදින් හමන්නට වූ සුළඟක් නිසා මම ගොඩබිම දෙසට වේගයෙන් පාවෙන්නට වීමි. මට හැඟුණේ මා ඉතිහාසයේ කියවෙන පුරාණ රාජධානියෙන් රාජධානියට පාවී යන බවකි. මා මහරාවණ වී දඬුමොනරයක ගමන් කරමින් සිටින බව මට හැඟුණි. මට ඉන් පෙර කිසි දිනක එතරම් බොළඳ හැඟීමක් ඇති වී නොතිබුණු බැවින් මට දැනුණේ තදබල ලැජ්ජාවකි. 

එහි මලානික වී ගිය ගහකොළ යටින් වියළි බිම පෙනුණි. රුක් ගොමුවලටත් වඩා උස කොත් කැරැලි තැනින් තැන දිස් විය. ගඳකිළියට පිවිසෙන භික්ෂූන් වහන්සේලා ගෙවුණු දවසේ දල්වන ලද පහන්වල දැල්ල කඩා නැවත පත්තු කරති. මම දුටුවේ උදෑසන තේවාවක් සේ එය ස්ථාන රැසක සිදු වන බව ය. ප්‍රතිසංස්කරණය කරන ලද දාගැබ් පියකරු සුදු පැහැයෙන් ද, නටබුන් ලෙස පවතින සෙසු සුවිසල් විහාර මනබඳින රතු මැටි වර්ණයෙන් ද දිස් විණි. අලුත තනන ලද වෙහෙර විහාර සහ වංශකථා සමඟ අත්‍යන්තයෙන් බැඳුණු පුරාතන විහාර අතර වෙනස මට අහසේ සිට වූවත් හඳුනා ගන්නට අපහසු නොවී ය. බුදු පිළිම සම්බන්ධයෙන් ද එසේ විය.

එදෙසින් උස් කඳුකරය දෙසට තල්ලු වුණු මට හමා එන තේ සුවඳ ද, තව දුරක් පාවී ගිය පසු රබර් ගඳ ද දැනුණි. විශාල පෙට්ටගමක පියනක් සේ පෙනුණේ තේ ෆැක්ටරියක පියස්සකි. නාගයකු සේ ඉහළට ඇදෙන දුම්රියක් ඒ ආසන්නයෙන් ගමන් ගත්තේ ය.

ටික වේලාවකින් මා දකින දර්ශනය වෙනස් විය. මා උතුරු දෙසට ගසා ගෙන යනවා විය යුතු ය. පිදුරුතලාගල හෝ වෙනත් උස් මුදුනකට හෝ ගොනු වෙන්නට උත්සාහ කරන්නා සේ පෙනුණු වළාකූට සහිත නිල්වන් කඳු පංති හා හුදකලා කඳු ගැට වෙනුවට මට රාමේශ්වරමටත්, මන්නාරමටත් අතරේ ඉතා කුඩා දිවයින් කිහිපයක් පෙනුණි. ඉන්දියාව හා ලංකාව දෙරට යා කරන්නා සේ පෙනෙන රාම සේතුව ද නොගැඹුරු නිල්වන් මුහුදේ දකින්නට පුළුවන් විය. රාමායණ කථාවට සහතිකයක් සේ පෙනුණු ඒ දර්ශනය නිසා මා තුළ නැවතත් දඬුමොනර හැඟීම උත්සන්න වුණු අතර ඒ සමඟ ඇදී එන ලජ්ජාව ද දැනුණි. 

තත්ත්වය බැරෑරුම් වූයේ මා නැවතත් කඳුකරය මතින් නැගෙනහිර පළාත් පසු කරමින් දකුණු දෙසට පාවෙන්නට වුණු විට ය. මෝසම් සුළං ඇරඹී දින කිහිපයක් ගෙවී තිබුණි. මට පෙනුණේ ගංවතුරකට හසු වී පීඩා විඳින විශාල පෙදෙසකි. එය ස්වභාවධර්මයේ රුදුරුකමට සම්පූර්ණයෙන් ගොදුරු වුණු බිමකි. ස්වාභාවික පෙරළි හා විපත් කොයි තරම්  වූවත් ඒ කොයි ‍දේත් ඉවසා දරා ගෙන පුළුවන් හැටියකට ජීවත් වන හැඟුමකි මට එහි පෙනුණේ. නොනවත්වා වැටෙන මෝසම් වර්ෂාවට හිස නවනවා විනා සවිමත් යටිතල පද්ධතියකින් ඊට අභියෝග කරන වුවමනාවක් කොයි අතකවත් පෙනුණේ නැත. සොබාදහම සිය තොණ්ඩුව තව තවත් තද කරන අතරේ මිනිස්කමට නිගා දෙන හීන දීන අසරණකම් බැලු බැලූ අත දිස් විය.

මම හැකි තරම් ළං වී ඒවා දෙස බලන්නට වූයෙමි. මට හැඟුණේ මා ද ඒ අසරණකමේ පංගුකාරයකු බව පමණි. මෙන්න දැන් ලැබුණු පුවතක්! මහා වැස්සේ මහත් අවධානයකින් හා ඇබ්බැහිකමකින් යුතුව මා බලමින්  සිටි ගූගල් සිතියම මතින් දිවෙන ‘බ්රේකින් නිව්ස්’ එකකි. කොළඹ ඩුප්ලිකේෂන් පාර අයිනේ තිබුණු විශාල ඇහැටු ගසක් ලංගම බස් රථයක් මතට කඩා වැටී ඇත. මට එසැණින් ගූගල් සිතියම අමතක වෙයි. මම මුහුණු පොතට ප්‍රවිෂ්ට වෙමි. කොළඹ වසා ගෙන තවමත් වැස්ස වැටෙයි. මට ද ඉන් ඇති වී තිබෙන බලපෑම විශාල ය. ගෙදර හතරැස් මිදුලේ සිට ලන්ද දෙණිය සහිත වෙල් තීරුවට වැටෙන පාර සම්පූර්ණයෙන් යට වී ඇත. මම විදුලිය ඇනහිටීමක් බලාපො‍රොත්තු වෙමි.

එක පිට එක අකුණු ගැසීම නිසා හාත්පස ලෝකය ගාසා තීරයක් වැනි ය. මම කොම්පියුටර් වයරය බිත්තියෙන් ගලවා වැඩ කරමි. විදුලිය විසන්ධි විය හැකි කලාපය ගැන මට මනා අවබෝධයක් ඇත. පිළියන්දල, ඇරැව්වල, මකුලුදූව, විශ්වකලාව සහ කැස්බෑව ඊට ඇතුළත් වන බව මම හොඳාකාරව දනිමි. ලොකු ම ගැටළුව මට අන්තර්ජාලය ද අහිමි වී මහා වැස්සේ හා අඳුරේ මූසල හැඟීමකින් යුතුව කල් ගෙවන්නට සිදු වීම ය.

මම එහි සිත් අවදි කරවන මුහුණු පොතේ අමුතු තාලේ සටහනක් යොදමි. රඹුටන් වාරය ගෙවෙයි. දූරියන් වාරය ලබයි. නියං කාලය ලබයි. විදුලිය නැති වෙයි. ඉන් පසු තද වැසි සමය එළඹෙයි. එවිට ගංවතුර හා නාය යාම් සිදු වෙයි. ඊට ලයික් ගලා එයි. ඇත්තට ම වැස්ස තද ය. සීලිමෙන් වතුර වෑස්සෙයි.

මුහුණු පොතේ හිතවතී හා රූමතී සක්‍යයා අමිලානි කියන්නේ මකුලුදූව යට වී ඇය ටෙරියා ජූනියර් සමඟ බහුබූත දොඩමින් සිටින බවය. මම ඇයට ඉමෝජි මල් මිටක් යවමි. තද සීතලට මට අයිස්ක්‍රීම් කන ආසාවක් ඇති වෙයි. මම මගේ ඒ පුද්ගලික ආසාව පබ්ලික් කරමි. පුදුමය, සිනාව, උපහාසය විරිත්තීම, සතුටු කඳුළු, හාදු, තොල් පෙරළි, දිව දික්  කිරීම, රොඩු දැමීම, මිනී ඔළුව, ගූබෙට්ට, ෆැන්ටම් ආදිය සහිත ප්‍රතිචාර වැල නොකැඩී ගලයි. ප්‍රතිචාර දක්වන්නන් අතර සිටින ‘ලන්ඩන් අහරකුක්කා’ කියන්නේ මගේ අයිස්ක්‍රීම් ආසාව හැම්ලොක් විෂ කෝප්පය ඉල්ලූ සොක්‍රටීස්ගේ ආසාවට සමාන බව ය. 

ප්‍රවේශ මාර්ග තුනක් සහිත ඇරැව්වල ඉඩම වේගයෙන් දූපතක් බවට පත්වන අයුරු මම ජනේලයෙන් දකිමි. වැස්සේ පෙඟුණු රිලවෙක් උඩින් යා හැකි මඟක් නැතිව එක් බොරලු  පාරක් දිගේ රබර් වැටිය පැත්තට ගමන් කරන්නට සැරසෙයි. මම අසරණයා දෙස බලමි. ඇරැව්වල රිලවා තුළ ඇත්තේ පෝස්ට් – ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර් තත්ත්වයකි. එයා සිටි ගසට අකුණක් ගසන්නට ඇත. පොඩි රාළහාමි ගැන මට පසුබිම් දැනුමක් ඇත. ඇරැව්වල අනෙක් රිලවුන් තුළ නැති හිතවතකමක් එයා තුළ තිබෙන බව මම දනිමි. සිය පිරිස සමඟ යද්දී එයා මොහොතකට නතර වී මා දෙස බලන්නේ මා ගැන යටි සිතේ  උනන්දුව ඇති ටියුෂන් ගර්ල් කෙනෙකු ලෙසිනි. රාළහාමි පයින් ගමන් කරන්නේ විශ්වාස කරන්නට නොහැකි තම මිතුරකු වූ ස්වභාවධර්මය ගැන ඇති රියල් ප්‍රායෝගික දැනුම නිසා විය යුතු ය. මගේ ගැරේජය ඇරැව්වල රිලවුන්ට හොඳට හුරු තැනකි. එනමුත් එවැන්නකු වූවත් මෙවැනි අසීරුතා නිසා ඇති වුණු අනාථ ගමනක් මා කරා නොඑන්නට ද හේතුවක් ඇත. ඒ මා මෑතක සිට පාවිච්චි කරන්නට පටන් ගත් මූනිස්සම් තුවක්කුව නිසා විය යුතු ය. මට කුඩේ ඉහලා ගෙන ගොස් රිලවා නිවසට කැඳවා ගෙන එන්නට සිතේ.

ඩුප්ලිකේෂන් පාරේ ඇහැටු ගස් අනතුර සිතුවාට වඩා විශාල එකකි. බ්‍රේකිං නිව්ස් ගලා ගෙන එයි. ඇහැටු ගස තිබී ඇත්තේ කොල්ලුපිටිය වටරවුමට කිට්ටුව ය.‍ එය කඩා වැටී තිබෙන්නේ ලංගම බස් රථයක් උඩට ය. ඩුප්ලිකේෂන් පාරේ ගමන් කරන බස් මොනවා දැයි මම කල්පනා කරමි. ඊට සමාන්තරව දිවෙන ගාලු පාරේ කොටස වන්වේ කර ඇති නිසා කොළඹින් රත්මලාන හා මොරටුව පැත්තට ගමන කරන බස් පවා ඒ පාරේ ගමන් කරන බව මට මතක් වෙයි. මගේ මිතුරු මිතුරියන් හා දන්නා හඳුනන කට්ටිය ගැන ඇති වන්නේ බියකි.

අනතුරට ලක් වුණු බසයේ ඡායාරූප දැන් ගලා එයි. විශාල ගසක් ඉදිරී ලංගම බසයක් උඩට කඩා වැටී ඇත. ඒ තරම් විසල් ගසක් කොළඹ තිබුණා පුදුම ය. දෙකඩ වී ඇති බසය හොඳින් පෙනේ. එය සංස්කරණය කරන ලද ෆේක් පින්තූරයක් වැනි ය. පැතිරෙන විමතිය හා කෝපය ලැව් ගින්නකි. සිදු වෙති යි අනුමාන කරන්නටවත් නොහැකි සිද්ධියකි සිදු වී තිබෙන්නේ. ‍බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වන්නේ කෝපාවිෂ්ට උන්මාදයෙනි. ඉමෝජි ඉමෝටිකොන් යල්පැන ගියා සේ ය.

ගිලන් රථ කොළඹ මැදින් ගමන් කරයි. මියගිය ගණන තවම කියවෙන්නේ නැත. එය මඟීන් අනිවාර්යෙන් මියයා යුතු බරපතළ මටටමේ අනතුරකි. බසයේ සිටින සියල්ලන්ට තුවාල සිදු විය යුතු ය. බසය කොළඹින් පිටත් වී දෙනියායට යන එකකි. බසය එහි නතර කර තිබුණේ ඇයි? ඒ හරියේ බස් නැවතුමක් තිබුණා මට මතක නැත. ගූගල් සිතියමෙන් පැරණි ඇහැටු ගස මතු වෙයි. උස් ගසේ අතු බර මහ පාරට ය. ඒ ළඟ ඇති බැංකු බිල්ඩිමක් නිසා පැත්තක අතු කපා දමා ඇත. අනතුර දුටුවෝ කතා කරති. ගහේ මුල් අවුරුදු ගණන් පදික වේදිකාවෙන් උඩට මතු වී තිබී ඇති බව කියන්නේ කොළඹ මහනගර සභාව නිර්දය ලෙස විවේචනය කරන තැනැත්තෙකි. ඔහු එවේලෙහි පාරේ ගමන් කර ඇත. බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලයට යන රජීව් රොහාන් පොත් පහක් අතැතිව කියන්නේ තමා එවැන්නක් සිදු වන බව පෙර දක්නා ලද බව ය. ඉන් පසු කහ ඇඳුමකින් සැරසී සිටින පූසාරියෙක් අසිහියෙන් මෙන් කතා කරයි. කොළඹට ආරක්ෂාව සපයන මිනිසුන් පමණක් නොව දෙවියන් ද උදාසීනව අහක බලා ගත් නිසා මේ විනාශය සිදු විය. පොරකන ‍පිරිසෙන් හා ඒ පාරේ සාමාන්‍ය දින චරියාව උඩුයටිකුරු වීමෙන් පෙනෙන්නේ මහ දවාලේ වුණත් අඳුරු අගාධයකට වැටී ඇති බවකි. එය කොළඹ හතේ නොව කොළඹ තුනේ සිදු වීමක් වුණත් ඇල්ෆ්‍රඩ් ගවුස් ගාඩන්  වින්නැහියකි.

කොළඹ හදිසි අනතුරු වාට්ටුවේ පින්තූර ලැබේ. මියගිය සංඛ්‍යාව විශාල විය නොහැකි වූවත් අනතුරට හේතුව හා ඊට ගොදුරු වූ මහජනයාගේ ශෝකජනක තත්ත්වය නිසා ඒ සිද්ධියේ ආතතිය ඉතාමත් අනුවේදනීය මට්ටමකට නැ‍ඟෙයි. කොතැනක හෝ බරපතළ ප්‍රශ්නයක් ඇත. සියල්ලන්ට සිදු වී තිබෙන්නේ රඹුටන් වාරය ගෙවුණු විට දූරියන් වාරය ලබන අයුරින් නියං කාලය ලබා විදුලිය නැති වන, තද වැසි සමය ලබා ගංවතුර හා නාය යාම් ඇති වන රටක ජීවිත ගත කරන්නට ය.

මා කලින් මුහුණු පොතට දැමූ රඹුටන් – දූරියන් සටහන පුනරුච්චාරණය වේ. එය වෛරල් වේ. සමහරු එය දකින්නේ කොල්ලුපිටි අනතුර ගැන කියූ අනාවැකියක් ලෙසිනි. ඊට එකතු වන විච්චූරන රූප අතර ඉන්දික තොටවත්ත, නොස්ට්‍රඩාමුස්, ආතර් සී. ක්ලාක්, එච්. ජී. වෙල්ස්, නිකොලා ටෙස්ලා, ෆෙඩ්රික් හේගල්, ෆ්‍රැන්සිස් ෆුකුයාමා ආදීන්ගේ පින්තූර ද ඇති බව මම දකිමි. මම තරුවක් වී සිටිමි.

වැස්ස නොකඩවා ඇද හැලෙයි. එදින සවස වන විට විදුලිය විසන්ධි වී තිබුණු අතර මා පදිංචි වත්ත සම්පූර්ණයෙන් යට වී ගැරේජය වතුර ටැංකියක් විය. හායි හායි කියමින් ගෙම්බෝ කෑගසති. මට කිඹුල් බියක් ද ඇති වේ. හාත්පස සෑම අංශුවක් ම පෙඟී හමාර ය. හිස සිට දෙපතුල දක්වා හිරිගඩු නඟන ශීතලක් ඇති වෙයි. මට දැනෙන්නේ පෙනහලු දෙකේ ද වතුර පිරුණු බැලුම් දෙකක් සේ සෙම පිරී ගෙන එන බවකි. ෆෝරාකෝට් 400 ඉන්හේලරය අවසන් වූයේ පෙරේදා ය. රාත්‍රියට කලින් ම මුළු පෙදෙස වසා ගන්නා මඳ අඳුර නිසා හාත්පස සීමා සිතිජ බොඳ වී යන්නේ වැස්සේ සද්දය මැද මා සිරගත කර කරමිනි.

රෑ දහය පසු වන අතරේ කොම්පියුටරය ක්‍රියාවිරහිත වෙයි. මගේ සිරුර අප්‍රාණිකව යන බවක් දැනේ. සිරුර වත්තන් කර ගෙන සිටීමේ වුවමනාව ද නැති වෙයි. මම මගේ මොබයිලය හා එහි ඇති විදුලි පන්දම සමඟ හුදකලා වෙමි. ශීතකරණයේ ඇති කෑම නරක් විය හැකි නිසා එහි දොර විවෘත නොකරන්නට මම තීරණය කරමි. මගේ රාත්‍රි කෑම කළුවර කුස්සියේ ඉතුරු වී තිබුණු පාන්පෙති දෙකකට හා ලෙල්ල කළු වී ඇති ඇටි කෙසෙල් ගෙඩි දෙකකට සීමා වෙයි.

කෑමෙන් පසු අඳුරු සාලයේ දොර වසන්නට පෙර ආලින්දයට මොබයිල් පහන එල්ල කළ විට මා දකින්නේ එහි සිටින රිලවෙකි. ඒ පොඩි රාළහාමි නොවේ. සරදියෙල් හෝ කාමුක හෝ විය යුතු ය. වැස්සෙන් තෙතභරිත වුණු රිලවා විදුලි එළිය දෙස බලා සිටින්නේ අසරණ බැල්මකිනි. කිසිවක් කරකියා ගත නොහැකි රිලා ඇස්වල රැඳී තිබෙන්නේ ඒ රැයෙහි ශීතලේ මියයන්නට නියම වී ඇති බව දන්නා ඉවකි. නිස්කාරණේ මිදුලට එල්ලවන මොබයිල් ෆෝන් එළියෙන් මා දකින්නේ තවත් අනපේක්ෂිත දෙයකි. ඒ පෝටිකෝවේ යටට පැමිණ සිටින ඉත්තෑවන් හතර දෙනෙකි. පොළොවේ වැළලූ මැටි ජෝගු වැනි ඉත්තෑ බෙන මම හඳුනමි. වෙල පැත්තේ පන් ගොබවලට සැඟවුණු ඉත්තෑ බෙන වතුරට යට වී ඇති බව නොඅනුමාන ය.

නිවසේ කොතැනක හෝ ඉටි පන්දම් කොටයක් තිබිය යුතු බව සිතෙන මතකයට මම අනුගත වෙමි. කෑම මේසය කෙළවරට තල්ලු වී ඇති එය මට ලැබේ. මම එය දල්වා ආලින්දයේ ආවරණයක දල්වමි. ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් සොයා ගන්නා මම එය ආලින්දයේ පැත්තකට පෙරළා තබමි. හොඳට හිතේ කල්පනාව ඇති රිලවා සීතලේ ගැහි ගැහී ඊට ඇතුළු වෙයි. ඉකි බිඳින්නා වැනි හඬක් මා කන වැකේ. රිලවුන් සිරුරේ දිය ගසා ගන්නට නොදන්නා සේ ය. මම මගේ තුවායක් එයාට දෙමි.

ඇඳ හා පරිගණකය ඇති කාමරයට එන මා දකින්නේ එහි සීලිමේ කොටසක් කඩා වැටී ඇති බව ය. වාසනාවකට ඇඳ හා පරිගණකය නූලෙන් බේරී ඇත. මගේ ඇහිබැම රැලි ගැසෙයි. මට දැනෙන්නේ මුළු සේසත නැති වෙන්නට ගියා වැනි හැඟුමකි. එය මෙවැනි මොහොතක සිදු නොවිය යුතු දෙයකි. වහලේ සිදුරුවලින් වෑස්සන වැහි බිඳු සට සට ගා බිමට වැටේ. මට හැ‍ඟෙන්නේ මගේ හිසට ඉහළින් කිසිවක් ඉතුරු වී නැත්තා සේ ය. මම හිස ඔසවා විමසුම් සහගත ලෙස ඒ හානිය හා විපත්තිය දකින්නට උත්සාහ ගනිමි.

සිලීමේ හතරැස් හිඩැසට මොබයිලය එල්ල කරන මා දකින්නේ එහි සිටින කැලවැද්දකු හෝ හෝතඹුවකු වැනි කළු පාට සතෙකි. ඌ ගෙට ඇතුළු වූ සොරකු මෙන් පරාලය මත ලැග සිටියි. මම පසුගිය කාලය පුරා සීලිමේ සිදු වන හෝතඹු නාටකවලට හුරු වී සිටියෙමි. සමහර දිනවල තද දුර්ගන්ධයක් නිකුත් වුණු අයුරු මට සිහිපත් වේ. උන්ගේ මුත්‍රා නිසා සීලිමේ ලප මතු වී තිබුණි.

කෝපයෙන් හා ජුගුප්සාවෙන් ආවේශ වන මම වහා ඇඳ යටට එබී එහි වූ පෙට්ටියෙන් මූනිස්සම් තුවක්කුව අතට ගනිමි. මගේ ඉලක්කය පහසු එකකි. මම වෙඩි තබමි. කවදත් මගේ ඉලක්කය නිවැරදි ය. සීලිමේ සිටි සතා පලා යාම වෙනුවට දඩස් ගා බිම වැටෙයි. ඉවසා ගන්නට නොහැකි දුර්ගන්ධයකින් කාමරය පිරෙයි. මම මොබයිල් ටෝච් එළිය ඌ වෙත එල්ල කරමි. සතාගේ හැලහොල්මනක් නැත. එය පුදුමාකාර දෙයකි. මූනිස්සම් තුවක්කුවකට එවැනි සමත්කමක් නැත. විදුලි පුටුවක කාර්යක්ෂමතාවෙන් හෝ රයිෆලයක බිහිසුණුකමින් හෝ ක්ෂණික මරණය කැඳවන්නට එය නොසමත් බව මම හොඳින් දනිමි.

සීලිම උඩ සිට ඇත්තේ දින ගණනකට පෙර මියගිය සතෙකි. තද කළු කැහැටු සිරුරින් නික්මෙන පණුවෝ නළියන මෝස්තරකට මෙන් පොළොවේ ඇවිදිති. ඌ ඇඳ උඩට වැටුණා නම් මා නිදන ඇඳ දින කිහිපයකට පෙර දී වළ දමන ලද මිනීපෙට්ටයකට සමාන වෙයි. මගේ ගැටළුව ඌ මියගොස් දින ගණනක් මා නොදැන සීලිමේ සිටීම ය. ඝන සමට වැඩි කිසිවක් ඒ සතා තුළ ඉතුරු වී නැත. පණුවන් සිරුරේ සාරය උරා ගෙන හමාර ය. එනමුත් තව තවත් නළියන පණුවන් නිසා මා දකින්නේ මුළු සිරුර සහලවන ගතියකි. 

එවේලෙහි කන ළඟ ම පුපුරා යන හෙණය නිසා මා වීසි වී ගොස් ඇඳ මතට වැටේ. වීදුරු දොර කවුළු ඉරා ගෙන විදුලි එළිය දිදුල දෙයි. මගේ කාමරය විටින් විට තීව්‍ර ව ආලෝකමත් වන්නක් පමණක් නොව තද දුර්ගන්ධයෙන් හා සිය ගණන් පණුවන්ගෙන් ද පිරුණු එකකි. සියල්ල කොයි තරම් ප්‍රාථමික මට්ටමක තිබේ දැයි කිව හොත් මට හුස්ම ගැනීමටවත් නොහැකි තරම් ය.

නොනවතින වැස්ස හේතුවෙන් ආලින්දයට ගලා එන ගංවතුර කාමරයට ඇතුළු වන අයුරු දකින මම ඇඳ උඩ වාඩි වී කකුල් දෙක උඩට ගන්නේ මොබයිල් පහන මා වෙත එල්ල කළ හොත් මගේ අභූත රුව දිස් වන උස කණ්ණාඩිය දෙස බලන්නට ය.   

More From Author

දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි?

ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ දැවැන්ත ගංවතුර හේතුවෙන් ඇති වූ මානව ව්‍යසනය: එය සිදු වූයේ කෙසේ ද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348