චෙක් මේට් වූ පාසැල් චෙස්

ලාංකීය සෑම ක්‍රීඩා ක්ෂේත්‍රයකම ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීමට අඩි තාලම දමන්නේ පාසල් ක්‍රීඩා සංගම් හා සම්මේලන මගිනි. පාසැල් ක්‍රීඩා සංගම්වල වගකීම පවතින්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේය. එම නිසාම මෙකි පාසැල් ක්‍රීඩා සම්මේලන ද ක්‍රියාකරන්නේ රාජ්‍ය සේවයට අත්ව තිබෙන අකාර්යක්ෂම, ඈලි මැලි දුබල ගතියෙන් මෙන්ම තම අභිමතය පරිදිය.

ඇතැම් ක්‍රීඩා ක්ෂේත්‍ර දූෂණයෙන් සහ අවභාවිතාවෙන් ඉහවහා ගොස්ය. එය පාලන, සංස්කෘතික හා ආයතනික ව්‍යවස්ථා මට්ටමින් ඇති ගැටලු වලට සමාන වේ. වසර ගණනාවක් පුරා නවීන ප්‍රතිසංස්කරණ හා අධිකරණ ක්‍රියාමාර්ග හරහා විවිධ උත්සාහයන් රැගෙන තිබුණද, අභ්‍යන්තර හා බාහිර බාධක හේතුවෙන් ඒවා එතරම් සාර්ථක ලෙස වෙනසක් වී නොමැත.

ක්‍රීඩා සංගම් හා සම්මේලන පාලනය පවතින්නේ බොහෝ පැරණි නිලධාරී කල්ලි කණ්ඩායම් මතය. ඔව්හු නවක ක්‍රීඩා පරපුර ඉල්ලා සිටින වෙනසට විරුද්ධ වෙති. ඔවුන්ගේ බලය මෙන්ම බලපෑම නිසා දුර්වල හා දියාරු පාලන ක්‍රම, පක්ෂපාතිත්වය සහ දේශපාලන සම්බන්ධතා මත ප්‍රතිසංස්කරණ වලට එරෙහිව දශක කිහිපයක්ම සිය බලය තහවුරු කරගෙන තිබේ. මෙවැනි ආයතනයන්හි නායකත්ව පත්කිරීම් සාමාන්‍යයෙන් සිදුවන්නේ දේශපාලන බලපෑම් හා හිතවත්කම් මතය. මෙය ක්‍රීඩාවේ යහපාලනය හා ස්වාධීන අධිකාරීත්වය අඩාල කරන්නකි.

ක්‍රීඩා සංගම් හා සම්මේලන කෙරෙහි ස්වාධීන පරීක්ෂණ ව්‍යුහයක් නොමැතිවීම වගකීම් සහිත පාලනයකට මහත් බාධාවකි. එමෙන්ම නිතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින දුර්වලතා විසින් ද මෙකි සංගම් හා සම්මේලනවල වගකීම් විරහිත ක්‍රියා තවත් ශක්තිමත්වේ. මෙරට ක්‍රීඩා දූෂණ වළකාලීමට නීති තිබුණද, ඒවා ක්‍රියාත්මක කිරීම පවතින්නේ ඉතා දුර්වල මට්ටමකය. නඩු විමර්ශන හා අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාද වීම නිසා නීතිය ක්‍රියාත්මක වීම ගැන විශ්වාසය බිඳ වැටි ඇත.

සම්මේලනවල තීරණ ගන්නා ප්‍රධානින් බොහෝ විට තමන්ගේ වගකීම හෝ සැලකිල්ල මුළුමනින්ම නොදක්වයි. එය පක්ෂපාතී ක්‍රියාකාරකම් සහ අරමුදල් අනිසි ලෙස භාවිතා වීම සඳහා ඉඩ සලසන ප්‍රධාන හේතුවක් වේ. මේවායේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විශ්වාසයෙන් හා විනිවිදභාවයෙන් තොරව සිදුවනු බොහෝවිට දැකගත හැකය. එමෙන්ම ක්‍රීඩාවේ වංචා දුෂණ හෙළිදරව් කරන්නන්ට නිසි ආරක්ෂාවක් නොලැබීම නිසා ඔවුහු යහපත් වෙනසකට එකඟ වුවද, අවදානමක් දරාගෙන ඉදිරිපත්වීමට මැලිවෙති.

ඉන්දියාව,පර්සියාව,අරාබිය හා යුරෝපය වැනි එකිනෙකට වෙනස් සංස්කෘතීන් හරහා පැමිණි චෙස් මොළය වෙහෙසා කරන ක්‍රීඩාවක් ලෙස ලෝ පුරා ප්‍රකටය.
ක්‍රිස්තු වර්ෂය ආරම්භයේ චතුරංග නමින් ඉන්දියාවේ පරසිදුව තිබු ක්‍රීඩාව චෙස්නමින් අද පවතින තත්වයට පත්වන්නේ ක්‍රිස්තු වර්ෂ 1000 දී පමණ යුරෝපාකරයේදීය. පර්සියානු හා අරාබි ක්‍රමයට වෙනස් කර තිබු ඉත්තන් පවා යුරෝපයට සරිලන අයුරින් සකස් වෙමින් චෙස් ක්‍රීඩාව අධ්‍යාපනයේ කොටසක් ලෙස සියලු දෙනා අතර පැතිරිණි.

නුතන චෙස් ක්‍රීඩාව ලංකාවේ ප්‍රචලිත වන්නේ යුරෝපියන්ගෙනි. අද වන විට පාසැල් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් මෙරට චෙස් ක්‍රීඩාව වර්ධනය වී තිබේ.

පාසැල් චෙස් සංගමයට උසාවි වාරණයක්
මේ අතර පාසැල් චෙස් සංගමයේ වගකීම් විරහිත ක්‍රියා කලාපයක් අධිකරණ නියෝගයක් මගින් හෙළිදරව් විමත් සමගින් යළිත් චෙස් ක්‍රීඩාව කතාබහක් ගොඩනැගිණි. තමන්ට රිසි සේ ඉත්තෝ අඳින පාසැල් චෙස් සම්මේලනයට පනවා ඇති අධිකරණ නියෝග මග හරින බවට චෝදනා නැගෙන්නේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගෙනි.
ජාත්‍යන්තර වශයෙන් පවා චෙස් තරඟාවලි පවත්වන ක්‍රමවේදය වන්නේ 13 න් පහල 15 න් පහල වැනි ඔත්තේ සංඛ්‍යාවන්ගෙන් යුත් වයස් කාණ්ඩයන් අනුවය. එහෙත් 2024 දක්වා පැවති පාසැල් කේවල චෙස් තරඟාවලියේ වයස් කාණ්ඩ හදිසියේ වෙනස් කරමින් 12 න් පහල 14 න් පහළ ලෙස තරඟ කැඳවන ලැබුවේ පාසැල් චෙස් සම්මේලනය මගිනි.

මින් අපහසුතාවට පත් පාසැල් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් විසින් අධිකරණය වෙත ගියේය. කේවල තරගාවලියේ කලාප තරග පැවැත්වීම නිසි ක්‍රමවේද භාවිත කොට පාසල් වෙත සන්නිවේදනය නොකිරීම සහ වට්ස්සැප් පණිවිඩ වලින් අවිධිමත් ලෙස දැනුවත් කළ කේවල තරගාවලිය සඳහා ලියාපදිංචිය සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා නොදීම යන චෝදනා වයස් කාණ්ඩ වෙනස් කිරීමට අමතරව ගොනු කර තිබිණි. නුගේගොඩ අධිකරණයේ අතිරේක දිසා විනිසුරු ලිලාන් වරුසවිතාන විසින් තරඟ වාරණය ලබා දී ඇත්තේ වයස් කාණ්ඩ වෙනස් කිරිමට එරෙහිවය. පෙර පැවති අයුරින් තරඟාවලිය පැවැත්විමේ අවස්ථාව පාසැල් චෙස් සංගමයට හිමිය. නමුත් ඔවුන් එය කල්මරමින් සිටින්නේ දෙමාපියන්ගේ පළි ගැනීමේ චේතනාවෙන් යුතුව බව නිසැකය.

අධිකරණ ක්‍රියා මාර්ගයකින් තොරව මෙම ගැටළුව විසඳා ගැනීමේ අවස්ථාව මග හැරුනේ ද පාසැල් චෙස් සංගමයේ නොසැලකිලිමත් කම හා අන් මතයන්ට ගරු නොකිරීම නිසා බව දෙමාපියෝ අවධාරනය කරති. ඔවුන් සිය විරෝධය මුලින්ම ලිඛිතව දන්වා සිටියේ පාසැල් චෙස් සංගමයේ බලධාරීන් වෙතය. අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ක්‍රීඩා අමාත්‍යාංශයටත්, ශ්‍රී ලංකා චෙස් සම්මේලනයටත්, මානව හිමිකම් කොමිසමටත් ලිඛිතව දැනුම් දුන්න ද, ප්‍රථිපල දායක නොවූ බැවින් අධිකරණ ක්‍රියා මාර්ගයකට එළඹ තිබේ.

ලංකා චෙස් දෙමාපියෝනම් සාමුහිකය මගින් පවරනු ලැබූ නඩුවට අනුව කේවල චෙස් තරඟාවලිය සඳහා වාරණය නිකුත් කරනු ලැබුවේ 2025 ජුලි 21 වැනිදා සිට අගොස්තු මස 04 වන දින දක්වා පමණි. එහෙත් අගෝස්තු මස 04 වැනිදා අධිකරණයේ පෙනී සිටි පාසල් චෙස් සංගමය තම නීතිඥවරුන් මගින් තමන්ට කරුණු දැක්වීමට යම් කාලයක් අවශ්‍ය බව පැවසීය. ඒ අනුව සැප්තැම්බර් මස 22 වැනි දින දක්වා කරුණු දැක්වීමට අවස්තාව ලැබුණි. සැප්තැම්බර් මස 21 වැනිදා අධිකරණයට පැමිණි පාසල් චෙස් සංගමය ඉල්ලා සිටියේ වාරණ ඉවත් කරන ලෙසය. ඒ අනුව සැප්තැම්බර් මස 24 දින නැවත නඩුව කැඳවා ඔක්තෝබර් මස 07 වන දින දක්වා වාරණ නියෝගය දික් කරන ලදී.

ඔක්තෝබර් මස 07 වැනි දින පැමිර්‍ණලි පාර්ශවය වන පාසැල් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියෝ තම ලිඛිත දේශන අධිකරණය වෙත භාරදුන් අතර යළි ඔක්තෝබර් මස 21 වැනිදා නඩුව කැඳවීමට නියමිතය.

දෙමාපියන් හා පාසැල් චෙස් සංගමය අතර අර්බුදය මතුවීමට තුඩු දුන් වයස් කාණ්ඩ වෙනස් කිරීමේ ක්‍රියාවලියට අධ්‍යාපන අමාත්‍යංශයේ ලිඛිත අවසරයක් ලබා දී නොමැත. ඒ සම්බන්ධයෙන් පාසැල් චෙස් සංගමය ද අමාත්‍යංශයෙන් අවසරයක් ඉල්ලා නොමැත. දෙමාපියන් විසින් තොරතුරු දැනගැනීමේ පනත අනුව කළ විමසුමක දී මේ බව හෙළිදරව් වී තිබේ.

පාසල් සංගමය වගකීම් විරහිතව කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බව ලංකා චෙස් දෙමාපියෝ සාමුහිකය පෙන්වා දෙයි. 2025 ලෝක පාසල් චෙස් තරගාවලිය සඳහා පැවැත් වූ විශේෂ තරගාවලියේ පළමු දිනය රත්නපුරයේදී පැවැත්වෙන බවට දන්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැඳවනු ලැබුණි. එම විශේෂ තේරීම් තරඟාවලියට ඒ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොලැබූ තිබු බැවින්, තරගාවලිය පැවැත්වීමට නියමිත දිනට කලින් දින රාත්‍රී 11. 53 ට වට්ස්ඇප් පර්‍ණවුඩයක් යොමු කරමින් කියා සිටියේ අමාතංශයේ අනුමැතිය නොලැබී ඇති බැවින් තේරීම් තරඟ නොපවත්වන බවය. ඒ වනවිටත් රත්නපුරයට පැමිර්‍ණ පිරිස් විශාල අපහසුතාවයකට පත්වෙමින් ඔවුන්ට සිදු වුයේ වැය වූ මුදල් වල අලාභය දරා ගැනීමටය.

මේ අතර 2024 අන්තර් පාසල් කණ්ඩායම් තරගාවලියේ පළාත් තරග නොපවත්වා ඍජු අවසන් තරගාවලියක් පැවැත්වීම පාසැල් චෙස් සංගමයේ තවත් වගකීම් විරහිත ක්‍රියාවක් බවට ලංකා චෙස් දෙමාපියෝ පවසති. මේ තත්ත්වය නිසා පළාත් තරග ජයග්‍රහණය කළ ජයග්‍රාහි කණ්ඩායම් සඳහා ලබා ගැනීමට හැකියාව තිබූ පළාත් මට්ටමේ ජයග්‍රහණ සහතික පත්‍ර 1890 ක් (එක වයස් කාණ්ඩයකින් කණ්ඩායමකට 07 × ස්ථාන 03 කට × බාලක බාලික × වයස් කාණ්ඩ 05 ක් × පළාත් 09) සහ එක වයස් කාණ්ඩයකට අවම වශයෙන් පළාත් මට්ටමේ පලිහ ත්‍යාග 630 ක් (එක වයස් කාණ්ඩායකට අවම 07 බැගින් × 2 (බාලක බාලකා) × 5 (වයස් කාණ්ඩ 05 × 09 ( පළාත් 09) අහිමි කිරීමකි.
අධ්‍යාපන අමාත්‍යංශය නිහඬයි
2024 දක්වා තරග පැවැත්වූ වයස් කාණ්ඩ යටතේ කේවල තරගාවලිය පැවැත්වීමට වාරණයක් හෝ බාධාවක් නොමැත. තරග වාරණය ලබා ගෙන ඇත්තේ නිසි ක්‍රම වේද භාවිත නොකට වයස් කාණ්ඩ වෙනස් කිරීමට එරෙහිවය. එබැවින්, 2025 ආසියානු පාසල් චෙස් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ විශේෂ තරඟාවලියට හෝ පාසැල් චෙස් කණ්ඩායම් තරඟාවලි වලට හෝ ජාත්‍යන්තර චෙස් තරඟ වලට සහභාගිවීමේ කිසිදු බාධාවක් නොමැත.

වයස් කාණ්ඩ වෙනස් කිරීම ගැන වරක් චෙස් සම්මේලන සභාපතිවරයා, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපතිනිය ඉදිරියේ කියා සිටියේ පාසල් චෙස් සංගමය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරනු ලබන අන්තර්ජාතික චෙස් තරගාවලි දෙක වන ආසියානු සහ ලෝක පාසල් චෙස් තරගාවලි වල වයස් කාණ්ඩ හිතාමතා සඟවමින් බවට දෙමාපියෝ පවසති. ඔහු එහිදී සත්‍ය කරුණු වසන් කරමින් චෙස් සම්මේලනය විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා යවනු ලබන වෙනත් තරගාවලි සම්බන්ධයෙන් කරුණු දක්වමින් තේරීම් කමිටුව නොමග යැවීමට උත්සාහ කර ඇත.

එයට නැවතත් සවිස්තරාත්මක කරුණු පැහැදිළිකිරීමක් පාසැල් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විසින් ලිඛිතව ඉදිරිපත් කර තිබේ. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සමග සාකච්ඡාවක් සඳහා දෙමාපියන් කැඳවා තිබුනේ ඉන් අනතුරුවය. එහෙත් ඊට පාසල් චෙස් සංගමයේ කිසිඳු නියෝජිතයෙක් සහභාගී නොවූ අතර, ශ්‍රී ලංකා චෙස් සම්මේලන සභාපතිවරයා පමණක් පැමිණ නැවතත් සිය අභිමතය ප්‍රකාශ කළේය. ඔහු විසින් ගෙන හැර දැක්වූ තොරතුරු වල ව්‍යාජ බව දෙමාපියෝ මනාව පැහැදිලි කළේ තේරීම් කමිටු සභාපතිනිය ඇතූලු කමිටු සාමාජිකයන් අභිමුවය.

ලංකා චෙස් දෙමාපියෝ සාමුහිකය පවසන්නේ පාසැල් චෙස් සංගමයේ මෙවැනි වගකීම් රහිත, අක්‍රමිකතා ක්‍රියාවන් පිලිබදව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ බලධාරීන්ට කිහිපවිටක්ම ලිඛිතව දැනුම් දුන්නද, මෙතෙක් කිසිදු විසදුමක් ලබා දීමට ක්‍රියාකර නොමැති බවය.

More From Author

නොපතමි රති සුව නුඹෙනා …

ඇතැම් ඇදහිලි සම්ප්‍රදායයන් සහ නවීන විද්‍යාව

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348