මාඕ ගේ 49 වැනි මරණ අනුස්මරණය

දයාපාල තිරාණගම:

හැඳින්වීම

1893 දෙසැම්බර් මස 26 දින උපත ලැබූ මාඕ අවුරුදු 83 ක් ආයු වළඳා , 1976 සැප්තම්බර් මස 09 දිනට අභාවාප්‍රප්තව වසර 49 ක් වෙයි.ඔහු මිය ගිය පුවත අපට කම්පනයක් මෙන්ම හිස් බවක් ගෙන් දුන් අතරම ඒ අවාස්ථාවේ කැලණියේ ජිම් කැන්ටිමේ මේසයක් මත නැගී සිසු සිසුවියන්ට එය දැනුම් දුන් බව මට තවමත් මතකය.

වෘතියෙන් පාසල් ගුරුවරයෙකු වූ මාඕ සුවිසල් දේශපාලන චරිතයක් වුවා පමණක් නොව එවකට ලෝකයේ වැඩිම ජනතාවක් ජිවත් වූ ජනතාවක් විප්ලවය ජයග්‍රහණය කිරීමට මෙහෙයවමින් චීන ජනධිපතිවරයා වශයෙන් දුප්පත්කමින් පෙළුන ජනතාවගේ ජීවන තත්වය ඉහල දමමින් ඔවුන් දුප්පත් කමින් ගැලව ගැනීමට පදනම දැමිය. මේ කෙටි සටහන ඔහුගේ යුග නිර්මානාත්මක කාර්යභාරයට කිසිසේත්ම සාධාරණය ඉටු කල නොහැකි වුවද එවන් මිනිසෙකුගේ මරණය අනුස්මරණය පිණිස වචන කිහිපයක් ලිවීම ගැඹුරු මනුෂ්ත්වයක කෘතවේදී බව සිහි කරන කාර්යක් ලෙස සලකමි.

පසු ගිය සිය වස විප්ලවයන්ගේ සියවස වීමට ලෙනින් සහ ඔක්තෝබර් විප්ලවය බල පෑ බව ප්‍රකශ කල හැකි වා සේම මාඕ සහ චීන විප්ලවය ඒ බල පෑම සමාප්තත්වයකට කිරීමට හේතු වූ බව මාඕ ගේ බලපෑම ගැන මෙනෙහි කරන විට නිශ්චිතව කිව හැකිය.කෙසේ වුවද ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ මෙන්ම විප්ලවාදී ව්‍යාපාරයන් කොතරම් දුරට ඔහුගේ න්‍යාය කෙසේ අවබෝධකර ගත්තේද යන්න ගැන අපට නිශ්චිත ලෙස යමක් කිව නොහැකිය.එයට හේතුව මාඕ වාදය පිළිබඳව පවතින ගැටළු නිසාම නොව ඒ ඒ රටවල පවතින සමාජ නිර්මාණයන් පැහැදිලි ලෙස සහ නිවැරදිව විග්‍රහ කර ගැනීම විප්ලවාදී කණ්ඩායම් වල මෙන්ම පක්ෂයන් සහ පුද්ගලයන් මුහුණ පාන දේශපාලන ගැටලුවක්ද වෙයි.

චීනයේ සමාජ නිර්මාණය

විප්ලවයට පෙරාතුව චීන සමාජය විග්‍රහ කිරීම චීන විප්ලවය ජයග්‍රහණය කිරීමේ ප්‍රමුඛ කාර්යක් විය.අප බොහෝ දෙනෙක් දන්නා පරිදි චීන සමාජ නිර්මාණය මාවෝ
විසින් විග්‍රහ කරනු ලැබුවේ අර්ධ -රදල අර්ධ- විජිත සමාජයක් ලෙසයි.විදේශීය අධිරාජ්‍යවාදය,අභ්‍යන්තරව පැවති යුධවාදී ඉඩම් හිමිකාරත්වය ,ඉඩම් හිමි පංතියේ පීඩනය සමග බහු ජනතාව විශේෂයෙන්ම ගොවියන් බරපතල සුරා කෑමට භාජනය වෙමින් සිටියහ.බහු ජනතාව වශයෙන් මාඕ අදහස් කරනු ලැබුවේ ගොවියන් සහ වැඩකරන ජනතාවයි.ඔව්හු විප්ලවාදී බලවේගයන් වූ අතර පවතින ක්‍රමය පෙරලා දැමීම ඔවුන්ගේ මැදිහත් වීම ඒ සඳහා අවශ්‍ය බව මාඕ ප්‍රකාශ කර සිටියේය.

“ප්‍රතිවිරෝධය ගැන” (1937) කෘතියේ,මාඕ චීන විප්ලවයේ ගමන් මාර්ගය ගැන පැහැදිලි කරමින් චීන සමාජයේ ප්‍රතිවිරෝධයන් ජනතාවට පක්ෂව විසඳා ගැනීම ගැන මෙසේ කියයි.”චීනය දෙස බලන්න.චීන ජනතාව පීඩාවට පත් කරමින් චීනය අර්ධ විජිතයක් බවට පත් කරමින් චීනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය වී ඇත්තේ අධිරාජ්‍යවාදය වන අතර මෙ මගින් චීනය ස්වාධීන රටක සිට අර්ධ විජිත රටක් දක්වා වෙනස් කොට ඇත.නමුත් මේ තත්වයන් අනිවාර්ය ලෙසම වෙනස් වෙනවා ඇත.

දෙපාර්ශවය අතර අරගලයේදී නිර්ධන පංතියේ නායකත්වය යටතේ චීන ජනතාවගේ බලය වර්ධනය වෙමින් අනිවාරණිය ලෙසම චීනය අර්ධ විජිතයක සිට ස්වාධීන බවට පත් වනු ඇති අතර ම අධිරාජ්‍යාවාදය පෙරලා දමා පැරණි චීනය නව චීනයක් බවට පත් වීම මග හැරිය නොහැකි වනු ඇත.” චීන විප්ලවය 1949 දී ජයග්‍රහණය කරමින් හරියටම සිදු වුයේ මාඕ පැහැදිලි කල දේශපාලන පරිවර්තනයයි.

1937 දී චීන විප්ලවයේ ගමන් මාර්ගය ගැන සඳහන් කරමින් මාඕ විසින් දශක දෙකකටත් වැඩි කාලයකදී නිශ්චිත ලෙස කල දේශපාලන පුරෝකථනය පෙන්නුම් කරන්නේ චීන සමාජය වෙනස් කිරීමේදී ඔහු විසින් ප්‍රගුණ කර ගෙන තිබු දේශපාලන ප්‍රඥාවයි.

ගරිල්ලා යුද්ධය

මාඕ ‘ගරිල්ලා යුද්ධය ගැන’ තම කෘතියේ “යුද්ධය ගැන” (On War)කෘතියේ ක්ලවුස්විට්ස් ගේ කියමනක් මෙසේ ගෙන හැර පායි “සෑම කාල පරිච්චේදයකම යුද්ධයන් ස්වාධීන ආකාරයන් සහ ස්වාධීන වූ තත්වයන් උරුමකර ගනී. එමනිසා සෑම කාල පරිචේදයකම යුද්ධය පිලිබඳ ස්වාධීන න්‍යායක් තිබිය යුතුය” මාඕ ඒ සමගම ලෙනින්ගේ ‘ගරිල්ලා සංග්‍රාමය ගැන’ රචනාවේ මේ ප්‍රකාශය ගෙන හැර පායි. “සටන් ආකාරයන් ගැන සැලකීමේදී, පරිසරයේ තත්වයන් ,ආර්ථික ප්‍රගතියේ තත්වය,එයින් ගතහැකි දේශපාලන අදහස් උදහස්,ජාතික ලක්ෂණයන්,චාරිත්‍ර වාරිත්‍ර, සහ සභ්‍යත්වයේ අවධිය සොයා ගැනීම පිණිස ඉතිහාසය ගවේෂණය කිරීම කොන්දේසි විරහිත අවශ්‍යතාවයක් වෙයි.

මේ ප්‍රකාශයන් දෙකින්ම මාඕ පෙන්වීමට උත්සාහ කරන්නේ ගරිල්ලා යුද්ධය මාක්ස් ලෙනින්වාදයේ අඛණ්ඩතාවය සමග බද්ධවන බවයි. ජපන් අධිරාජ්‍යවාදය වැනි ප්‍රබල සතුරෙකුට එරෙහිව එවකට පසුගාමී රටක් වූ චීනයට ආක්‍රමණික හමුදාවක් පරාජය කිරීමට වෙන සටන් ආකාරයක් නොමැති බව මාඕ පෙන්වා දුනි.

මාඕ ‘ගරිල්ලා යුද්ධය ගැන’ ලියු ඔහුගේ සම්භාවනිය කෘතියෙහි මෙසේ තර්ක කරයි. “ගරිල්ලා භටයන්ට සතුරාගේ පසුමුනෙහි දිගු කලක් පවතින්නට නොහැකි බව බොහෝ දෙනෙක් සිතති. එබඳු වූ විශ්වාසයකින් එලි දරව්වන්නේ ජනතාව සහ ගරිල්ලවරු අතර පැවතිය යුතු සම්බන්ධතාවය ගැන අවබෝධයක් නැති වීමයි. ජනතාව ජලයත්, ගරිල්ලවරුන් එහි ජිවත්වන මාළුනුත් වැනිය.මේ දෙපිරසට එකට පැවතිය නොහැකි බව කියන්නේ කෙසේද” යන මාඕගේ ප්‍රසිද්ධ උපමාව මෙහිදී ගෙනහැර පෑම සුදුසු බව සිතමි. මාඕ තව දුරටත් කියන්නේ “ජනතාව තම සතුරන් කර ගන්නේ අවිනීත වූ භටයන් වන අතර ඔවුන්ට ජලය නැති මාළුන් මෙන් පැවතිය නොහැකි වෙයි”ජනතාව අතර මිත්‍රශීලි සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ නොමැතිව ඔවුන් අව්යාජලෙසම ජනතා වුවමනාවන් නියෝජනය කරන බව ජනතාවට ඒත්තු ගැන්වීමකින් තොරව විප්ලවාදින්ට පැවතිය නොහැකි බව මෙයින් හොඳින් පෙන්වා දෙයි.

දිගු පාගමන

මාඕ විසින් දේශපාලන සහ යුධමය නායකත්වය සැපයු “දිගු පාගමන”(1934-1936) (Long March) නමින් පසුව ප්‍රසිද්ධියට පත් වූ සටන් පුරාවෘත්තය යුද්ධමය පසු බැසීමකි.
‘ජියන්ක්ෂි’ නම් ගරිල්ලා කඳවුරේ සිට යනැන් දක්වා චියන් කායි ෂෙක් ගේ හමුදාවන්ගේ ප්‍රහාරයන් ගෙන් බේරීම පිණිස සැතපුම් 6000 දුර අලුත් බලකඳවුරක් පිහිටුවීම සඳහා කල පසු බැසීමකි.අතිශයින් දුෂ්කර සහ අධික සංඛ්‍යාවක් භටපිරිස විනාශ වුවද මේ ගමන මාඕ ගේ අධිකාරිත්වය තහවුරු කල අතර මින් අවසානයේ දිවිගලවා බේරුන සහෝදරවරු අතර දැඩි සහෝදරත්වයක් සහ ඒකග්‍රතාවයක් ඇති කිරීමට සමත් වුවා පමණක් නොව ඔව්හු චීන විප්ලවය අවසානයේ ජයග්‍රහණය කිරීමට පාදක වුහ.මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රතිවර්ථනය සහ පුරාවෘතය පිළිබද සංකේතනිය සිද්ධියක් විය.

මාඕ ගේ බල පෑම

මාඕ විසින් ලතින් ඇමරිකාවට කල බල පෑම අතිශයින් ම කැපී පෙනෙන දෙයකි.මෙය බොහෝ ලෙස පෙනී යන්නේ කියුබාව සහ චේ ගුවේරා ගැන අධයනයකදීය.
මාඕ ගේ ගරිල්ලා උපක්‍රම 1959 දී කියුබානු විප්ලවයේ ජයග්‍රහණය කිරීම සඳහා චේ ගුවේරා වර්ධනය ගරිල්ලා න්‍යායට බොහෝ සෙයින් බල පානු ලැබිණ. විශේෂයෙන්ම මාඕ සහ චේ යන දෙදෙනාම ගොවියන් ගේ විප්ලවීය නැගී සිටීමේ හැකියාව ගැන විශ්වාස කළහ. සම්භාවනීය මාක්ස්වාදය නාගරික නිර්ධන පංතියේ විප්ලවදිවාදී විභවය ගැන විශ්වාස කලද විප්ලවය ඌන සංවර්ධිත ග්‍රාමීය ප්‍රදේශවල ආරම්භ කල හැකිබව ඔව්හු විශ්වාස කළහ.මාඕ ගේ සුප්‍රසිද්ධ ගරිල්ලා උපක්‍රමයන් වුයේ “සතුරා ඉදිරියට එන විට අපි පසු බසිමු;සතුරා කඳවුරු බඳින විට අපි නොකඩවා පහර දෙන්නෙමු;සතුරා වෙහෙසට පත් වූ විට අපි පහර දෙන්නෙමු;සතුරා පසු බසින විට අපි ලුහු බැඳ යන්නෙමු. මේ උපක්‍රම චේ ගේ අධ්‍යනය සඳහා පදනම් ආකෘතියක් සපයනු ලැබිය.මාඕ සහ චේ යන දෙදෙනාම විප්ලවාදී භට පිරිස් සහ අනෙක් ක්‍රියාකාරීන් පෙළඹ වීම පිණිස සදාචාරමය ප්‍රතිලාභයන් මිස ද්‍රව්‍යමය ප්‍රතිලාභයන් යොදා ගත්තේ නැත. මේ ප්‍රවේශය නව සමාජවාදී සමාජයක් ගොඩ නැගීම සඳහා සහ වටිනාකම් සහ ආකල්පයන් හැඩ ගැස්වීමට කේන්ද්‍රීය වෙයි.

මාඕ වාදයේ බලපෑම ලැබූ ලතින් ඇමරිකාවේ වැදගත් ගරිල්ලා ව්‍යාපාරයක් වුයේ “දිදුලන මාවත” (Shining Path) නම් ගරිල්ලා සංවිධානයයි. මෙය “සභාපති ගොන්සාලෝ” (Chairman Gonzalo) නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මැනුවෙල් ගුස්මන් ගේ නායකත්වයෙන් පිහිට පේරු කොමියුනිස්ට් පක්ෂයේ සන්නද්ධ අංශය විය. දිළිඳු කෘෂි කාර්මික රටක් වූ පේරු හි ග්‍රාමීය ප්‍රදේශවල වල ඉතාමත් දෘඩ ගරිල්ලා ව්‍යාපාරයක් ඔවුන් ගෙන ගියද ආණ්ඩුව ප්‍රහාරයන්ට මුහුණ දීමට නොහැකි විය.ඔවුන්ගේ අසාර්ථකත්වය හේතු වුයේ ඔව්හු ජනතාවත් සමග සම්බන්ධතාවයක් නොමැතිව හුදකලා වීමයි. මාඕ පැහැදිලි කල පරිදි මාළුන්ට ජලය මෙන් ගරිල්ලනට ජනතාව නම් ජලයේ පැවතිය හැකි තත්වයක් ඔවුන් උදාකර ගත්තේ නැත.එහි නායකයා වූ අයකුචා විශ්ව විද්‍යාලයේ දර්ශනය පිලිබඳ මහාචාර්ය වරයෙකු සිටි මැනුවෙල් ගුස්මන් 1992 දී අල්ලා ගැනීමෙන් පසුව (1992 .09.11) වයස 86 දී බන්ධනාගාරයේදී සිර දඬුවම් විදිමින් සිටියදී මිය(11.11.2021) ගියේය. ඔහු අල්ලා ගැනීමත් සමගම Shining Path ගරිල්ලා ව්‍යාපාරය අභාවයට ගියේය.

සභාපති ගොන්සාලෝ-Chairman Gonzalo

අනික් ලතින් ඇමරිකානු උදාහරණය වන්නේ සැන්දිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණට (FSLN) මාඕගේ ‘ජනතා යුද්ධය’ පිළිබද න්‍යායේ බල පෑමයි.සැන්දිනිස්ටා ව්‍යාපාරය එහි නායකයාගේ ඝාතනයෙන්(1976) පසුව කණ්ඩායම් තුනකට කදී ගිය අතර එක කණ්ඩායමක් ‘මාඕගේ දික්ගැස්සුන ගරිල්ලා යුද්ධය’ පිළිගනු ලැබිණ.

ඩැනියෙල් ඔටෙගා -Daniel Ortega

සන්දිනිස්ටා ජාතික විමුක්ති පෙරමුණේ එක කණ්ඩායමක් වූ නිර්ධන පන්ති ප්‍රවනතාවය(Tendencia Peoletaria) මාක්ස් ලෙනින්වාදී ප්‍රවේශයක් සහිත කණ්ඩයමක් වූ අතර ග්‍රාමීය ගොවි ජනතාව දිගස්සුන ගරිල්ලා යුධයකට සංවිධානය කල යුතු බව කියා සිටියේය.කෙසේ වුවද,නාගරික ගරිල්ලා සටන් ගැන විශ්වාස කල ඩැනියෙල් ඔටෙගා ගේ කණ්ඩායම නිකරගුවනු විප්ලවය ජයග්‍රහණය කර ගෙන ගියහ

මාඕවාදයේ ආසියානු බලපෑම

මාඕ වාදයේ විශාල බලපෑමක් කරනු ලැබුවේ ආසියාවේ විශේෂයෙන්ම ඉන්දු චීනයේ වියට්නාමය සහ කාම්බෝජය්ටය.කාම්බෝජයේ මාඕවාදී බලපෑම සහ කෙමරුජ් ගරිල්ලන් එය අවබෝධකරගත් ආකාරය සහ ඔවුන්ගේ භාවිතාව අතිශයින්ම මිනිස් ඛේධවාචයකින් අවසන් වූ බව අපි දනිමු.ප්‍රංශ අධිරාජ්‍යවාදීන්ට සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කල ජාතික යුද්ධයේදී හෝචිමිං විසින් මාඕ ගේ ගරිල්ලා යුද්ධ උපක්‍රමයන් යොදා ගනු ලැබිණ.එසේම පිලිපීනයේ ‘නව ජනතා හමුදාව’මාඕ ගේ ගරිල්ලා උපක්‍රමයන් යොදාගනු ලැබිණ.නව ජාතික හමුදාව මාකෝස් ගේ පලන කාලය තුල පාලන බලය ලබා ගැනීමේ ආසන්නයට පැමිණ සිටියද දේශපාලන සහ යුධමය වශයෙන් ගිය සියවසේ අග වන විට පරාජය ට පත් විය.

1960 ගණන් වල ඉන්දියාවේ බටහිර බෙංගාලයේ නක්සක්ල්බාරි හි පැන නැගුන නැක්සලයිට් ව්‍යාපාරය මාඕ වාදයේ බල පෑම ලැබූ සන්නද්ධ ව්‍යාපාරයක් විය.ඔවුන් උත්සහ කලේ චීන විප්ලවය ප්‍රති නිර්මාණය කිරීමටයි.මෙය ගරිල්ලා උපක්‍රමයන් යොදා ගනිමින් රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කරනු ලැබිණ.

මාඕ වාදය ලංකාවට කල බල පෑම

1962 දී සංශෝධනවාදය සහ විප්ලවීය මාක්ස්වාදය අතර චීනය සහ රුසියාව දෙකට බෙදී කල විවාදය නිසා ලංකවේ කොමියුනිස්ට් පක්ෂය දෙකඩ විය.මේ දෙකඩ වීම නිසා මොස්කව් හිතවාදී සහ චීන පක්ෂයන් දෙකක් බිහි විය.නමුත් එසේ දෙකඩ වී වසර 5 ක් විතර ගත වන විට චීන හිතවාදී කොමියුනිස්ට් පක්ෂයෙන් පුද්ගලයන් සහ කණ්ඩායම් කැඩෙමින් කුඩා සංවිධාන සහ ව්‍යාපාරයන් බිහි වීමට පටන් ගති.මේ හැම කණ්ඩායමකටම පාහේ දැඩි මාඕ වාදී බලපෑමක් තිබුණි.සුමිත් දෙවිනුවර,නිහාල් ඩයස්.ගාමිණී යාපාගේ පෙරදිගසුළඟ ,කල්‍යානන්ද තිරාණගම ගේ ගිනි පුපුරා සහ රෝහණ විජේවීර එම පුද්ගලයන් ලෙස නම් කල හැකිය.

රෝහණ විජේවීර හැර අනික් සියලුම පුද්ගලයන් සහ ව්‍යාපාර බොහෝ දුරට ලංකාව අර්ධ විජිත සහ අර්ධ රදල සමාජ නිර්මාණයක් බව ප්‍රකාශ කරමින් වැරදි දේශපලන සහ න්‍යායික අර්ථ කතනයක් දෙනු ලැබිණ.පසුව රෝහණ විජේවීර ලංකාව ධනපති රටක් බවත් අපේ රටේ මුලික ප්‍රති විරෝධය ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර බව පෙන්වාදෙමින් ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ධනපති පක්ෂ දෙකක් බවට ප්‍රකශ කරමින් නිවරදි ස්ථාවරයක් ඉදිරිපත් කරනු ලැබුණි. 1960 දශකයේ මැද භාගයේ බොහෝ කණඩායම් විනාශ වීමට හේතු වුයේ සහ අසාර්ථක වුයේ මේ වැරදි විග්‍රහය නිසා බව ප්‍රකශ කල යුතුය.

අවසානය

මාඕ වාදය වර්තමාන කාල පරිච්චේදය තුල බලපාන ආකාරය ගැන දේශපාලන පක්ෂ සහ සංවිධාන යම් කිසි තක්සේරුවක් කල යුත්තේ සැම රටකම දේශපාලනයේ ගතිකත්වය ,සමාජ නිර්මාණයේ ස්වභවය සහ සමාජ පන්තීන් වල සංයුතිය සහ ඒවා හැසිරෙන ආකාරය වෙනස් වන බැවැනි. වැඩකරන ජනතාව තීරණාත්මක දේශපාලන මොහොත එලඹෙන නිමේශයකදී හැසිරෙන ආකාරය සහ ඔවුන් දේශපාලන බලයට කේවල් කිරීමට ඇති සුදානම අපට අලුත් පාඩමක් කියා දෙයි. එනමදු මාඕ වාදය විසින් ගොවින් ගොවි ජනතාව ධනේශ්වර ක්‍රමයට එරෙහිවව අවධි කිරීමේ උත්තේජකයක් මාඕ වාදය විසින් සැපයීමේ හැකියාව සහ එහි විභවය අඩුවෙන් තක්සේරු කල නොහැකිය.

මාඕ ට සුභ ගමන්!!!

දයාපාල තිරාණගම -Dayapala Thiranagama

More From Author

සියුමැලි ද ගැහැණු?

දිනෙන් දින ඉහළ යන වාහන අනතුරු වලට වගකිව යූත්තේ කවුද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348