අනුර බී. සෙනෙවිරත්න:
කෘතිය : ඇන්ටන් චෙකොෆ්ගේ
කෙටිකතා දහයක්
කර්තෘ :ආචාර්ය පාලිත ගණේවත්ත
ප්‍රකාශනය: රුසියාව ප්‍රකාශකයෝ
ආචාර්ය පාලිත ගණේවත්තයන් අපට සුවිශේෂ වෙන්නේ අදටත් ලොව විශිෂ්ටතම කෙටිකතාකරුවා ලෙස සැලකෙන රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ ජීවිතය පිළිබඳව ඔහු විධිමත් හා ගැඹුරු අධ්‍යයනයක යෙදී සිටින හෙයිනි. ඔහු මීට පෙර පළ කළ ‘ඇන්ටන් චෙකොෆ් සිය වසරකට පසු කෙටිකතා’, ‘දොස්තර චෙකොෆ්’, ‘ඇනා ගෙල පැලඳ සහ තවත් කතා’, ‘ඇන්ටන් චෙකොෆ්ගේ ලියුම්’ සහ ‘චෙකොෆ් පිළිබඳ සමකාලීනයන් ගේ සැමරුම් සටහන්’ යන කෘති ඊට නිදසුනි.විසි වසරකට වැඩි කාලයක් තිස්සේ ඔහු විසින් සිදු කරන ලද එම භාරදූර අධ්‍යයනයේ නවතම ප්‍රතිඵලය මේ වනවිට අප අත පත්ව තිබේ. ඒ, ඔහු රුසියානු මුල් බසින් සිංහලයට නගන ලද ‘ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්’ නම් ග්‍රන්ථය යි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන් ම නිර්මාණකරණයේ යෙදෙන පාලිත, ‘ඇවිත් නොරටක’, ‘මාවත අබියස’, The Road Ahead සහ A Tale from a Promised Land නමින් නවනතා හතරක්, ‘ලේ හුරු සුවඳ’, ‘තුන් පෙර නිමිති’ සහ The scent of kinship නමින් කෙටිකතා සංග්‍රහ තුනක්, ‘බොඳ වූ ලොව’ සහ ‘ඇසි පිය’ නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් සහ ‘ගුණදාස අමරසේකර සංවාද’ නමින් විවිධ විෂයය කෘතියක් මීට පෙර ප්‍රකාශයට පත්කර තිබේ.

ඔහුගේ නවතම සාහිත්‍ය ව්‍යායාමය වන ‘ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්’ ග්‍රන්ථය ගැන ඔහු දක්වන්නේ මෙවන් අදහසකි. ‘එක් බසකින් තව බසකට මෙන් ම, තම මව්බසට පරිවර්තනය කිරීම දුෂ්කර කාර්යයකි – සාහිත්‍ය නිර්මාණයක දී වචනයෙන් වචනය කෙළින්ම පරිවර්තනය කළ නොහැකි ය – වදන්වල කෝෂාර්ථය ඉක්මවා භාවික අරුත් දනවන අර්ථයට ගැලපෙන නිශ්චිත වදන් මව්බසින් සොයා ගත යුතු ය – වසර ගණනාවක් රුසියාවේ වාසය කරමින්, රුසියානු බස හොඳින් ප්‍රගුණ කළ මම රුසියානු ජනතාවගේ ජීවන රටාව හා සිතුම් පැතුම් අනුව රුසියානු බසේ වදන්වල කෝෂාර්ථ ඉක්මවන භාවිත අරුත් වටහාගන්ට සමත් වීමි – මෙය රුසියානු මුල් බසින් සිංහලයට පෙරළීමේ මහත් වාසියක් විය – මේ පොත පරිවර්තනයක් නොව අනුවාදයක් ලෙස හඳුන්වා ඇත්තේ ඒ නිසාය.’
එනිසා, අපි ද ඔහුගේ මෙම ග්‍රන්ථය පරිවර්තනයක් ලෙස නොව, අනුවාදයක් ලෙස සලකමු. ඔහුගේ මෙම අනුවාදයට චෙකොෆ්ගේ ‘වාන්කා’, ‘නිවසේ දී’, ‘ගුසෙෆ්’, ‘එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්’, ‘බිරිඳ’, ‘තණ පෙත්තා’, ‘ඉයෝනිච් වෛද්‍යවරයා’, ‘දොස්තර ගමන’, ‘සුන්දරී’ සහ ‘බල්ලා සමග ඇවිදින කාන්තාව’ යන කෙටිකතා ඇතුළත් ය.
මෙම කෙටිකතා, පෙළ ගැස්වීමේ දී චෙකොෆ්ගේ නිර්මාණ පරිණාමය ගැන පාඨකයාට කිසියම් අවබෝධයක් ලැබෙනු පිණිස අනුපිළිවෙළින් පෙළ ගැස්වීමට ආචාර්ය පාලිත ගණේවත්ත කටයුතු කර තිබීම බෙහෙවින් පැසසුම් කටයුතු ය.

මේ කතා සියල්ල මුල් රුසියානු බසින් සිංහලයට අනුවර්තනය කරන්නට තමා උපයෝගී කර ගත්තේ, 1983 සිට 1988 දක්වා කාලය තුළ ‘සෝවියට් විද්‍යා ඇකඩමිය’ මගින් පළ කරන ලද වෙළුම් 30කින් සමන්විත ‘චෙකෝෆ්ගේ එකතු කළ කෘති සංග්‍රහය’ බවත්, ඉන් පළමු වෙළුම් 18 ට චෙකෝෆ්ගේ කෙටිකතා හා නාට්‍ය ඇතුළත් වන අතර, ඉතිරි වෙළුම් 12 ට චෙකෝෆ්ගේ ලියුම් ඇතුළත් වන බවත් ඔහු සිය පෙරවදනේ සඳහන් කරයි.
විදෙස් බසකින් ලියැවුණු නිර්මාණයක මුල් කෘතියෙන් වෑහෙන රසය ම එහි පරිවර්තනය හෝ අනුවර්තනය තුළින් ද නොඅඩුව විඳින්නට නම්, එහි මුල්බසින් ම එය අනෙක් බසකට නැගීම වැදගත් වන්නේ යම් සේ ද, එකී නිර්මාණයට ප්‍රස්තුත වූ සමාජ, දේශපාලන හා සංස්කෘතික පසුබිම පිළිබඳ යම් පමණක අවබෝධයක් එම පරිවර්තනය හෝ අනුවර්තනය රසවිඳින පාඨකයා සතුවීම ඒ හා සමානව ම වැදගත් වේ. එනිසා, ආචාර්ය පාලිත ගණේවත්ත ඒ සම්බන්ධයෙන් සාවධාන වෙමින් චෙකෝෆ්ගේ කෙටිකතා නිර්මාණවලට තුඩු දුන් දහනව වන සියවසේ අග භාගයේ රුසියානු සමාජ සංස්කෘතික පසුබිම හා චෙකෝෆ්ගේ කෙටිකතා කලාව අරබයා කෙටි හැඳින්වීමක් සහිත වටිනා ප්‍රස්තාවනාවක් ඔහුගේ මේ පොතට ඇතුළත් කර තිබීම බෙහෙවින් අගය කළ යුත්තකි.
මෙහි එන ‘වාන්කා’ නම් පළමු කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1886 තරම් ඈත කාලයක ය. ඒ වනවිට ඔහු 26 වන වියේ පසු
වී ය. චෙකොෆ්ට ‘පුෂ්කින් සාහිත්‍ය ත්‍යාගය’ හිමිවෙන්නේ ඉන් වසර දෙකකට පසු එනම්, 1888 වසරේ දී ය. මෙම කෙටිකතාව ඇසුරින් විනාඩි 30 ක ධාවන කාලයකින් යුත් රූපවාහිනී නාටකයක් ඉන් බොහෝ කලකට පසුව එනම්, 1963 දී බටහිර ජර්මනියේ නිෂ්පාදනය වී ය.

චෙකොෆ්ගේ කෙටිකතා තුළින් පසුකාලීනව සිදු වූ කෙටිකතා කලාවේ ආකෘතිමය වෙනසෙහි සෙවණැලි මුල, මැද, අග සහිත සම්ප්‍රදායික කතා ශරීරයක් නොමැති ඔහුගේ මෙවැනි මුල් කාලීන කෙටිකතාවල ද යම් පමණකින් හෝ දක්නට ලැබීම විශේෂත්වයකි.
මෙහි එන ‘නිවසේ දී’ නම් වන දෙවන කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1887 වසරේ දී ය. ළමයකුගේ සහ වැඩිහිටියකුගේ මනස ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නට උත්සාහ කරන ඔහු අවසානයේ ඍජු ප්‍රකාශන ආකෘතියකට වඩා කලාත්මක ප්‍රකාශන ආකෘතියේ ඇති සුන්දරත්වය සියුම්ව පාඨකයාට පෙන්වා දෙයි.
පරිච්ඡේද පහකින් යුත් දීර්ඝ කෙටිකතාවක් වන ‘ගුසෙෆ්’ කෙටිකතාව චෙකොෆ් නිර්මාණය කරන්නේ 1890 වසරේ දී ය. එම වසරේ නොවැම්බර් මස 10 වන දින සිදුවූ ‘චෙකොෆ්ගේ ලංකා ගමන’ හා මෙම කෙටිකතාව අතර ඍජු සම්බන්ධයක් පවතී. ඒ, අටමාසයක් පුරා කිසිවක් නොලියූ, කිසිදු සාහිත්‍ය ක්‍රියාකාරකමකට අත නොගැසූ චෙකොෆ්ගේ සිත තුළ නොවැම්බර් 12 වැනි දින සන්ධ්‍යාවේ පසුගිය මාස අටක කාලය තුළ ඔහු දුටු සියලු දේ කැටිකොට ගත් සාහිත්‍ය නිර්මාණයක් පිළිසිඳ ගැනීම ය. ඒ සඳහා දායක වූයේ ලංකාව යි.
චෙකොෆ් නෞකාවේ එන අතරවාරයේ දී නැවේ දී මියයන නැවියන් රෙදිකඩෙක ඔතා මුහුදට දමන ආකාරය ඛේදාන්තයක් ලෙස ‘ගූසෙෆ්’ නමින් ලියැවුණු මෙම සාහිත්‍ය නිර්මාණය තුළ ඔහු විස්තර කරයි. ජීවිතයේ අනිත්‍යතාව සහ අපේ පැවැත්මේ වැදගැම්මකට නැතිකම පිළිබඳ අදහසක් ඔහු එයින් මතු කරන්නට උත්සාහ කරයි.
චෙකොෆ්ගේ ලංකා ගමන ගැන සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ සහ රුසියානු ලේඛකයකු වන ඇනටොලි රොඩොව් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ නිබන්ධනවලත්, ඇනටොලි රොඩොව් විසින් ප්‍රකාශිත ‘My Sri Lanka’ කෘතිය තුළත් ඇතුළත් වේ.

1892 දී චෙකොෆ් ලියන ‘එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්’ ඕනෑ ම සමාජයක පොත්පත්වලට හිමි තැන කදිමට නිරූපනය කරන කතාවකි. මෙය පොත්පත් හැරෙන්නට අනෙක් හැමදේ ම ඇති පොත් සාප්පු තිබෙන අපේ රටට ද අදාළ නොවන්නේ නොවේ.
චෙකොෆ් 1895 දී රචනා කරන ‘බිරිඳ’ නම් කෙටිකතාව 19 වන සියවසේ අගභාගයේ රුසියාවේ බිඳ වැටෙමින් තිබූ විවාහයන් පිළිබඳ සංවේදී ගවේෂණයකි.
1892 දී චෙකොෆ් රචනා කළ ‘තණ පෙත්තා’ ත්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයක් පිළිබඳව ලියැවුණ කෙටිකතාවකි. මෙය නිර්මාණය කිරීමේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳවත්, චිත්‍ර, සංගීත ඈ කලා ශිල්ප පිළිබඳවත් ඔහු සතු දැනුම සහ අවබෝධය චෙකොෆ් මැනවින් උපයෝගී කරගෙන තිබේ.

මෙහි එන ‘ඉයෝනච් වෛද්‍යවරයා’ කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1898 දී ය. ප්‍රතික්ෂේප වන විවාහ යෝජනාවක් නිසා කලකිරීමට පත්ව මුදල් හා දේපල ගොඩගසා ගැනීම තෘප්තිය කරගන්නා එහෙත්, සිතේ සැනසිල්ලක් නොමැති වෛද්‍යවරයකු වටා ඔහු මෙම කෙටිකතාව ගොඩනගා තිබේ.
‘දොස්තර ගමන’ කෙටිකතාව ද චෙකොෆ් 1898 වසරේ ම රචනා කරන ලද්දකි. විසිවන සියවස ආරම්භයේ දී රුසියාවේ පැවැති සමාජ නොසන්සුන්තාව හෙළිකරන මෙමගින් සතුට සැනසිල්ල යනු ධනය පමණක් නොවන බව පෙන්වා දෙයි.
මෙහි එන ‘සුන්දරී’ නම් කෙටිකතාව ද චෙකොෆ් රචනා කර ඇත්තේ එම වර්ෂයේ ම ය. සහජීවනය, හඳුනාගැනීම් හා සබඳතා හරහා ජීවිතයට අර්ථයක් එක්කර ගැනීම යන තේමාවන් ගවේෂණය කරන මෙම කෙටිකතාව මගින් එම සබඳතා අවසන් වූ විට හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමට ඇති හැකියාව ඉස්මතු කරයි.
මෙම කෙටිකතා සංග්‍රහයේ අවසන් කෙටිකතාව ‘බල්ලා සමග ඇවිදින කාන්තාව’ නම් චෙකොෆ්ගේ වඩාත් සුප්‍රකට කෙටිකතාව යි. 1899 වසරේ රචනා කළ මෙම කෙටිකතාව වැඩිහිටි පිරිමියකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේමය ඉතා සුක්ෂම අයුරින් විග්‍රහ කරන විශිෂ්ට නිර්මාණයකි.
මෙම කෙටිකතාව ඇසුරින් රුසියාව ඇතුළු ලොව විවිධ රටවල් සිනමාපට, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය ඈ කලා නිර්මාණ ගණනාවක් නිපදවා තිබේ.
ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ සහ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ කෙටි පසුවදන් දෙකකින් ද පාලිතගේ මෙම අනුවර්තිත කෙටිකතා සංග්‍රහය ආලෝකවත් වී තිබේ. ‘චෙකෝෆ් යනු ගද්‍යයට පිවිසි පුෂ්කින්’ යැයි වරක් ටෝල්ස්ටෝයි ප්‍රකාශ කළ වදන් සනාථ කරමින් කාව්‍යමය බස් වහරකින් චෙකොව් රචනා කළ මෙම කෙටිකතා සියල්ල එකී කාව්‍යමය බස් වහර ඒ ආකාරයෙන් ම සුරකිමින් සිංහලයට නගන්නට ආචාර්ය පාලිත ගණේවත්ත ගෙන ඇති උත්සාහය පැසසිය යුතු කරුණක් වෙන්නේ එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන හෙයිනි.
එසේ ම, මෙහි දක්නට ලැබෙන භාෂාත්මක අඩුපාඩුකම් ගැන ද අවධානය යොමු කිරීම අපගේ යුතුකමකි. වියරණ දොස් හෝ පද සංවිධානයේ සාවද්‍ය තැන් හෝ මෙහි එතරම් දක්නට නොලැබුණ ද, අක්ෂර වින්‍යාස දොස් සහ සාවද්‍ය පද බෙදීම් නම් මෙහි බහුලව දක්නට ලැබෙන බව සඳහන් කරන්නේ ලේඛක-ප්‍රකාශක දෙපාර්ශ්වයේ ම අවධානය පිණිස ය. මුද්‍රණයෙන් එළිදක්වන්නට පෙර එම සාවද්‍ය තැන් නිවැරැදි කරගත්තේ නම්, මෙම සිත්ගන්නාසුලු සාහිත්‍ය අනුවර්තනයේ වටිනාකම තවත් වැඩිවනු නොඅනුමාන ය.

අනුර බී. සෙනෙවිරත්න-Anura B.Senavirathna





