ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍යය ගැන කතා කරද්දි අපි හැමෝටම මතක් වෙන දෙයක් තමයි ටජ් මහල්. ඒත් එක්කම ශා ජහන් සහ මුම්ටාස් මහල්. හැබැයි ශා ජහාන් ගේ පාලන කාලයට කලින්, ඔහුගේ පියා, ඒ කියන්නේ ජහන්ගිර් අධිරාජ්‍යයාගේ විසිවෙනි බිරිඳ හැටියට අධිරාජ්‍යයේ බලය පතුරවපු නූර් ජහාන් කියල අධිරාජිනියක් මෝගල් අධිරාජ්‍යයේ ඉඳලා තියෙන බව මං දැනගත්තේ වසන්තා මිහිඳුකුලසූරිය මහත්මිය පරිවර්තනය කරලා තියෙන “නූර් ජහාන්” පොත කියෙව්වට පස්සෙ.

“නූර් ජහාන්” කියන්නේ ඉන්දු සුන්දරේසන් නම් ඉන්දියානු කතුවරිය ඉංග්‍රීසි බසින් රචනා කරල තියෙන “Taj Mahal Trilogy” එකේ දෙවැනි පොත, “The Feast of Roses” හි සිංහල පරිවර්තනය. පළමුවෙනි පොත තමයි “The Twentieth Wife” කියන්නේ, ඒකත් මේ වෙද්දි සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා, “මෙහෙරුනීසා” නමින්. තුන්වෙනි පොත “Shadow Princess” නම් තාම සිංහලයට නැගිලා නැහැ.

ඉතින් මං අද කියන්න යන්නේ “The Feast of Roses” කතාවේ සිංහල පරිවර්තනය, “නූර් ජහාන්” ගැන. මුලින්ම කියන්න ඕනෙ ඉන්දු සුන්දරේසන් මේ කෘති ත්‍රිත්වය රචනා කරලා තියෙන්නේ ඉතිහාසයේ සත්‍ය සිදුවීම් මත පදනම් වුණ ප්‍රබන්ධ රචනාවක් විදියට. ඒ නිසා මේ පොත කියවන එකෙන් අපිට නවකථාවක රසවින්දනය ලබන ගමන්ම නිරායාසයෙන් ඉන්දියානු ඉතිහාසයේ මෝගල් අධිරාජ්‍යය ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

අපේ අසල්වැසි ඉන්දියාවේ කතාවක් නිසා ම, මෙහි සමහර දේවල් සහ සිදුවීම් එක්ක අපිට ඉතාම සමීප බවක් දැනෙනවා. වැඩියෙන්ම දැනෙන දෙය තමයි පුරුෂාධිපත්‍යම පැවති කාලයක එයට අභියෝග කරන්න මේ නූර් ජහාන් අධිරාජිනිය ගන්නා උත්සාහයන්.

නූර් ජහාන් හෙවත් මෙහෙරුනීසා, අධිරාජිනියක් වීමට සිහින දකින්නේ ඇය ඉතාම කුඩා අවධියේදී. ඇගේ පියා එකල අධිරාජ්‍යයා වූ අක්බර්ගේ රාජ සභාවේ උසස් නිලධාරියෙක් වුව ද, රජ පවුලක දියණියක් නොවන නිසා අක්බර්ගේ පුත්‍රයා වන සලීම් කුමරු (පසු කලෙක ජහන්ගිර් අධිරාජ්‍යයා) සමග විවාහ වීමේ සිහිනය වරක් ඇයගෙන් ඈතටම ඇදී ගියත්, බලාපොරොත්තු අත්නොහරින ඇය අවසානයේ ජහන්ගිර් අධිරාජ්‍යයා සමග විවාහ වන්නේ ඔහුගේ විසිවෙනි බිරිඳ ලෙස. පියා රාජ සභාවේ උසස් නිලධාරියෙක් වීම නිසාම ඉතා හොඳ අධ්‍යාපනයක් ලබන්න වාසනාව මෙහෙරුනීසාට උදා වෙනවා. ඉන් පස්සෙ නවකතාව පුරාම අපිට කියවන්න ලැබෙන්නේ ඇය ඒ ලබපු අධ්‍යාපනයත් සහජ බුද්ධිමත් බවත් උපයෝගී කරගෙන ජහන්ගිර් ගේ ආදරය සහ විශ්වාසය දිනාගෙන රාජ්‍ය පාලනය සඳහා මැදිහත් වෙන්න තරම් බලයක් තමා වටා ගොඩනගා ගන්නා ආකාරයයි.
පුරුෂාධිපත්‍යය තුළ දැඩි ව ගිලී ගොස් තිබුණු රාජ්‍යයක එයට අභියෝග කරමින් බලය පැතිරවූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයේ දැක්වෙන්නේ නූර් ජහාන් අධිරාජිනිය යි.
කාන්තාවගේ රූපශ්‍රීය පමණක් ම අවධානයට ලක්වන, තම බලාපොරොත්තු ඉටු කරගැනීමට නම් කාන්තාවකට රූපය පමණක් ප්‍රමාණවත් බව විශ්වාස කළ, කාන්තාවන්ගේ බුද්ධිමත්භාවය ගැන කිසිදු අවධානයක් නොදුන් සමයක, රූපශ්‍රීයෙන් පමණක් නොව බුද්ධිමත්භාවයෙන් සහ ආත්ම විශ්වාසයෙන් තම ප්‍රතිවාදීන් සමග සටන් කර ජයග්‍රහණය කළ කාන්තාවකි නූර් ජහාන්.

එක් අතකින් මේ නවකථාව සුන්දර ප්‍රේම වෘතාන්තයක් කියලත් කියන්න පුලුවන්, මොකද ජහන්ගිර් අධිරාජ්‍යයා ඔහුගේ වෙනත් පතිනියන්ට වඩා ඉතාම විශේෂ ඇල්මක් මේ නූර් ජහාන් කෙරෙහි දක්වනවා. සාමාන්‍යයෙන් අධිරාජ්‍යයෙක් විවාහ වෙන්නෙ දේශපාලන කාරණා මත මිසක් ආදරය මත නෙවෙයි කියලයි කියවෙන්නෙ. ඒත් ජහන්ගිර් අධිරාජ්‍යයා මෙහෙරුනීසා ව විවාහ කර ගන්නේ කිසිම දේශපාලන කාරණාවක් මත නෙවෙයි, හුදෙක් ඇය වෙනුවෙන් ඇතිවූ අවංක ආදරය නිසා ම යි. එය ජහන්ගිර් ගේ පුතු වූ ඛුරාම් කුමරු (පසු කලෙක ශා ජහාන් රජු) ගේ ඇසින් මේ විදියට දක්වලා තියෙනවා.
“මේ ඇඟෑලුම්කම කායික ආශාවක් නොව හදවතින් ම උපන්නකි. ඛුරාම්ට එය නුහුරු නුපුරුදු හැඟීමක් වූයෙන් ඔහු තුළ චකිතයක් ඇති විය. ・・・・・සිය පියාණන් හා මෙහෙරුනිසා වෙත ඇති මේ දැඩි සෙනෙහෙවන්ත බව ඔහුට ද අවශ්‍ය විය. එහෙත් එය කුමක්ද, කෙසේ අත්පත් කර ගත හැකිද යන්න ඔහු නොදැන සිටියේ ය.”
එපමණක් නොවෙයි ජහන්ගිර් අධිරාජ්‍යයාගේ ම වචන වලින් කිව්වොත්, “ඇය විවාහ කර ගැනීමට පෙර මම විවාහය යනු කුමක් දැ යි නො දැන සිටියෙමි.” යි කියා ඔහු වරක් රාජ සභාවේ දී පවසනවා.! අධිරාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් කාන්තාවන් දහනව දෙනෙකු සමග විවාහ වී සිටි ජහන්ගිර්, තමා ආදරය කළ නිසා ම තෝරාගත් කාන්තාව යි නූර් ජහාන් හෙවත් මෙහෙරුනිසා.!
ඒ වගේම මෙහෙරුනිසා කෙරෙහි ජහන්ගිර් දක්වන ආදරය හුදෙක් ඇගේ රූපශ්‍රීය මත පමණක් පදනම් වූවක් නොවෙයි.
“මගේ සොඳුරිය, කැළැල්, ඉන්නන් පමණක් නොව, විරූපී පෙනුමකින් වුවද…. ඔබ කැමති ලෙසකට මා වෙතට එන්න, කිසි විටෙකත් මා හැරදා නොයන්න.” යි කියා ජහන්ගිර් ඇයට පවසන්නේ, දෙදෙනා අතර හටගත් ඉතා දරුණු ගැටුමකින් පසු දෙදෙනා සමාදාන වූ අවස්ථාවේ දී ගැටුම හේතුවෙන් මෙහෙරුනිසා ගේ නළලේ ඇති වී තිබූ කැළලක් දැකීමෙන් පසු ව යි. ඉතින් මේ ආදරය කිසිදු හැලහැප්පීමක් නැතිව සුමට ව ගලා ගිය ආදරයක් නම් නෙවෙ යි. හිත් බිඳීම් වරදවා වටහා ගැනීම් රාශියකට පසුවත්, නැවත පෙර තිබුණාට වඩා ශක්තිමත් ව බැඳී යන ආදරයක් තමයි එය.
ජහන්ගිර් ගේ ආදරයේ ශක්තිමත් ම පදනම වන්නේ මෙහෙරුනිසා ගේ සෘජු බව බුද්ධිමත් බව සහ ස්වාධීන බව යි.
“・・・・ඇය ඔහුගේ විවාහක භාර්‍යාව නිසා නොව,විවාහයට පෙර දාහත් වසරක් පුරා ඔහුට අවශ්‍ය ව සිටි ගැහැණිය වන හෙයිනි.” යැයි ඔහු ඇය පිළිබඳ ව සෙනෙහසින් යුතු ව නිතර සිහි කර යි.

අවසාන වශයෙන්, “නූර් ජහාන්” නවකථාව සාමාන්‍ය ප්‍රේම වෘත්තාන්තයකට එහා ගිය යමක් අප වෙත තිළිණ කර තිබෙන බව කියන්න පුළුවන්. එය බලය ලබා ගැනීම සහ පවත්වා ගැනීම ගැන කතාවක්. රූපයෙන් නොව බුද්ධිමත්භාවයෙන් සහ ආත්ම විශ්වාසයෙන් පුරුෂාධිපත්‍යයට අභියෝග කළ කාන්තාවක් ගැන කියවෙන කතාවක් වගේම තම අරමුණු දිනා ගත යුත්තේ කුමන්ත්‍රණ වලින් නොව තම හැකියාවෙන් පමණක් ම බව පාඨකයාට නැවත නැවතත් සිහිපත් කරවන කතාවක් කියලත් හඳුන්වන්න පුළුවන්.

ජනුකා එදිරිමාන්න-Januka Edirimanna





