ආචාර්ය අතුලසිරි සමරකෝන්:
ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා නිර්මාණ සංග්‍රහය, කණ්ඩෙම්කාරයෝ, සමුද්‍ර පොත් ප්‍රකාශනයක් ලෙස අප අතටපත්වී ඇත. කෘතිය පිළිගැන්වී ඇත්තේ සමාජ ක්‍රියාකාරික සහ නීතීඥ විල්සන් ජයසේකරටය. ශක්තික යනු මෙරට ඉතිහාසයේ සාහිත්‍යය නිර්මාණයක් සිදුකිරීමේ වරදට චෝදනා විරහිතව දීර්ඝතම සිර දඩුවම විඳි තරුණ නිර්මාණ කරුවාය. ප්‍රජාතාන්ත්‍රික සිවිල් සමාජයේ දේශීය සහ ගෝලීය බලපෑම හමුවේ මර්දනීය රාජ්‍ය යාන්ත්‍රණයට ඔහුගේ ජීවිතය සහ සාහිත්‍ය නැවැත්වීමට ඉඩ නොලැබීම ඔහුගේ සාහිත්‍ය අයිතිය ගරුකරන සමාජයේ හෘද සාක්ෂිය වඩාත් ප්‍රබල වූ අවස්ථාවකි.

කණ්ඩෙම්කාරයෝ ශක්තිකගේ කෙටිකතා කලාවේ නව සංවර්ධනයන් ගණනාවක්ම විදහා දක්වයි. සාහිත්‍ය පිළිබදව ඉතා දැඩි කැපවීමකින් නිර්මාණය කරන ඔහු නොනැවතී තම පෑන සේම පරිකල්පන හෘදසාක්ෂිය ද නොබියව මෙහෙයවයි. ඔහු දාර්ශනිකව පෘථුල සමාජ මනෝවිද්‍යාත්මක සහ ආර්ථික මානයක් තුළ, සමහරවිට අද අප අවට පවතින සුලබ වස්තු විෂයන් නිර්මාණාත්මකව හසුරවන අතරම ඒවා ගැඹුරු පඨිතමය විවරණයකට කැඳවයි.
කණ්ඩෙම්කාරයෝ තුළ කෙටිකතා නවයක් අන්තර්ගතවන අතර බහුතරයක්ම සමාජීය සම්මතයන්, මිත්‍යාවන්, සහ ඒ හරහා පොළාපනින ප්‍රචණ්ඩත්වය සහ බලය ගැටලුගත කරයි.
සංග්‍රහයේ හමුවන පළමු කෙටිකතාව වන “කණ්ඩෙම්කාරයෝ” හි කතා නායකයා (කතුවරයා) සාහිත්‍යමය වරදකට තමා සිරගතවී ලබාගත් අත්දැකීම් තුළින් පවතින සමාජීය ආර්ථික ව්‍යූහාත්මක සත්‍ය පරීක්ෂා කරයි. ජීවිතාන්තය තෙක් සිරදඬුවම් ලද ආර්ථිකමය ලෙස ස්වයං පෝෂිත නොවන පහළ පංතික පුද්ගලයකුගේ (අරවින්ද) බිරිඳට එම සිරගත තරුණයාගේ පියා සමග පවුල් කෑමට සිදුවීම තුළ පවතින සමාජීය නින්දාව social stigma සහ ආර්ථික පීඩනය අතර වන දයලෙක්තිකය ශක්තික සිය හෘදසාක්ෂියේ ගැටලුවක් බවට පරිකල්පන කරයි. එය පාඨක පුරවැසි අප සැමගේම හෘද සාක්ෂිය සමාජීයව පීඩිත පුරුෂ ස්ත්‍රී චරිත දෙකක් හරහා පරීක්ෂා කිරීමක් වන අතර, එහි දී සිටිය යුත්තේ ඇට මස් ලේ නහර සහිත මානව ජීවියකු වන අතර එම ජීවියා කවචගතකරමින් පවතින සදාචාරාත්මකවාදයන් සහ සම්මත ප්‍රතිමාණයන් ආර්ථිකය නැමැති ව්‍යූහය තුළ පුපුරා යන වග ඔහු පෙන්වා දෙයි.
“අරවින්දගේ බිරිය මා ගෙන ගිය සිල්ලර බඩු පුරවපු මල්ල දෝතින් ගත්තේ අහක බලාගෙන. අරවින්ද ගේ පුතාගෙ මූණ බලද්දී මට ඌව මතක් වුනා. මම කොල්ලව වඩාගත්තා. අරවින්ද ගේ තාත්තා ඇවිත් මාත් එක්ක කතා කළේ එච්චර කැමැත්තකින් නෙවේ. කතාකරපු වචන කීපය කතා කළෙත් වහලෙ දිහා බලාගෙන. ….මං ආව එකට ඔවුන් එච්චර කැමති නෑ කියලයි මට හිතුණේ. පන්දාහෙ කොළ හතරක් දාගෙන ගියපු ලියුම් කවරය පුතාගේ අතින් තියල මං එළියට බැස්සා…..”
“මහත්තයා ආයෙ මෙහෙ එන්න ඕනේ නෑ. ඒකිටයි මටයි පුතාගෙ මුණ බලන්න බෑ මහත්තය. ඒකයි අපි ඌව බලන්න යන්නැත්තේ” ඒ තාත්තාගේ දෑස් යොමුවෙලා තිබුණේ අහසට. හිරු ලෝදිය වමාරමීන් ඒ අහස අරක්ගෙන තිබුණා”
(කණ්ඩෙම් කාරයෝ, පි. 16).
දෙවන කෙටිකතාව “කසිප්පු” වස්තු බීජ කරගන්නේ ලුම්පන් ආර්ථික ස්ථරයක හමුවන චරිත කිහිපයකි. එය දරිද්‍රතාවය සහ මිත්‍යාමතිකයන් තුළ පීඩිත දරුවන් ආර්ථිකව සහ ලිංගිකව අපචාරයට ගොදූරුවන ආකාරය පිළිබඳ ප්‍රබල විවරණයකි.
“පොඩි දවස්වල දිනූකගේ කේන්දරය බලපු පන්සලේ ලොකු හාමුදුරුවෝ කීවේ කොල්ලගෙ හතර කේන්දරය පාළු නිසා පන්සලට භාර දෙන ලෙසයි.”
“මහණ වෙන්නට පෙරම රෑට රෑට ලොකු හාමුදුරුවෝ….”
” ඕකට තමයි ඕක ….උඹව පන්සලට ගෙන්න ගත්තේ”.
“දවසක් නාලා ගෙට ආපු තමන්ව පැනපු ගමන් ඉම්ඹේ පුංචි. පස්සෙ පස්සෙ තමයි තමන් පුංචිව ඉඹින්න ගත්තේ කියල දිනුකට මතකයි. ඒත් ලාල් මාමා කියන විදිහට පැමිණෙන කතන්දරයක් එතන වූයේ නැත”
(පි. 18-19)
ආර්ථික දරිද්‍රතාවය නිසා දරුවන් අපචාරයට ලක්වීමත්, ඥාතීත්වය සේම ආගමික සංස්ථාව පවා නිර්මාණය වී ඇත්තේ සූරාකෑම ලිංගිකව හෝ තීව්‍ර කිරීමට මිස පීඩිතයා ට ආදරය දැක්වීමට නොවන බව, “කසිප්පු” තුළින්, පාඨක මනස දැඩි කම්පනයකට පත්කරමින්, ශක්තික පෙන්වා දෙයි.
“ස්පා” ලෙස නම්කර ඇති කෙටිකතාවත් සමාජීය සදාචාරය සහ ආර්ථික පීඩනය යන ද්විත්ව ව්‍යූහයන් එකවර පීඩිත ස්ත්‍රීත්වය තවදුරටත් පීඩාවට පත්කරන ආකාරය පෙන්වයි. පහළ මැද පංතියේ විවාහක පිරිමියකුට තම වැඩිමහල් සොහොයුරිය “ස්පා”වක සේවය කිරීම යනු දැරිය නොහැකි විශාල සමාජ මානසික කම්පනයකි. එම තත්වය තම බිරිඳ සහ සමාජයෙන් වසං කිරීම ට කටයුතු කිරීම ම අර්බූදය තවත් තීව්‍ර කරයි
මල්ලී ගේ පවුල් ජීවිතය බේරීමට අක්කාට ගමේ ස්පා එක අතැර කොළඹට යාමට සිදුවෙයි. අක්කා මල්ලීට එවූ වට්ස්ඇප් පණිවුඩය ශක්තික අප හමුවට ගෙන එයි.
“…. මල්ලී මාව හොයාගෙන ආවට ඔයාට ගොඩාක් පිං. මට හිතුණු දවසක මම නෑනවයි, දරුවයි බලල යන්න එන්නම්. මම ලබන සතියේ ඉඳලා කොල්ලුපිටියට යනවා. මල්ලි මාව හොයාගෙන ඔයා ආයෙ මේ ස්පාවලට එන්න එපා. එක ඔයාට හොඳ නෑ. නෑනා දැන් ගත්තොත් එයා වැරදියට හිතයි”.
කණ්ඩෙම්කාරයෝ හි “තාත්තා” කෙටිකතාවේ එන වයස්ගත වැන්දඹු පියා සදාචාරවාදීය. තම පුතා, ලේලිය, සමග තමන් ද වසන නිවසට යාබදව අල්ලපු වත්තේ සෑදෙන හෝටලයට ඔහු විරුද්ධය. පංසලේ හාමුදුරුවෝ එයට විරුද්ධව ගම්මුන් සමග අරගල කළත් ඔහුට වාහනයක් පරිත්‍යාග කිරීම නිසා එම විරෝධය නතරවී හෝටලය ඉදිවෙයි. මෙම මහළු පියා පමණක් දිගටම විරෝධය දක්වයි. නමුත් පියාගේ අතාර්කික සදාචාරයේ පදනම කුමක්ද? ඔහුගේ කාමරය තුළින් උපත් පාලන කොපු හමුවීම යනු සදාචාරයට පටහැනි දෙයක්ද? නැතිනම් ඔහුම දෙසූ සදාචාරයට ඔහු ගොදුරු වීම ද?
” හෝටල් එක්ක තාත්තට තියෙන්නෙ ලොකු වෛරයක්ලු. තාත්තා, අම්මව දික්කසාද කරලා තියෙන්නෙත්…” සාලයේ මේසයේ කොනක තිබූ මාගේ ජංගම දුරකථනය නාද වන්නට පටන්ගත් නිසා කතාව නවතා දැමූ දසුනි නැගිට්ටාය . ”
(පි. 32).
පුද්ගල සදාචාරයන්, සම්මතයන්, සහ සමාජීය සම්මතයන් විසින් අපගේ පුද්ගල විෂය තුල ඇතිකරන පරාවර්තනය තුළින් හෙළිවන අන්තරාවර්තීය දේශපාලනයේ ස්වරූපයන් ශක්තික සිය කෙටි කතාවට ගැඹුරෙන් ගෙන එයි.
පස්වන කෙටිකතාව “කට උත්තර” අපට ඉදිරිපත් කරන්නේ තරුණ යුවලක් අභිරහස් ලෙස ඝාතනය වූ පසු එම සිද්ධිය හරහා ඇතිකරන සමාජීය කතිකාවේ ජනමාධ්‍ය, වර්චුවල්, සහ නෛතික මානයන් ත්‍රිත්වයයි. ජනමාධ්‍ය සත්‍ය ප්‍රතිනිර්මාණය කර වෙළඳ භාණ්ඩයක් කරයි. යුවලක් ඝාතනය වීම අභිරහසක් වීම සහ සමහරවිට පුරුෂයා බිරිඳ ඝාතනය කර සිය දිවි නසා ගැනීම යන දෙකම වාර්තාකරුවන් ගොතන සත්‍ය මිස සත්‍ය නොවේ. “සිසිල් ගිනි ගනී” සිනමා කෘතියත් මෙවැනි පුවතක් ගැඹුරින් සිනමා තිරයට ගෙනා ලෙසම ශක්තික ද සමාජය විසින්, නීතිය විසින්, සහ සමාජ මාධ්‍ය විසින් ඛේදවාචකයක් පිළිබඳ පුවත අශ්ලීල තෘප්තිය බිහිකරන කතිකාවක් බවට පත්කරන අයුරු නිර්මාණය තුළින් ගැඹුරින් විෂද කරයි.
ද්විත්ව ඝාතනයන් පිළිබඳ කට උත්තර දෙකක්ම කියන්නේ රහසිගත දුරකථන පණිවුඩ ගැනයි. සැමියාට සහ බිරිඳට යන දෙදෙනාටම විදේශවලින් ලැබුණු ඇමතුම් කට උත්තර වල හමුවෙයි. අවසන ම්ලේච්ඡ ඝාතනයන් සේම මියගිය වෛවාහික යුවළගේ පෞද්ගලිකත්වයේ සදාචාරය සමාජීයව ප්‍රතිරූපය වීම හා ඒ තුළ සත්‍ය යනු සමාජීය ලිංගික අවිඥානය හා සිදුවීම අතර පවතින දුර භාෂාත්මකව පියවීම බවත් එම භාෂාව කිසිසේත්ම විෂයාත්මක නොවන බවත් කතුවරයා සියුම්ව “කට උත්තර” සමග විදහාපායි.
මෙම කෘතියේ සයවන එළඹුම වන “ඉකි බිඳුම” යනු රාජ්‍ය පරිපාලන ව්‍යූහය හා දේශපාලකයාගේ අත්තනෝමතික බලය අතර පවතින මර්දනීය සබදතාව අතිශය මානුෂීය විවරණයකට ලක්කරන්නකි. තම ගැබ්බර බිරිඳ තනිකර දුෂ්කර සේවයට මාරුවක් ලබන පහල මට්ටමේ රාජ්‍ය සේවකයාට ඇතිවන දැඩි මානසික කම්පනයක ඉකි බිඳුම ඈත දුෂ්කර පෙදෙසක තනිවන ඔහුට දරුවකු හඩන හඩන හඩක් සේ ඇසීම සැබැවින්ම විශිෂ්ට පරිකල්පනයකි.
“ප්‍රථම වරට බිළිඳෙකුගේ ඇඩීමේ හඩ සපුමල්ට ඇසුණේ අලුත් නවාතැනට පැමිණ හත්වන දවසේයි. එය ඇසුණේ අසළ නිවසින් ය….”
“සපුමල්ට නින්ද යාගෙන එද්දීම කුඩා බිළින්ඳා අඩන ශබ්දය ඇසෙන්නට පටන්ගනී. පසූව එය ඉකිබිඳුමක් දක්වා රූපාන්තරණය වෙයි.”
(පි. 43)
“ටක්…ටක්…ටක…ටකස් ” කෙටි කතාව නැවතත් සම්ප්‍රදායික මිත්‍යාමතීන් සහ සහේතුකවාදී චින්තනය අතර පවතින ආතතිය සහ ක්ෂූද්‍ර බල දේශපාලනය විවරණය කරයි. අලුතින් විවාපත් සහ සහේතුකව දේවල් විනිශ්චය කරන යුවළකට තම සම්ප්‍රදායික විස්තෘත පවුලේ පවතින විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර හා මිත්‍යාවන් කොතරම් බලපාන්නේද? ඒවා හරහා නැවත සමාජීය මානසික පීඩාවට ඔවුන් ලක්වන බවත් එහි තේමාවයි. තම මව භූතයන්, ප්‍රේතයන් විශ්වාස කරනවා පමණක් නොව අවසන ඇයම එම චරිත නිරූපණය කරමින් තම දරුවාගේ ගෘහයට බිය කැඳවන ආකාරය CCTV කැමරාවකට පිංසිදුවන්නට ඔවුන් වටහා ගන්නා ආකාරය අතිශය උත්ප්‍රාසජනකව මෙම කතාව හරහා කතුවරයා ඉදිරිපත් කරයි.
විරැකියාව නැතිකිරීමට ආණ්ඩුව ලබාදුන් සහනයක් වන ජුකී මැෂිමක් ලබා ගැනීමට ප්‍රදේශයේ අධිපති දේශපාලකයාගේ අවසරය නොලත් තරුණියක් හා එම භාණ්ඩ බෙදීමේ යාන්ත්‍රණයට සහභාගී වූ තරුණයෙක් ස්පාවක් තුළ මුණ ගැසීම මෙම සංග්‍රහයේ අටවන කතාව වන “ජුකී” හි වස්තු බීජ යයි. ජුකී මැෂින් ඔපරේටර් වරියක් ලෙස සිය ශාරීරික ශ්‍රමය වැගිරූ ලාංකික තරුණියම සමහරවිට අද ස්පාවල ලිංගික සේවය සපයමින් සූරාකෑමට ලක්වෙයි. ශක්තිකගේ නිර්මාණ තුල වන ගැඹුරු දේශපාලන ආර්ථික මානයට මෙම කතාවද ප්‍රබල උදාහරණයකි. එසේම ස්පා පිළිබඳ පවතින මිත්‍යාව සහ කුතුහලය පිළිබඳ ව මෙම කෙටිකතා එකතුව තුළ හමුවන දෙවන අවස්ථාව ද වෙයි.
ශක්තිකගේ කණ්ඩෙම්කාරයෝ හි හමුවන අවසන් කතාව වන “මරණ තුනක්” එහි එන වඩාත්ම දේශපාලනිකව සහේතුකවාදී තේමාව ගෙන එයි. කාල නිර්ණන යන්ත්‍රයක් හරහා ධාතු පරීක්ෂා කිරීමට පෙළඹෙන නගරාධිපතිවරයෙකු සහ විද්‍යාඥයකු අභිරහස් ලෙස ඝාතනය වීම හරහා මතුවන තත්වයක් තුළ හමුවන වාර්තාකරණයන් කිහිපයක් ආශ්‍රයෙන් එය ව්‍යූහගත වී ඇත. අප ජීවත්වන සමාජය තුළ පවතින විවිධ ඇදහිළි සමග නිරන්තරයෙන් ගැටගැසෙන සමාජීය ආගමික සහ දේශපාලන බලය යනු අතිශය දැඩි ප්‍රචණ්ඩ නිර්මිතයක් බවට මෙම කතා පුවත විශ්ලේෂණය කරයි. එසේම විද්‍යාව කොතරම් වර්ධනය වුවත්, තාක්ෂණය කොතරම් දියුණු වුවත් මිනිසා සිය මිත්‍යාමය විශ්වයෙන් තවදුරටත් පුළුල් කරනවා හැර ඒවා සබුද්ධික කිරීමට පෙළඹෙන්නෙ මන්දගාමීවය.
ශක්තික සත්කුමාරගේ නවතම කෙටිකතා සංග්‍රහය යම් යම් ආකෘතිකමය අත්හදාබැලීම් ද සිදුකරයි. ලේඛණය වඩාත් විෂුවලයිස්ඩ් රයිටිං එකක් ලෙස රූපාන්තරණය කිරීමට ද ඔහු පෙඹෙයි. වට්ස්ඇප් භාෂාව, චැට් ආකෘතිය, සිරස්තල ආදිය ඔහු භාවිතා කරන අතර, බුලට් පොයින්ට් මගින් ද සමහර අදහස් ඉස්මතු කොට දක්වයි. වත්මන් පාඨකයා යනු කඩිනමින් කියවීමට කැමති සහ දිගු රචනාවන් ට පිවිසීමට එතරම් කැමැත්තක් නැති පිරිසක්ද වීමට හැකියි.
කෙසේ නමුත් කණ්ඩෙම්කාරයෝ හරහා ශක්තික මෙරට කෙටිකතා කලාවට යම් නැවුම් බවක් එක්කර ඇත. වස්තු විෂය තුළ නවතම සමාජ ආර්ථික පරිවර්තනය නිරූපණය වෙයි. ආර්ථික අර්බූදය තුළ හතු පිපෙන “ස්පා” සේම ප්‍රචණ්ඩ සමාජ මනෝභාවය සහ සූරාකෑම ප්‍රබල ලෙස නිරූපණයට උත්සාහ කර ඇත.
මෙහි එන “ස්පා” කෙටිකතාව තුල ශක්තිකඅරගලය පිළිබද සටහනක් ද තබා ඇත.
“අරගලේ හින්ද උඹලට අපිට දේශපාලනඥයින්ගේ වහල් භාවයෙන් හරි මිදෙන්න පුළුවන් වුණානේ…”. ” ඒක නම් ඇත්ත ග. ඒත් අරගලයට සංවිධානයක් තිබුණෙත් නෑ. විනයක් තිබුණෙත් නෑ. ඒකයි බලය ගන්න බැරි වුණේ….වැරදි අඩුපාඩු හදාගෙන ආයෙත් කොල්ලෝ ඒක කරයි”…ස්පාහි දී ශක්තික අරගලය පිළිබඳ සංවාදය යළි අවුළයි.
ශක්තික සත්කුමාර කෙටිකතාව සිය ආත්මීය ප්‍රකාශන මාධ්‍ය කොටගෙන ඒ හරහා සියුම් සහ කලාත්මක ලෙස සමාජීය, දේශපාලන, සහ ආර්ථික ව්‍යූහය පිරික්සයි. ඒවා තුළ නිරන්තරයෙන් ඇතිවන නව ගතිකයන් හරහා වෙනස්වන පුද්ගල විෂය සහ සම්ප්‍රදායික පොදු සම්මත මිත්‍යාවන් සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ගැඹුරු ගැටලුව සමග ඔහු නිරන්තරයෙන් සිය ලේඛණය අවියක් කරගෙන පොරබදයි.

ආචාර්ය අතුලසිරි සමරකෝන්-Dr. Athulasiri Samarakoon
ජේෂ්ඨ කතිකාචාර්ය,විවෘත විශ්වවිදි්‍යාලය.





