සුගත් වටගෙදර:
එරික් ඉලයප්ආරච්චිගේ ‘තව සිංහයකු ළඟ’ නම් සංචාරාඛ්‍යානය ( travelogue) පිළිබඳව වටගෙදරගේ විචාරයකි.
සිංහයෙකු ඇසුරේ සිටි කෙනෙකුට තවත් සිංහයෙකු හමු වුව හොත් සමහර විට එය අමුතු අත්දැකීමක් නොවිය හැකි වුවත්, තවත් කෙනෙකුට වඩා සියුම් නිරීක්ෂණයකට ද, ඒ ඔස්සේ නව අත්දැකීම් ලබා ගන්නට ද හැකි වනු ඇත.
බොහෝ සංස්කෘතීන්හි සිංහයා ප්‍රෞඩත්වයේ හෝ අභීත නායකත්වයේ සංකේත වී තිබෙන බැවින් අප දකින ඕනෑම සිංහයෙකු පිළිබඳව ද එසේ සිතෙන්නට පිළිවන . එහෙත් තවත් සිංහයෙකු ඇසුරේ සිටි කෙටි කලක වූවත්, පොදු සිංහ ලක්ෂණ ගැන මෙන්ම, තමා කලින් ඇසුරු කළ, තමන් ද හදා වඩා ගත් සිංහයා ගැන වුව විවේචනයක් කරන්නට හා සංසන්දනය කරන්නට හැකි වෙතොත්, එය විචාරවත් පුද්ගලයකුගේ පෞරුෂය හෙළි කිරීමක් නොවන්නේ ද ?
නවකතාව, කෙටිකතාව, චරිතාපදාන සාහිත්‍යය (ප්‍රේමසිරි කේමදාස විචාරාත්මක චරිතාපදානය), නාට්‍ය හා තිරනාටක (ධර්මසේන පතිරාජගේ මීපැණි සහ අළු (අස්ථානගත) සිනමා කෘතියේ තිරනාටකය සහ ස්වරූප චිත්‍රපටිය වෙනුවෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ Metamorphosis සිනමා අනුවර්තනය), පරිවර්තන (ටී. එස්. එලියට්ගේ The Waste Land) හා ශාස්ත්‍රීය ලේඛනය, සංචාරාඛ්‍යාන ආදී (ඉන්දියාව – ශූන්‍යය සෙවීම) ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයෙකු වන එරික් ඉලයප්ආරච්චි ලියූ ‘තව සිංහයෙකු ළඟ’ මැයෙන් යුත්, පිටු 120 කින් යුත් පොත් පිංච ගැන සඳහන් කිරීමේ දී, සිංහ රූපකයක් ගැන ගෙනහැර දැක්වුයේ එය පොතට දී ඇති අමුතු නාමය සැලකිල්ලට ගැනීමෙන් පමණක් නොවේ. එහි එන සිංහ දේශයන් දෙක ලංකාව හා සිංගප්පුරුව වූවත්, මෙහි එන පොදු සිංහ රූපකය, කලා සාහිත්‍යය සහිත සංස්කෘතිය සේ ද ගත හැකිය.

කතුවරයා ශ්‍රී ලංකාව නම් සිංහ දේශයේ සිට සිංගප්පූරුව නම් සිංහ දේශයට ගොස් එහි සංචාරයේ යෙදෙයි. කතුවරයා දක්වන පරිදිම සිංහයන් දෙදෙනාටම තිබෙන්නේ දූපත් රාජ්‍යයන් දෙකකි. එහෙත් එහි වැසියන්ගෙන් කවුරුන් දූපත් මානසිකත්වයකින් ක්‍රියාකර තිබේ දැයි මේ පොත කියවද්දී අපට සිහිවේ. එසේ සිතන්නට පෙළඹෙන්නේ මෙය ලියා ඇති ‘ජර්නල’ (Journal) ප්‍රවර්ගයට අනුවම කතුවරයා එහි සිට කළ කී දෑ ඉක්මවා ඔහු තුළ ඇති වූ සිතුවිලි කියවා ගැනීමේ දී ය. සාමාන්‍ය සංචාරාඛ්‍යානයක නම් අපට කියවන්නට ලැබෙන්නේ සංචාරයක දී දුටු දේ ය. එහෙත් ජර්නලයක දී කතුවරයෙකුට ඒ අවස්ථාවේ ඇතිවූ සිතුවිලි ද ලිවීමට නිදහස ඇත. ලොව ප්‍රකට ලේඛකයන් විසින් පළ කර ඇති ජර්නල මගින් දක්වා ඇති සටහන් ඔවුන්ගේ වෙනත් කෘති කියවා ගැනීමට පමණක් නොව, ඔවුන්ගේ ජීවන දෘෂ්ටිය කියවා ගැනීමට ද උපකාරී වී තිබේ. එමෙන්ම එම ලේඛන මානවවිද්‍යාත්මකව හා සමාජ විද්‍යාත්මකව ද වැදගත් වේ.
එරික් ඉලයප්ආරච්චි ලියු ‘තව සිංහයකු ළඟ’ අපේ අවධානයට ලක්විය යුතු වන්නේ මේ කරුණු සලකා බලන විට ය. එමෙන්ම අප සාහිත්‍යයේ ‘ජර්නල රචනා’ පළවීම දුලබ නිසා ද මෙය තවත් වටී. කතුවරයා සිංගප්පුරුවේ ගත කරන්නේ කෙටි කාලයක් වුවත්, නරඹන ස්ථාන සීමිත ප්‍රමාණයක් වුවත් ඔහු අපට බොහෝ දේ පෙන්වයි. බොහෝ දේ සිහිපත් කරවයි. ඒ ඔස්සේ අප තුළ ඇති වන්නේ බුද්ධි කලම්බනයකි. රස දනවන චමත්කාරයකි. තව සිංහයකු ළඟ අරඹන්නේ පාඨකයා ඇද බැඳ ගන්නා කාව්‍යාත්මක කෙටි වැකියකිනි.
“එක් සිංහ රාජ්‍යයක සිට තවත් සිංහ රාජ්‍යයකට පැමිණි ගමනකි.”
ඒ කවර රාජ්‍යයක් දැයි සිතන පාඨකයාට ඒ සඳහා ඉඟියක් සපයන කතුවරයා අනතුරුව ගමනේ අරමුණ ව්‍යාපාරික එකක් නොවන බව ද කියයි.

“සිංහයන් දෙදෙනාටම තිබෙන්නේ දූපත් රාජ්‍යයන් දෙකකි. දෙවන සිංහ රාජ්‍යයට කෙනෙකු පැමිණෙන්නේ ව්‍යාපාරික අරමුණකින් නම් ඒ තැනැත්තා ආර්ථික සමෘද්ධිය විනා සංස්කෘතික කියා දෙයක් එහි නැති බව කල්පනා කරයි. ව්‍යාපාරික අරමුණින් තොරව පැමිණි මම, මෙහි අවුරුදු කිහිපයකට කලින් පැමිණියා නම්, මගේ අවාසනාවන්ත දේශයේ පුස්තකාල ද කුමන ප්‍රාතිහාර්යකින් හෝ යම් දවසක ඒ තත්ත්වයට පත්වන සැටි මවා ගනිමි.”
මෙය කතුවරයාගේ කියවීමේ ලලාසාව හා එය ආසාදනය කරනු සඳහා ඇති අභිප්‍රාය ද ධ්වනිත කරනසුලු ය.ඔහු පුංගල් ප්‍රජා පුස්තකාලයේ ද, සෙංකං පුස්තකාලයේ ද, සිංගප්පූරු මධ්‍ය මහා පුස්තකාලයේ ද වැඩි කාලයක් ගෙවන්නේ මහත් උද්යෝගයකිනි. මේ පුස්තකාලවල දී කතුවරයාට ජේම්ස් ජොයිස්, ගාබ්‍රියල් ගාර්සියා මාකේස්, ඉන් දින කිහිපයකට පෙර සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ නෝවීජියානු යාන් ෆොසේ, ශේක්ස්පියර්, බ්‍රෙෂ්ට්, ඇල්බෙයා කැමූ, ෆෙඩ්රික් නිට්ශ, අයිතාලෝ කැල්විනෝ, අන්තෝනියෝ ග්‍රාම්ස්චි, ෂෝන් පෝල් සාත්‍ර, අර්නස්ට් හෙමින්වේ, සර්වාන්ටේ, ඩාන්ටේ, රිචඩ් වොලින්, එමිල් ජෝරාන්, මාර්ටින් හයිඩෙගර්, (ඇමරිකානු චිත්‍ර කලා ඉතිහාසඥ) ආතර් ඩාන්ටෝ, ටී. එස්. එලියට්, ඩී. එච්. ලෝරන්ස් යනාදී සාහිත්‍යවේදීන් ද, දාර්ශනිකයන් ද හමු වේ. ඒ ඔවුන්ගේ දුර්ලභ පොතපත මේ පුස්තකාල සතු වූ බැවිනි.

“පුස්තකාලය සොයමින් පශ්චාත් වෝල්ටර් බෙන්ජමියානු ආකේඩ ව්‍යාපෘතියෙහි (Arcade Project by Walter Benjamin) සැරිසරන අතරේ මා කවරෙකු දැයි මම කල්පනා කළෙමි.”
එසේ නම් මේ පොත එක් අතකට කතුවරයාගේ ආත්ම ප්‍රකාශනයකි. මෙහි එබඳු
ප්‍රකාශන කිහිපයක් මුල් භාගයේ වෙයි.
“අවට නරඹමින්, මහා ජනසංඝයක් මධ්‍යයේ හුදකලාව අත්විඳිමින්, නිස්සරණාධ්‍යාසයෙන් නාගරික අවකාශයක සක්මන් කරන ෆ්ලනර් (Flaneur) වර්ගයේ සමාජ සත්ත්වයෙකු ද නොවෙමි. දියෙහි නොගැටී, නෙළුම් පතින් පතට පා තබා යා හැකි සැහැල්ලු දියකකුළු කොරවකු දෙපා මට නැත. මම මගේ සිංහ දේශයේ ගත කළ දිවි හසර තුළ බොහෝ බැරෑරුම් ගමන් ගිය කෙනෙක්මි.”
කතුවරයා මේ අන්දමේ බැරෑරුම් ගමන් කෙටියෙන් නමුත් කාව්‍යාත්මක බසකින් දක්වයි.
“… අවසානයේ පමණක් ආපසු හැරී බලන්නට හැකි, ඉතිහාසයේ නිරර්තක අනවරත ගැටුම් මැද ඇති වූ මහත් විනාශ අත්දුටුවෙක්මි. හෘදසාක්ෂියේ අස්වැසිල්ල වෙනුවෙන් ඉවත බලා නොගත්තෙක්මි. ඒ අතින් සංකේතවත් ලෙස මළ සිරුරු අතරින් පා තබා ගිය මිනිසෙක්මි. අධ්‍යාත්මික සහනයේ ආශිර්වාදය සොයා යන්නට මට වුවමනා නොවී ය.”
අනතුරුව සිය පාසල් වියේ සිට මේ දක්වා අප දේශයේ සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් හා ස්වාභාවික විපත් ගැන සඳහන් කරන කතුවරයා, ඒ සා විපත් තවත් දේශයක සිදු විය හැකි දැයි විමසයි. “කැපවුණු සාහිත්‍යය (Committed Literature) වෙනුවෙන් ඇවිදින ලේඛකයෙකු ලෙස විනා රෝන්දේ යන්නට නොහැකි බව ය මට හැඟුණේ.” ප්‍රශ්න පොදී ගහගෙන යන්නට තැනක් තිබිය යුතු යැයි ද කීමෙන් කතුවරයා වැඩි වැඩියෙන් පුස්තකාල වෙතම නැඹුරු වූයේඇයි යන්නට පිළිතුරක් සැපයෙයි. ඒ සමග ඇතිවන අනුමානයක් නම් හොඳ සංවාදයකට වර්තමානයේ ඉඩක් නැති බවයි.
යාවත්කාලින පුස්තකාල ද අප රටේ හිග බවයි. එසේ නම් ඉතිරිව ඇත්තේ වෙනත් සිංහ දේශයකදී හමු වූ හොඳ පුස්තකාල ඇසුරේ ස්වයං-කථනයක යෙදෙමින් ඒ ඔස්සේ ජර්නලයක් ලිවීම බව පෙනෙයි .
පුස්තකාලයේ පොත් අතර හමුවන චරිත, අවස්ථා, සිද්ධි මගින් නිරූපනය වන්නේ ඒ ඒ කතුවරුන්ගේ ජිවිත පමණක් නොව ජර්නලයේ කතුවරයාගේ ජීවිතය ද වේ. ගාබ්‍රියෙල් මාකේස්ගේ ආත්ම චරිතාපදානය කියවූ ඉලයප්ආරච්චි තුළ ඇති කළ හැඟීම් විස්තර කරඇති ආකාරය ඊට එක් නිදසුනක් පමණි. මාකේස්ගේ සාහිත්‍ය අධිෂ්ඨානයේ බර මාකෙස්ගේ දිළිඳු මවට දැනුනු ආකාරය දක්වන්නේ මෙසේ ය.
“ඇය ඒ බර ගෝණිය කරේ තබා ගෙන කෙඳිරිගාමින් ඇගේ ගිලන් සැමියා වෙත ආපසු යන ගමන මා සිතේ හොඳින් ඇඳෙයි .හර්ද සාක්ෂිය පිළිබඳ අනිවාර්ය ආත්මීය ක්‍රියාවලියක් ලෙස මගේ ඒ දුක්බර කල්පනා කක්ෂයට මගේ පියා, මව සහ සොයුරු සොයුරියන් ද, මගේ බිරිඳ හා දරුවන් දෙදෙනා ද පැමිණෙති. ඔවුන් අතරින් මගේ බිරිඳ, තරුණ දෙටු පුත්, ඔහුගේ බිරිඳ හා කුඩා මුනුබුරු ද ඒ ප්‍රජා පුස්තකාලයේ සිටිති. ඔවුන් තවමත් උසුලා ගෙන යන්නේ මාකෙස්ගේ මව උසුලා ගෙන ගිය බර ගෝනිය විය යුතුය.”
එරික් ඉලයප්ආරච්ච්ට අනුව පුස්තකාලයක් වනාහි “සාහිත්‍යයේ හා ලේඛකත්වයේ දේශපාලනය, අභිධර්මය, පාරභෞතිකය සහ සාන්දෘෂ්ටිකත්වය එකට හමු වන දුර්ලභ අවස්ථාවකි.”
තම පවුලේ පමණක් නොව, තම ගමේ, රටේ ලෝකයේ විශ්වයේ සංසිද්ධි ද පොතපත පරිහරණයේ දී අපේ සිහියට නැඟෙයි. පුස්තකාලයේ දී කතුවරයාට හමු වූ මැලේ ජාතික මහල්ලෙකු කතුවරයාට කියවීමට දෙන ‘නැෂනල් ජියෝග්‍රෆික්’ සඟරාවේ පළ වූ, ජපානයේ පරමාණු බෝම්බයේ විනාශය ගැන පළ වූ ලිපියක් පිළිබඳ කරන විමසුම නිදසුනකි.
“… මගේ හදවතට ඇනෙන කටුවක් එහි විය. මට අපේ ගමේ පාස්කු බෝම්බයෙන් මියගියවුන් මෙන් ඉතිරි වූවන් ද මේ අයුරින් යම් දිනක නැෂනල් ජියෝග්‍රෆික් තාරකා වන්නට ඉඩ ඇති බැව් මට සිතුණි… මට ඒ මහල්ලා ගැන උපන්නේ කෘතවේදී හැඟීමකි. මා තුළ නන්නාඳුන ඔහු ගැන ඇති වන හැඟීමට සමාන හැඟීමක් ඔහු තුළ ද ඇතැයි මට සිතුණි.”
කැපවූ ලේඛකයා ගැන කතුවරයා ආරම්භයේ දී කියා ඇති අදහස් වඩා ඉස්මතුව දකින්නේ ඔහු ඇල්බෙයා කැමුගේ ලිපි එකතුව ගේලෑං නම් පුස්තකාලයේ දී කියවීම ගැන කරන විස්තරයේ දී ය.
“කැමූ සාහිත්‍යයට ඈඳන කැපවීම වූ කලි අවදිව සිහියෙන් සිටීමකි. නිදා නොගැනීමකි. ලේඛකයන්ගේ ස්වයං – තෘප්තභාවය හා ඊනියා සුධීමත් ස්වයං – ජනක සංකීර්ණය ප්‍රතික්ෂේප කිරීමකි. බලහත්කාරයට නතුකර ගැනීමේ වියුක්තයන් සහ මිනීමරු දෘෂ්ටිවාදයන් සපුරා ප්‍රතික්ෂේප කිරීමකි …”
ඇලිස් කැප්ලාන් උධෘත කරමින් එරික් ඉලයප්ආරච්චි දක්වන කරුණු මෙන්ම කැමූ දක්වා ඇති “ජාතිකවාදියකු වීමට නොහැකි තරමට තමන්ගේ රටට ආදරය කරන බව හා යුක්ති විරහිත දේශප්‍රේමයක් නැත” යන අදහස් එරික්ට මෙන්ම අප හැමටම අලුතින් සිතන්නට ඉඟි සපයයි.
කැපවුණු ලේඛකයෙකුට දර්ශනය විෂයෙන් මහත් අනුප්‍රාණයක් ලද හැකි නිසා හෝ ඇරිස්ටෝටල් කියා ඇති පරිද්දෙන් කවිය ඉතිහාසයට වඩා දාර්ශනික නිසා හෝ කතුවරයා තම පුස්තකාල සංචාරයේ දී දර්ශනවාදය විෂය වෙත වැඩි නැඹුරුවක් දක්වයි. නීෂේගේ උධෘතයක් විශේෂයෙන් හුවා දක්වා ඇත්තේ එය දර්ශනයට මෙන්ම සාහිත්‍ය කලාදියට ද එක සේ ගැලපෙන නිසා විය හැකි ය.
“දාර්ශනිකයා විශ්වාස කරන්නේ ඔහුගේ දර්ශනවාදයේ අගය රැඳී තිබෙන්නේ සමස්තයෙහි, මුළුමහත් ගොඩනැඟිල්ලෙහි බව ය. එනමුත් එය ඔහු පාවිච්චියට ගත් ගඩොල්වල ඇති බව සොයා ගන්නා මතු පරම්පරාව ඒ ගඩොල් වඩා හොඳ ගොඩනැඟිල්ලක් වෙනුවෙන් පාවිච්චියට ගනියි. ගොඩනැඟිල්ල විනාශ විය හැකි නමුත් ද්‍රව්‍යවල අගය පවතිනු ඇත.”
මීටත් වඩා භාෂා විශ්ලේෂණවාදී දර්ශනය කෙරෙහි, 2000 වසර තරම් ඈතක දී සිය ‘කලාත්මක ඥානය සහ සැබෑ ලෝකය’ කෘතිය මගින් උනන්දුවක් දක්වා තිබුණු එරික් ‘තව සිංහයකු ළඟ’ කෘතියේ ද ඒ උනන්දුවම පෙන්වයි
“… ඩොස්ටොයෙව්ස්කි සිය හිතවතා සමග සයිබීරියාවේ සිරකඳවුරු පහන් එළිය යට, හේගල් කියවා සැබවින් හැඬුවේ නම් ඒ ඇයි ?… තමා අත්විඳි මහත් දුක්වේදනා ගැන ඒ සටහනේ සැලකිල්ලක් නොතිබීම ගැන සයිබීරියාවේ සිටි ඩොස්ටොයෙව්ස්කි ශෝකවීම සාධාරණ ය. මට හැඟුණේ මා වැන්නන්ගේ තත්ත්වය ඊටත් වඩා කනගාටුදායක බවකි. ආසියාවේ උපන්නා මදිවාට නොයෙක් නොයෙක් බංකොලොත්කම් ඉදිරියේ ප්‍රබුද්ධන පරමාදර්ශ වෙනුවෙන් දිවි ගෙවා ඉන් පලායන්නට සිතීම ඛේදයකි!
මට හැඟුණේ ඒ දාර්ශනික හා සාන්දෘෂ්ටික ගැටලුව ඉදිරියේ ඇති ප්‍රතිකර්මය, ලුඩ්විග් විට්ගන්ස්ටයින් විසින් නිර්දේශ කරන ලද දාර්ශනික නිශ්ශබ්තාවයේ සහ කලාව සාහිත්‍යයේ බෙහෙත් පෙති ගිලීම පමණක් බව.” කතුවරයා මෙය විස්තර නොකිරිම තේරුම් ගත හැක්කේ විට්ගන්ස්ටයින්ම කියා ඇති පරිදි යොදා ඇති සන්දර්භය අනුව අර්ථය ගත යුතු බව ය.

විට්ගන්ස්ටයින්ට අනුව භාෂාවේ සිමා පවතී. බර්ට්‍රන්ඩ් රසල් ඉන්ද්‍රියදත්ත භාෂාවක් යෝජනා කර තිබුණේ ද මේ සිමා නිසා ය. භාෂාවේ සීමාවෙන් ඔබ්බේ නම් ඒ ගැන නිහඬවීම සුදුසු යැයි විට්ගන්ස්ටයින් කළ ප්‍රකාශය කලාවට ආදේශ කරගැනීම, කලාවේ නව ආකෘති කරා යන්නට එය ආරාධනයක් ද? එක් අතකට තව ‘සිංහයෙකු ළඟ’ කුඩා පොතක් වුව අපට බොහෝ සිතන්නට පොලඹවන, කැපවුන ලේඛනය සඳහා මඟ පෙන්වන පුරෝගාමී ප්‍රයත්නයකි. මෙහි එන දාර්ශනික සංකල්ප, එම විෂය කියවා නැති රසිකයාට දුරස් විය හැකි බැවින් කෙටියෙන් හෝ විස්තර වි නම් වඩාත් යෝග්‍ය වනු නිසැක ය.
සිංහල පාඨක ලෝකය පුළුල් කරනු සඳහා මෙවැනි නිර්-ප්‍රබන්ධ සාහිත්‍යයක් ද වර්ධනය විය යුතුය. ඒ සඳහා ප්‍රබන්ධ සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති ලේඛකයෙකු මෙලෙසින් යොමුවීම සුබ ලකුණකි. මාර්ටින් වික්‍රමසිංහ, ජී. බී. සේනානායක, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර ආදීන් අපේ සාහිත්‍යය පෝෂණ කළේ හුදු ප්‍රබන්ධ පමණක් නොව නිර්-ප්‍රබන්ධ සාහිත්‍යය ද උපයෝගී කර ගෙන බවත් ඒ මගින් අපේ බස පමණක් නොව චින්තනය ද පොහොසත් කළ බවත් දන්නා පාඨකයා, එරික් ඉලයප්ආරච්ච්ගේ ප්‍රයත්නයට සුබ පතනු ඇත .

සුගත් වටගෙදර-Sugath Watagedara





