පුස්තකාලයට යන පාර මතක ද?

කෝටි දහයකට වැඩි පිරිසක් (මිලියන 100 ක්) අවුරුද්දක් ඇතුළත පුස්තකාලය පරිහරණය කිරීම කිසිසේත්ම සුළුවෙන් සලකන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. විශේෂයෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තේ ඉන්න කැනඩාව වගේ රටක! පහුගිය 2024 අවුරුද්දේත් සුපුරුදු පරිදිම කැනඩාවේ පුස්තකාල ජාලය වාර්ෂිකව පරිහරණය කරන පිරිස කෝටි දහය ඉක්මවා ගියා.

කොටින්ම කිව්වොත් කැනඩාවේ ජනතාව සිනමාහල්වලට ඇදෙනවාට වඩා වැඩිපුර පුස්තකාලය පරිහරණය කරනවා. පුස්තකාලය තමයි කැනඩාවේ සෑම නගරයකම ජනතාවගේ වැඩියෙන්ම සිත් දිනාගත්ත (heart of the city) ආයතනය. ඒ වගේම කැනේඩියානුවන් වැඩියෙන්ම භාවිත කරන පොදු ආයතන (most visited public institutions) අතරින් පුස්තකාලය ඉදිරියෙන්ම ඉන්නවා. කැනඩාවේ ජීවත් වන තුන් දෙනෙක් ගත්තොත් එයින් දෙන්නෙකුටවත් පුස්තකාල සාමාජිකත්වය තියෙනවා.

කැනඩාවේ පුස්තකාල පරිහරණය කරන පිරිස ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව වගේ ලෝකයේ අනිත් දියුණු රටවලටත් වඩා වැඩියි. සංඛ්‍යාත්මකව ගත්තම කැනඩාවට වඩා වැඩි පුස්තකාල ප්‍රමාණයක් ඇමරිකාවේ තියෙනවා. එහෙම වුණත් රටේ ජනගහනයට සාපේක්ෂව කැනඩාවේ පුස්තකාල ප්‍රමාණය ඇමරිකාවට වඩා වැඩියි. අනෙක අතට ඇමරිකාවේ විශාල පුස්තකාල ප්‍රමාණයක් තිබුණත් පුස්තකාල පරිහරණය කරන පිරිස වසරින් වසර අඩුවීමක් තමයි දකින්න පුළුවන්. බ්‍රිතාන්‍යය ගත්තත් ලෝකයේ අනෙක් අපරදිග රටවල් පොදුවේ ගත්තමත්, පුස්තකාල පරිහරණය කරන පිරිස තරමක අඩුවීමේ ප්‍රවණතාවක් තමයි දකින්න ලැබෙන්නේ. ඒත් කැනඩාවේ පුස්තකාල පරිහරණය කරන පිරිස දිනෙන් දිනම ඉහළ යනවා.

පුදුම වෙන්න දෙයකුත් නැහැ. ලෝකයේ සෑම සියලු රටවල් අතරින් රටේ ජනගහනයට සාපේක්ෂව ඉහළම උසස් අධ්‍යාපනයක් සහිත පුරවැසියන් ඉන්න රට (Highest percentage of population with degrees) තමයි කැනඩාව කියන්නේ. කැනඩාවේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් (අවුරුදු 25-64 වයස් කාණ්ඩය) සියයට 60 කටම අඩුම තරමින් මූලික උපාධියක්වත් (bachelor’s degree) තියෙනවා.

පොත පත නොකියවන කෙනෙකුට ජීවිතයේ කොයි තරම් නම් දේවල් මග හැරෙනවා ද යන්න දන්නේ පොත පත කියවන අයෙකුම පමණයි. පොත පත නොකියවන පුද්ගලයාත් අකුරු නොදත් මිනිසාත් අතර කිසිම වෙනසක් නැති බව මාර්ක්ට්වේන් කිව්වේ ඒ නිසයි.

Mark Twain

(The man who does not read has no advantage over the man who cannot read). ඔහුගේ ප්‍රකාශය අවිවාදයෙන්ම සත්‍යයක්. ඒකට හේතුව පොත පත කියැවීමෙන් ජීවිතයට ලැබෙන පරිචය අන් කිසිම දේකට සමාන කරන්නට බැරි හින්දා.

කෙනෙකුට හිතෙන්නට පුළුවන් පොතක් ඇසුරින් නිර්මාණය වුණු සිනමා පටයක් නැරඹීමෙන් ඒ පරිචයම ලබා ගන්නට පුළුවන් නේද කියලා. කොහෙත්ම නැහැ. පොතක් ඇසුරින් නිර්මාණය වුණු සිනමා පටයක්, ඔස්කාර් සම්මාන ලැබුණු විශිෂ්ටතම සිනමා පටයක් වුණත්, පොතෙන් ලැබෙන පරිචය සිනමා පටයෙන් කොහෙත්ම ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව පොතකින් ලැබෙන පරිකල්පනය, ඒ ඒ චරිතවල ස්වභාවය, මිනිස් සම්බන්ධතාවල හැඟුම්බර බව පොතකින් තරම් ගැඹුරට සිනමා පටයෙන් ලබා ගන්න බැරි හින්දා.

උදාහරණයක් විදියට ඔබ නරඹා ඇත්තේ ගම්පෙරළිය සිනමා පටය පමණක්ම නම්, ගම්පෙරළියේ නන්දාගේ චරිත ස්වභාවය ඔබ දකින්නේ පුන්‍යා හීන්දෙනිය කියන දක්ෂ නිළියගේ වපසරිය තුළ මිසක් වික්‍රමසිංහ මැවූ නන්දාගේ සාහිත්‍යමය රූපකායෙන් නෙමෙයි. කයිසාරුවත්තේ මුහන්දිරම් ඔබ දකින්නේ ජෝ අබේවික්‍රම කියන දක්ෂ නළුවාගේ රංග ප්‍රතිභාවෙන් මිසක් සාහිත්‍යමය චරිතයේ සැබෑ ගැඹුරින් නෙමෙයි. ගම්පෙරළිය කෘතිය තුළින් වික්‍රමසිංහයන් ඔබ හා එක්ව මතු කරගන්නට උත්සාහ කරන පුළුල් සහ ගැඹුරු කතිකාවත සිනමා පටය තුළදී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාත්මක දැක්මට අනුගතව දකින්නට ඔබට සිදුවෙනවා. (ඒ විශිෂ්ට සිනමාවේදියාට අපහාසය පිණිස නොවන බව අවධාරණය කළ යුතුය). ඔබ ගම්පෙරළිය කෘතිය කියවා තිබුණේ නම්, ජිනදාසගේ චරිතය සම්බන්යෙන් ඔබ තුළ මැවෙන අපූරු සහ විචිත්‍ර පරිකල්පනාවන් සිනමා පටයේ දී ගාමිණී ෆොන්සේකාගේ රංග ප්‍රතිභාව තුළ ඔබ හඳුනා ගන්නේ ගාමිණී නම් වූ නළුවාගේ රංග වපසරිය තුළ පමණයි.

මුළුමහත් ලෝක සිනමාව ගත්තත් තත්ත්වය එයයි. අකුතගාවාගේ “In a Bamboo Grove” කෙටි කතාවත්, ඒ ඇසුරින් අකුර කුරසාවා කියන අසහාය අධ්‍යක්ෂවරයා කළ රෂොමාන් සිනමා පටයත් වෙනස් අත්දැකීම් සමීප කරවන කෘතීන්. පොතත්, සිනමා පටයත් මතු කරන පරිකල්පන එකිනෙකට වෙනස්. මේ විදියේ උදාහරණ ඕන තරම්. පොතක් කියවීමේ දී ඔබේ සිතිවිලි අවදි වෙන්නේ ඔබටත් නොදැනීමයි. පොතේ චරිත අතර ඔබ සැරිසරනවා. ඒවා එක්ක ගනුදෙනු කරනවා. ඒ ඇසුරින් චිත්ත රූප මවා ගන්නවා. සිද්ධීන් නිර්මාණය කර ගන්නවා. ඇතැම් වෙලාවට කතුවරයාගේ පරිකල්පනය ඉක්මවා ඔබ ගමන් කරනවා. ඒ ඇසුරින් ජීවිතය අලුතින් දකිනවා. ඒ විතරක් නෙමෙයි, විචාරාත්මකව හිතන්නට පෙළෙඹෙනවා. භාෂා දැනුම එහෙමත් නැතිනම් වාග්මාලාව වැඩි දියුණු වීමත් නොදැනුවත්වම සිදුවෙනවා. ඒත් සිනමා පටයක දී ඔබ අධ්‍යක්ෂවරයාගේ දැක්මට බොහෝ දුරට අනුගත වෙනවා. නළු නිළියන් හරහා පොතේ චරිත සීමාවකට යටත්ව දකින්නට උත්සාහ කරනවා. ඔබේම සිතිවිලි නිර්මාණය කරගන්නට ඇති ඉඩකඩ එතැනදී අවමයි. ඒත් ඔබ පොතක් කියවන්නේ ඔබේම කාල සටහනකට. චරිත වටහා ගන්නට, සිද්ධීන් මෙනෙහි කරන්නට ඔබටම පුළුවන්. ඒ නිසා පොතේ චරිත එක්ක ඔබ බොහොම හැඟුම්බර සහ අරුත්බර මානසික සම්බන්ධතාවක් ගොඩ නගා ගන්නවා. ඒත් සිනමා පටයක දී කෘතියේ තියෙන බොහොම සියුම් මානව සම්බන්ධතා සිනමා පටයේ පැය දෙක තුනක කාලය තුළ දියවී සැඟවී යනවා.

පොත පත කියවන්නා සිය මරණයට පෙර තවත් සිය දහසක් ජීවිත ගෙවා දැමුවත්, පොත පත නොකියවන්නාට ඇත්තේ එකම එක ජීවිතයක් පමණයි(A reader lives a thousand lives before he dies. The man who never reads lives only one) කියලා ඇමරිකානු ලේඛක ජෝර්ජ් මාර්ටින් කිව්වේ ඒ නිසයි.

George R.R.Martin

මේ හින්දා පොත පත කියවන්නාට ජීවිතය ජයගන්න හරිම පහසුයි. ඒ වගේම තමන් ඇසුරු කරන අය බොහොම පහසුවෙන් වටහා ගන්නට ඔවුන්ට පුළුවන්. කොටින්ම කිව්වොත් උසස් ගනයේ පොත පත කියවන්නට පුරුදු පුහුණු වෙච්ච කෙනෙකුගේ ‘කනෙන් රිංගා යන්නට’ ඒ තරම්ම පහසු නැහැ.

දැන් අපි ආපහු යමු කතාව පටන් ගත්ත කැනඩාවට.

මා ජීවත් වන බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ මා අධ්‍යක්ෂ මණ්ඩල සාමජිකත්වය දරන සරේ පුස්තකාල ජාලයට (Surrey Public Libraries) පුස්තකාල දහයක් අයිතියි.

පහුගිය 2024 අවුරුද්ද තුළ පමණක් මේ පුස්තකාල පරිහරණය කළ පිරිස ලක්ෂ විසි තුනකට වැඩියි. ඒ අවුරුද්ද ඇතුළත පුස්තකාලයෙන් පිටතට අරගෙන ගිය මුද්‍රිත පොත් පත් සංඛ්‍යාව ලක්ෂ 35 ක්. මුද්‍රිත පොත්පත් කියලා විශේෂයෙන් කිව්වේ මුද්‍රිත පොත පතට අමතරව තවත් ලක්ෂ 14 ක් තරම් ඩිජිටල් එහෙමත් නැතිනම් ඉලෙක්ට්‍රොනික පොත පත (e-books, audiobooks) ඒ අවුරුද්ද තුළ මේ පිරිස භාගත කරගෙන තියෙන නිසයි. පොදුවේ ගත්තම 2024 අවුරුද්දේ සරේ පුස්තකාල ජාලයෙන් විතරක් මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික පොත පත පරිහරණය කළ ප්‍රමාණය ලක්ෂ පනහක් තරම් විශාල ප්‍රමාණයක්. බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ අනෙක් පුස්තකාල ගත්තමත් මේ තරම්ටම ඉහළ අගයන් දකින්න පුළුවන්.

සරේ පුස්තකාල සේවාව උදාහරණයක් විදියට ගත්තොත් පුස්තකාල සාමාජිකත්වය මුළුමනින්ම නොමිලයේ. ඒ නිසා අද ඊයේ අලුතින්ම කැනඩාවට එන කෙනෙකුට වුණත් පුස්තකාලය පරිහරණය කරන්න පුළුවන්. පුස්තකාලයෙන් එක් අයෙකුට එක වරකට පොත් පත්, සීඩී, හෝ ඩීවීඩී පට 40 ක ප්‍රමාණයක් අරගන්න පුළුවන්. පවුලේ සාමාජිකයන් හතර දෙනෙක් ඉන්නවා නම් ඒ හතර දෙනාට එකවර පුස්තකාල පොත පත, සිනමා පට 160 ක ප්‍රමාණයක් අරගෙන යන්න පුළුවන්. මේවා භාර දෙන්න ටිකක් පරක්කු වුණා කියලා ප්‍රමාද ගාස්තුවක්වත් අය කරන්නේ නැහැ.

ඒ වගේම තමන්ට අවශ්‍ය පොත පත ගෙදර සිටම ඉල්ලුම් කරන්නට, ඒවා තමන් ආසන්නයේම තියෙන පුස්තකාල ශාකාවකට ගෙන්වා ගන්නට වගේම පොත කියැවීමෙන් පසු තමන් කැමැති පුස්තකාල ශාකාවකට ඒවා භාර දීමේ පහසුව පුස්තකාල සේවාවෙන් ලැබෙනවා. තමන්ට අවශ්‍ය පොතක් තමන්ට ආසන්න නගරයේ හෝ ගමේ පුස්තකාලයේ නැති අවස්ථාවක දුර බැහැර තියෙන මහජන පුස්තකාලයකින් හරි සරසවි පුස්තකාලයකින් ඒවා තමන් කැමැති පුස්තකාල ශාකාවකට ගෙනැවිත් දෙන්නත් පුස්තකාල සේවාව සැදී පැහැදී ඉන්නවා. ඔබ සොයන්නේ කිසිම පුස්තකාලයක තවමත් දකින්නට නැති අලුතින්ම නිකුත් වූ පොතක් නම්, ඔබ කළ යුත්තේ ඒ බව පුස්තකාලයට දැනුම් දීම පමණයි. ඔබ වෙනුවෙන් ඒ පොත පත මිලදී ගෙන ඒ කෘතිය කියැවීමේ මුල්ම අවස්ථාව ඔබට ලබා දෙන්නට පුස්තකාල සේවාව සූදානම්. මේ කිසිම කාරණාවක් වෙනුවෙන් ඔබෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ.

කැනේඩියානු පුස්තකාල ජාලයෙන් සිදු කෙරෙන්නේ සම්ප්‍රදායික පුස්තකාල සේවාව පමණක් නෙමෙයි. නිරන්තරයෙන්ම ලෝකය පුරා විවිධාකාර රටවලින් කැනඩාවට සංක්‍රමණය වන පිරිස වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාව පුරුදු පුහුණු කිරීම, රැකියා අවස්ථාවන්ට අවශ්‍ය පෙර සූදානම් කටයුතු, ජීවිතය ගොඩ නගා ගන්නට මග පෙන්වන වැඩ සහටන් බොහොමයක් පුස්තකාලය හරහා නොමිලයේ ලැබෙනවා. මීට අමතරව විවිධාකාර වැඩසහටන් ක්‍රියාත්මක කෙරෙනවා. මා සම්බන්ධ වී සිටින සරේ පුස්තකාල ජාලයට පමණක් 2024 අවුරුද්දේ එවැනි වැඩසහටන්‌ සදහා සහභාගි වූ දරුවන් ගණන 121,182ක්. තවත් 35,239ක වැඩිහිටියන් පිරිසක් වැඩිහිටියන්ගේ වැඩසහටන් සදහා සහභාගි වුණා. දරුවන්ගේ පාසල් නිවාඩු කාලයේ තියෙන කියැවීමේ මාසය වෙනුවෙන් (Summer Reading Club) වෙනුවෙන් සරේ පුස්තකාලය ජාලයට 2024 වසරේ දී පමණක් සහභාගි වූ දරුවන් ගණන 17,727ක්. මේ සියලුම වැඩසහටන් මුළුමනින්ම නොමිලයේ පැවැත්වූ ඒවා. සමස්ත කැනඩාවම ගත්තම ඔය විදියේ වැඩසටහන් වෙනුවෙන් සහභාගි වූ පිරිස කෝටි ගණනක්.

පුස්තකාලය‌ වෙනුවෙන් ෆෙඩරල් රජය වගේම ප්‍රාන්ත රාජ්‍ය විශේෂ අවධානයක් යොමු කරනවා. ඒකට හොදම උදාහරණයකට පසුගිය සතියේ මං මුහුණ දුන්නා. පුස්තකාල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු විදියට මා අයත් ප්‍රදේශයේ ඇමතිවරයා හමුවී කිසියම් නිල කටයුත්තක් සාකච්ඡා කරන්නට මට පැවරී තිබුණා. ඔහු බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ ප්‍රබල ඇමතිවරයෙක්. ඒ වගේම 2004 වසරේ ඉදන්ම නොකඩවා ජනතා ඡන්දයෙන් තේරී පත් වූ ජනප්‍රිය දේශපාලඥයෙක්. කෙටි සාකච්ඡාවක් සදහා මගේ නිවස ආසන්නයේ ඇති පුස්තකාල ශාකාවකට එන්න පුළුවන්දැයි විමසා මා ඇමතිවරයාට විද්‍යුත් තැපෑලෙන් පණිවිඩයක් යැව්වා. පැය 24 ක් ගත වන්නටත් මත්තෙන් ඊට කැමැත්ත පළ කරලා ඔහුගෙන් මට පිළිතුරක් ලැබුණා. නියමිත දවසේ නියමිත වේලාවට කතිකා කරගත් පරිදිම ඔහු පුස්තකාලයට පැමිණියා. පුස්තකාලාධිතිනිය පුස්තකාලයේ සංචාරයකට අප කැඳවා ගෙන යාමෙන් පස්සේ අදාළ රාජකාරිමය කටයුත්ත ඉතා සුහදව ඔහු සමග සාකච්ඡා කර ඉතා සාර්ථක විසඳුමකට එන්නට අපට හැකි වුණා. (අවුරුදු 17 ක කාලයක් අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීම කැනඩාව වගේ රටක ලොකු අභියෝගයක්. ඔහු ඒ අභියෝගය ජයගන්නට ඇත්තේ මේ ආකාරයට සිය ඇමතිධුරයේ හෝ මන්ත්‍රීධුරයේ වගකීම් නිසියාකාරව වටහා ගෙන කටයුතු කිරීම නිසා වන්නට ඇති බව මට සිතුණා).

කොහොම වුණත් පොතක් පතක් කියවන්න කිසිම පුරුද්දක් නැති, එහෙමත් නැතිනම් පොතක් අතට ගත්තත් නිදිමත හැදෙන විශාල පිරිසකුත් කැනඩාවේ ඉන්නවා කියන එකත් සටහනට එකතු කළේ නැතිනම් ඒක අඩුවක්. විශේෂයෙන්ම ලාංකේය ප්‍රජාව. මට ඇසුරු කරන්නට ලැබෙන ලාංකේය ප්‍රජාවගෙන් පුරුද්දක් විදියට පොත් කියවන්නට පුරුදු වෙච්ච පිරිස ගණන් කරන්ටන අත් දෙකේම ඇගිලි අවශ්‍ය නැහැ. ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. රුහුණු විශ්ව විද්‍යාලයේ සිංහල විශේෂ උපාධිය හදාරන අවසන් වසර සිසුවියන් දස දෙනෙකුගෛන් මහාචාර්ය ජේ. බී. දිසානායක ගැන විමසූ මොහොතක ඔවුන් කිසිවෙකුත් ජේ. බී. දිසානායක යන නාමයවත් අසා නොතිබූ බව බව මහාචාර්ය ජයන්ත අමරසිංහ මුහුණු පොතේ සටහන් කර තිබුණේ ඊයේ පෙරේදා. (මහාචාර්ය දිසානායකයන් වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් පැවැතියේ දින කිහිපයකට කලින්. මේ ප්‍රශ්නය විමසා තිබුණේ එම උපහාර උළෙලටත් පසුවයි). “සිංහල විශේෂ උපාධිය” හදාරන මේ “අවසන් වසර” සිසුන්ගේ මට්ටම මෙසේ නම් සමස්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන්ම මේ ප්‍රශ්නය විමසුවත් ලැබෙන පිළිතුර අරුම පුදුම එකක් විය යුතු බවට කිසිම සැකයක් නැහැ. අපේ රටේ සමස්ත අධ්‍යාපන අර්බුදය විතරක් නෙමෙයි කියැවීම සහ පුස්තකාලය භාවිතය ගැනත් ඊට වඩා වෙනත් සාධකයක් තවත් කුමකට ද?

අයින්ස්ටයින් හරිම ප්‍රසිද්ධයි අමතකවීම්වලට. ඒ හා සම්බන්ධ රසමුසු කතාවන් ඕන තරම් තියෙනවා. ඒත් ඔහුට අමතක නොවුණු එක දෙයක් තියෙනවා. ඒ තමයි පුස්තකාලයට යන පාර. ඒ නිසා ඔහු වරෙක් මෙහෙම කිව්වා:

The only thing you absolutely have to know is the location of the library˜
ඔබ නිසැකයෙන්ම දැන සිටිය යුත්තේ පුස්තකාලයට යන මාවතයි!

More From Author

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 11-II

බහුචිතවාදියා: තාරුණ්‍යයේ සමාජ අර්බුදය අශුභවාදයට සහ විප්‍රරූපණයකට සිඳලීමක් 

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348