ලියනගේ අමරකීර්තිගෙන් අලුත් කවි පොතක්. මේ එතුමාගේ 4 වැනි කවි පොත. ජනක ඉණිමංකඩ මිතුරා වෙසක් පෝය දා තුලනාරණ්යයේ දි පොතක් දුන්නා. අරපිරිමැසුම් දිවියක් ගැන වදවෙන අපට මේ තෑග්ග වටිනවා.
කවි කිහිපයක් ඉක්මනින් ආසාවෙන් කියෙව්වා. අමරකීර්ති කවියේ කළ පර්යේෂණ කිහිපයක් තියෙනවා. කවි බස මුදා ගැනීම ඉන් එකක්. එය සුසමාදර්ශී මැදිහත්වීමක් බවට මා ටික කලක් තිස්සේ හිතුවා. රණවීර හෝ නන්දන… මෙන් ම සේකර කළ පර්යේෂණවලට වඩා මේ උත්සාහය වෙනස්. මේ මුදා ගැනීම නොකර නූතන ම සිංහල කවියේ ඊළඟ සුසමාදර්ශය ලකුණු කරන්න බැරි බව මා කියමින් හිටියා. අනේ ගොඩක් කරුණු එකතු කළා ඒක සංයුක්තව ලියන්න. කොහොම හරි ලියන්න ඕනෙ. ඒ ලිපිගොනුව උඩ දැන් ගොඩගැහෙන්නෙ හැන්සාඩ්.. ගැසට්.
එහෙම ලියන්න නම් කෙසේ හෝ “ නිකං මිනිහෙක්” වෙන්න ඕනෙ. මං නිකං මිනිහෙක්….පොතේ 14 වැනි කවිය. 37 පිටුව. මට නම් ඒක සුපිරි කවියක්. පොතක් තුරුලු කරන් දවල් කෙටි නින්දක් නිදියන..හවස ඇවිදින..කවිද කියවන මේ නිකං මිනිහා තමයි රටක් වෙනස් කරන ශ්‍රේෂ්ඨ ලේඛකයා . ඒක තිගැස්සෙන කවියක්.
මේ පොත ලොකු පිම්මක් පැනලා. ඒකෙ දෙකක් නෑ. මගේ මතවාදයට වකාරෙට නිදසුන් තියෙනවා.
අපි දකිමින් ඉන්නෙ මහා සිහිනයක්. ඒකෙ මිහිරි කරදර හින්දා …අර නිකං මිනිහෙක් වෙන්න තියෙන ප්‍රාර්ථනය කල් යනවා. අවුලක් නෑ. අමරකීර්ති සර්..නිවුන්..ඇතුළු සීමිත පිරිස අල්ලගෙන ඉන්නවානෙ.
කලා සංස්කෘතික අඩවියේ පහසුකම් හදන සටනෙ ඉන්නෙ. බය වෙන්න එපා. වැඩේ යනවා. අපි පැතූ උදාර සංස්කෘතික ජීවිතය කියන්නෙ ම අප කවියා කියන “නිකං මිනිසුන් ” පිරි රටක් හදන එක.
ස්තුතියි සර් දිගට ම වැඩේ ඉන්න එක ගැන. ලොකු හයියක් අලුත් පොත.
හිනිදුම සුනිල් සෙනවි





