ගිනිගහන අව් සැර මොකක්ද කියලා තේරෙන්න මෙහෙම අවස්ථා එන්නත් ඕන. මුලු මහනුවරම එක තැන නතර වෙලා. දළඳා වීදියේ හෙල්ලෙන්නේ නැති වාහන තදබදය දැක්කම මං අඩිය ඉක්මන් කලේ ඉක්මනට බසයට නැගලා ගෙදර යන්න හිතාගෙන. පිළිමතලාව සිටීබී බස් තියෙන තැන හිස්.
ඉක්මනටම පාර මාරු වෙලා පිළිමතලාව පුද්ගලික බස් නැවතුමට ගිහින් බසයකට නැගගෙන, කාන්තාවක් වාඩිගෙන හිටිය තැන ඉතුරුවෙලා තිබුණ හිස් ඉඩේ මම වාඩිගත්තා. ඇති යාන්තම්, තව විනාඩි 20 ක් ඇතුලත මම ගෙදර. හිතේ තියාගෙන ඉන්න දහසක් වැඩ අතරින් එක දෙකක් හරි අද කර ගන්න පුලුවන්.

බසය, මහනුවර ඔරලෝසු කණුව ළඟ වට රවුමෙන් කරකවල අරගෙන, පරණ බන්ධනාගාරය පසුකරගෙන, බෝගම්බර ක්‍රීඩාංගණය අසලට යන්නටත් විනාඩි විස්සකට වඩා ගියාම පුංචි නොසන්සුන් කමක් හිතට ඇති වුනත්, ජංගමය දිහා බලාගෙන හිටපු හින්දත්, වාඩි ගත් තැන පහසුව හින්දත්, කාලය ගත වුණා වුනත්, ඉවසීමට පහසු වුනා කීවොත් තමා හරි.
දහඩිය ඉහින් කණින් වැක්කෙරෙන්න ගත්තමයි වටපිට බැලුවේ. බසය හිටිය තැනමයි. මගීන් ගේ නොසන්සුන් මැසිවිලි එක්ක තරමක කාලගෝට්ටියක් ඇති වෙලා බසය තුල. මගේ නාසය උඩ රැඳුන ඇස් කණ්නාඩිය පහළට ලිස්සනවා වගේ දැනුනම එයත් අතට ගෙන තෙත ටිෂූවකින් මුහුණ පිසදාගත්තා.
දරන්නට බැරිතරම් රස්නය. වාහන තදබදය වැඩිවෙන්න එක හේතුවක් රියදුරන්ගේ විනය. දිගට හරහට වාහන රිංගවීමෙන් පැටලුනු නුල් බෝලයක් වෙලා මහ පාර මැද.
අනික, කේසීසී යේ රථ ගාල පෞද්ගලික වාහන සඳහා ඉඩ ඇහිරීම. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ රජයේ වාහන ගාල් කිරීමට එම රථගාල වෙන් කර තිබුණා. ඒ සම්බන්ධව හුදී ජනයා කොතරම් දැනුවත් ද යන්න මම දන්නේ ද නැත.
අලස කල්පනාවට සුදුසු වෙලාවක් නෙවෙයි ඒ. ඒත් ලිවීමට යම් යම් සංසිද්ධීන් හිතේ පෙළගැසෙන්නේ ඉබේටම. දැන් දැන් හදවතට දැනෙන දේ පෑනෙන් උකහාගෙන පත්ඉරු මතට හලා දමන්නේ නිරායාසයෙන්මයි. ලිවීමට මගේ ඇති දැඩි කැමැත්ත අන් හැම දේටම වඩා දැන් වැඩී. ඉන් මනසට දැනෙන සුවපහසු හැඟීමට මං දැන් වැඩිපුර ආසක්ත වෙලා.
මාව කියවන බව මට දැනෙන්නට දෙන අයට වඩා වැඩියි මාව කියවලා නිශ්ශබ්දව ඉන්න පිරිස. ලිවීමට දෙන තල්ලුවක් කියවන පිරිසගේ එක වචනයක් වුවත්. දැන් දැන් ඒ එක වචනයක තල්ලුවක් නැතත් මට ලිවීමට හිතෙන එකට කිසිම බාධාවකුත් නෑ.
යාන්තමට බසය හෙලවෙනකොට, ඇදී ආව සුළං රැල්ලකින් දැනුණ සනීපය වචන කරන්නට අමාරුයි.
තවත් හෝරා අඩකට පමණ පසුව ඇවිදින වේගයෙන් බසය සේන්දු වුණා මහනුවර මහ රෝහලේ බස් නැවතුමට. එතැනත් මහ සෙනඟක් බසයට ගොඩ කර ගැනීමෙන් පසුව සාමාන්‍ය වේගයෙන් බසය ගමන් ඇරඹුවා. මගේ ඉදිරි අසුනේ කෙළවරේ වාඩිගෙන හිටිය අම්මා කෙනෙක් ” දැන් ඉතින් කොහේ ලෙඩා බලන්නද? හවස් වෙලා ඉඳලා බලලා යන්න තමා වෙන්නේ ” කියමින් හූල්ලනවා මට ඇහුණා.
වෙනදට නුවර බස් නැවතුමෙන් දහවල් දොළහට ගමන් ආරම්භ කලත්, පේරාදෙණිය රෝහල අසලට එන්න උපරිමව විනාඩි පහළොවකට වඩා යන්නේ නෑ. ඒත් අද පැය එක හමාරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට පෙර දින මහනුවර පැවති අධික තදබදය හින්දා අපහසුතාවට පත්වුන තව කී දෙනෙක්ද?
මගේ බස් නැවතුමෙන් මං බසයෙන් බැස ගන්න සැරසෙන විට, වෙනදා දැක පූරුදු නිසාවෙන් වෙන්න ඇති, “අද නම් එපා වුණා නේද මිස්, නුවර මොකක් තිබුනත් ඔහොමමයි.” කියලා කොන්දොස්තර මහතා කිව්වම, රස්නයට හා ප්‍රමාදය හේතුවෙන් රත් වෙලා හිටි මම ටිකක් නිවිලා ගියා.
කාලය කොතරම් වටිනවද?
මහනුවර වාහන තදබදයට ඉක්මන් විසඳුමක් ඉතා නුදුරේදීම ලැබේවි කියලා හිතමින් දහවල් දෙකට පමණ ඇති යාන්තම් මං ගෙදර ආවා. 😅
