ප්රියන්ජලා සෙනවිරත්න
Ravi Siriwardhana ලියා නන්දා මාලිනියගේ හඬින් ගීතවත්තන මේ ගීය මෑත කාලීනව මා ඇසූ ගීත අතරින් වඩාත්ම මා සිත කැලඹවූ ගීය යි. අද වන විට එය පන්සිය වාරයකට වඩා මා අසා ඇතිවාට සැක නැත .
එහි කියවෙන ප්රකාශය සැබෑවකි.
ජීවිතය පෙළක් ආදර සබඳතා යනු හුදු ආදර සබඳතාවක් පමණක් ම නොවේ. ඒවා මිනිස් ඇතුළාන්තයක තෙවැනි ඇහැ විවර කරවන තරම් බරපතලය.
ආදර සබඳතාවක බර තියෙන්නේ ඇසුරු කළ කාලය දිගු වන තරමට කියා කෙනෙකු කියනවා නම් එය නිවැරදි නැත. සමහර සබඳතා යනු ක්ෂණයක දැකීමක්, ඉතා කෙටිකාලීන හමුවක්, සමහර විට කිසිදා හමුවී නැතිවා වෙන්නට ද පුළුවන. හදකට දැනෙන ප්රමාණයක දිග පළල කිසිදා නිශ්චිත ව දැක්විය නොහැකිය.

එවැන්නක ඇති ශෝචනීය දේ දෙදෙනාගෙන් එක් අයකුට වෙන්ව යා යුතු මොහොත අනෙකාට ද එලෙස හැඟෙන මොහොත නොවීම ය.
ඉතින්, ඇයි යන්නේ, තමන් කොතරම් ආදරේද, තමා මෙය දරාගන්නේ කොහොම ද වැනි ප්රශ්න
එදිනට අදාළ ම නැත. අනෙකාට ඒ ප්රශ්න යොමු කරන්නට තරම් තව දුරටත් අනෙකා තමාට සමීප නැත.
බොහොමයක් අය කරන්නේ මේ මොහොතේ නිහඩ බව තෝර ගැනීමය.
මොකද අර දැනෙන ප්රශ්න ටික මතු කරන්න තව දුරටත් තමා ළඟ තමන් දන්නා තමාගේ යයි හැඟුණ පුද්ගලයා තමා අසළ නැත. සිටින්නේ තමා දන්නා සියල්ලෙන් විතැන් වූ අනෙකෙකි.
මෙය දැනෙන තැන ඇතිවන යක්ෂ නිහඬතාව, හුදෙකලාව, කියන්නෙ ම මිනිසුන්ට ජීවිතයේ හැබෑ ම පැතිකඩක් පෙන්වන තැනකි.
ඉතින් ආදරය අහිමිවීම යනු ජීවිතය අහිමිවීම නොවේ .තව දුරටත් ජීවත් විය යුතු ය.
ජීවිතය මෙතෙක් නොඇරිය දොරවල් විවර වන්නේ එතැනින් ය. තමාට ජීවත් වන්නට බොහෝ දේ තමා ළඟම තිබෙන බව මිනිසුන් දකින්නේ එවිටය. එම විවර වන මග යළි කිසිදා කිසිවෙකුට නැවතිය නොහැකිය.
මොකද, තව දුරටත් එය යමෙකු මත රැඳී යැපී යන ගමනක් නොවෙයි. තම ඇතුළාන්තය සමඟ යන ගමනකි.
බොහොමයක් කවියන්, කිවිඳියන්, ලේඛක ලේඛිකාවන් බිහි වන්නේ එතැනිනි. තමාට තමා හමුවන තැන කියන්නෙ ම අහිමි වීමට යමක් නැති බව හිතට කියා දෙන තැනය. ඉතින් තවත් කඩා වැටෙන්නට දෙයක් ලොව නැති බව හඟින තැනය. ඕනෑම දෙයක් සමග මැදිහත් ව බැඳිය හැකි තැනය. ලබා ගැනීමට, අත්පත් කර ගැනීමට ,පීඩා වීමට තරම් දෙයක් ලොව නැති බව සහසුද්දෙන් දකින තැනය.
එබැවින් ප්රතික්ෂේප වීමක් කියන්නේ ම තමාට තමා හමුවන ජීවිතයේ මෙතෙක් නොදුටු ගැඹුරු ඉසව්වක් විවර වන තැනය. එය චෝදනා, අමනාපවලින් නිරුද්ධ වූ පැහැදිලි තැනකි.






