එස්. අමුණුගම
කුසයේ දරාගෙන ඇති තෙක් දුක් විඳලා
උකුලේ හොවාගෙන ලේ කිරි කර දීලා
පුතුනේ මවුන් කල දෑ මෙතෙකැයි කියලා
දැනුනේ නෑ නේද ‘මවු දින’ තෙක් හිතිලා!
ඔබ නලවලා ඔබ සැනසුව වාර ගණන්
ඔබ සිත දන්නවද ඇගෙ ලෙංගතු බවේ තරම්
ඔබ සිතුවාද පෙරළා
ඈ දැවුනු තරම්
ඔබ සැම පැන ගියා
සවිබල ලැබුනු ගමන් !
කිසි දින ඔබෙන් ඉල්ලා ඇති වාද යමක්
වරදින තැන දි අත දී
සැනසුවා මිසක්
නැති තැන දෙන්න ඉල්ලන විට ඇවැසි යමක්
අත නැති දුකට කඳුළු
සඟවයි වී ගහක් ගලක් !
මවු ගුණ වසරකට දවසයි නම් සිහිවීම
බිවු කිරි වලට ණය බව ඔබ නොදනී තාම
පෙවු ආදරය හරහට
ගෙන දුන් සේම
පවු ඇය, ඔබ දුකින් නම් හඬනව නොකියාම !
ලෝකය දිණුව නොදිණුව මව් වරු සැවොම
ලෝකයෙ පුරාවට ඇත බැරිය වයසක් ගැන කීම
ලෝකය ඔබ අතට දෙන්නට දිවි හිමියෙන් කැප කෙරුම
ලෝකය ඔබෙ මවයි
යුතු කම ඔබේ ඇය සෙනෙහෙන් සුරැකීම !
ලෝකයම මවයි මැව්වෙ ලෝකය ඇයයි
ලෝකයෙම රජුන්
නැලවුනේ ඒ උකුලෙමයි
ඔටුන්නක් නැතත් මවට ඔබ රජෙකි රැජිනක්මයි
මුතු මැණික් රන් රිදී
නොව ඇගේ නිධානය ඔබයි ඔබෙ සෙනෙහසයි !
මවකගෙ කඳුළු පියෙකුගෙ දහඩියට සමයි
දරුවෙකු යන්න දෙන්නාටම අසම සමයි
දරු පෙම හිස තියන්
පැතුවෙ ඔබෙ දියුණුව සතුට තමයි
මව් පිය දින දෙකක් නොව එක දිනයක් විය යුතුමයි !
(ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙනි. )





