එස්. අමුණුගම
දිග හැරපු කුඩයත් දොර ඇරපු කඩයත් දෙකම එක සමානය
ඇතුල් වෙන්නත් පිටව යන්නත් හැකිය. ඒ ඔබේ මනාපය
ගන්න බඩුවත් දෙන්න මුදලත් ඇති තැනදී දෙපැත්තෙම බර එක සමානය
වහපු කඩයත් හැකිලු කුඩයත් වැඩකටම නැති දඬු ගොඩක්මය!
වැස්ස පායා
පිටව යනවිට දිය හැකි
තුතිය හදපිරි අපරිමාණය
ගත්ත බඩුවට මිළත්
හොඳ නම් ඇරුණු දොර මය වාසනාවය
නැද්ද කිසිවිට ඔබට දැනුනේ හිස්තැනක් පිරවුන ස්වාභාවය
දුන්න දේටත් ගත්ත දේටත් දෙපැත්තම බැඳිලා හමාරය!
වෙදෙක් හිටියට ලෙඩෙක් නැත්නම් වෙදා මොනවා කරන්නද
බෙහෙත් දීලා ලෙඩා මැරුණොත්
දෙන්නටම වැරදුනේ එතැනද
ගණුදෙණුව සිදුවුනේ හොඳටයි
වෙච්ච දේ ගැන වරද කාගෙද
බෙහෙත දුන්නේ පණ රකින්ටයි හුස්ම රැඳුනේ කාගේ ලඟදැයි ඉතිරි වූයේ ප්‍රශ්නයක්මද?
ලෝකය දුවන්නේ මේ ගණුදෙනු මතය
කාහට වුවත් තනි මඟ යන්නට බැරිය
පිහිටට තමා අත කිව්වට අත නැති කල දත නැතිදා උක්දඬු ලැබුනා සමය
ලොවකට වුව යන ගමනට ඉරත් හඳත් නැතිවම බැරිය!





