යුනේකා ලක්මිනි අබේරත්ත
ලෝකයේ විවිධ රටවලින් පැමිණි විවිධාකාර මිනිසුන් හමුවීමත්, ඔවුන් ඇසුරු කිරීමට ලැබීමත් ජීවිතයේ එක්තරා අන්දමක භාග්‍යයකි. උදාවන සෑම දිනකම අපට විවිධාකාර මිනිසුන් මුණ ගැසේ. සමහරු මුලු ජීවිත කාලයෙන් වැඩි කොටසක් අප අවට ගැවසුනත් අප මත කිසිදු බලපෑමක් ඇති කිරීමට සමත් නොවෙති. සමහරු කෙටි කලක්, සමහර විට දින කිහිපයක් අප ජීවිත වල රැඳී සදාකාලික මතක සටහන් තබා පිටව යති. ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ “බෙප්පෙ කැටලානෝ” එවැන්නෙකි.
2009 දී සර්වෝදය ව්‍යාපාරයේ පර්‍යේෂණයක් සඳහා මාස 6 ක කාලයකට, පර්යේෂණ සහායිකාවක් ලෙස කොන්ත්‍රත් පදනමේ රැකියාවක් කිරීමට අවස්ථාවක් ලැබී මම ගාලු පුරවරයට ගියෙමි.අපේ කාර්‍යාලය පිහිටා ිබුණේ ගාල්ලේ ජූල් ගහ හන්දිය අසල දෙමහල් නිවසකය. උඩ තට්ටුවේ කාර්‍යාලය තිබූ අතර යට තට්ටුවේ අපේ කණ්ඩායමේ කාන්තාවන් නවාතැන් ගෙන සිටියහ.
බෙප්පෙ පැමිණියේ එක්තරා ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක පුහුණු කරුවෙක් වශයෙනි. ඔහු ඉතාලියේ ළමා පුවත්පත් සහ සඟරා සඳහා චිත්‍ර අඳින චිත්‍ර ශිපියෙකි. ලංකාවේ සිබිල් වෙත්තසිංහ මහත්මිය වගේය. ළමයින් උදෙසා චිත්‍ර ඇඳීම වෙනම කලාවකි. ලංකාවේ පෙරපාසල් ගුරුවරියන් ළමුන් සඳහා චිත්‍ර ඇඳීමේ කලාවේ ඇති ගැඹුර සහ සංකල්පමය වැදගත්කම තේරුම් නොගැනීම පිළිබඳව බෙප්පෙ සිටියේ කනස්සල්ලෙනි.
එවකට 34 හැවිරිදි වූ ඔහු අඩි 6 ක් උස දුඹුරු පැහැති ඇස් ඇති කඩවසම් තරුණයෙකු විය. ඔහු වෙනස් මිනිසෙකි. සොබා දහම, චිත්‍ර සහ සංචාරය ඔහුගේ ජීවිතයේ එකම අරමුණ බව ඔහු මට කිවේය. මා නොපැකිලව හා චකිතයකින් තොරව ඉතා විවෘතව කතා බහ කරන නිසා මා සමග සිටින විට මහත් සුව පහසු බවක් ඔහුට දැනෙන බවද ඔහු නිතර කීවේය. “ Whatever the situation you can make anyone comfortable ” යන්න ඔහු නිතර කී කතාවකි. එය ව්‍යාජ වර්ණනාවක් නොවීය. අප අතර සැබැවින්ම ඉතා හොඳ මිත්‍රත්වයක් ඇති වීමට ඔහුගේ මේ සුහද ආකල්පය බොහෝ දුරට හේතු විය.
“I am the person who survive under the sky” යන්න ඔහු ඔහු ගැන හඳුන්වා දුන් විදියයි. ඔහු එයින් අදහස් කළේ මිනිසෙකුට පවතින්නට විසල් අහස යට හැම දෙයක්ම තිබෙන බවයි.
ඔහු අහසට පෙම් කළේය. උදෑසනද, දහවල හා සැන්දෑවද , රාත්‍රියේ දිගු වේලාවක්ද විවෘත අහස යට සිටීමට ඔහු ප්‍රිය කලේය. “ඔබ දන්නවද දවල් කාලෙටත්, රාත්‍රියටත් දෙකටම අයිති නැති වෙලාවක් දවසේ උදාවන බව” දිනක් ඔහු මගෙන් ඇසීය. මා වික්ෂිප්ත වූ විට ඔහු කීවේ සැන්දෑවක ගාලු කොටු පවුරේ ඔහු සමග ඇවිදින්නට එන ලෙසයි. අපේ සංස්කෘතිය පිළිඹඳ යම් තරමක අවබෝධයක් ඔහුට තිබුණ බැවින් මා පිළිතුරු දෙන්නට පෙරම කීවේ
” මම දන්නව. ඔයාට ඒක අපහසුයි. හැබැයි මට පුලුවන් මෙහෙම යෝජනාවක් කරන්න. ගාලු කොටුව ඇතුළෙ ගෙදරක ඉන්න මම දන්න වයසක මනුස්සයෙක් ඉන්නව. එයා හැම හවසකම මුහුදු වෙරලෙ ඇවිදිනව. මම එයාටත් කතා කරන්නම් ” කියාය.
ඊට පසු දිනෙක මම සැන්දෑවේ ගාලු කොටුවට ගියෙමි. බෙප්පෙ සහ ඔහුගේ මහලු මිතුරා එහිදී මා හමුවීමට බලා සිටියහ. ඔහු අපේ රටේ කෙනෙකු නිසා මෙහිදී ඔහුගේ නම සඳහන් නොකරමි. ගාලු කොටුව තුළ ඕලන්ද මෝස්තරයේ පැරණි නිවසක හිමිකරුවෙකු වූ ඔහු ධනවතෙකි. ඔහුගේ එකම දියණිය ඔ්රෙලියාවේ ජීවත්වන්නීය. එහෙත් ඔහුත් ඔහුගේ බිරිඳත් තම නිවස සහ ගාලු මුහුදු තීරය අතහැර ජීවත් වීමට කැමැත්තක් නොතිබූ නිසා වෙනත් රටක පදිංචියට යාමට අකමැති වූ බව පැවසූ ඔහු, ඔහුගේ නිවසට යාමට අපට ආරාධනාද කලේය.
ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ” වයින් ” රසිකයෙකි. ලෝකයේ විවිධ රටවල නිෂ්පාදිත වයින් වර්ග රාශියක හිස් බෝතල් ඔහු සතුව තිබුණී. ඔහු කොතරම් අභිරුචියකින් වයින් වර්ග පිළිබඳව විස්තර කළේද යත් තමාට එවේළේ වයින් පිපාසයක් ඇතිවූ බව බෙප්පෙ මට පසුව කීවේය. බෙප්පෙ ඉතාලි ජාතිකයෙකු නිසා ඔහුගේ එකතුවේ තිබූ දම් පැහැති ඉතාලි වයින් වර්ගයකින් ඒ මහලු මහතා අපට සංග්‍රහ කලේය. ඔහුගේ බිරිඳද ඉතා උණුසුම් ලෙස වයින් සාදයට සහභාගී වූවාය. මට ඇත්තටම සිතුණේ ඔවුන් කෙතරම් මිහිරි මිනිසුන්ද කියායි.
ඉන් පසු අප තිදෙනා ගාලු කොටු පවුරේ ඇවිදින්නට ගියෙමු. තරුණ මිනිසා සහ මහලු මිනිසා සමග ගාලු පවුරේ පැරණි අටල්ලක කෙළවර වාඩි වී මුහුද දෙස බලාගෙන වයින් හෝ බියර් එකක් බීමේ ආස්වාදය අතිශය සොඳුරු එකක් විය.
තිදෙනාම සමාන හදවත් ඇත්තවුන් වූ නිසා කතාබහ ඉතා සොඳුරු විය. සංගීතය, පොත්පත්, මිනිසුන්, සංචාර පිළිබඳව ඔවුන් බොහොදේ කතා කලේය. මට ඒ කාලයේ දූපතෙන් පිටත අත්දැකීම් තිබුණේ නැත. මම ඔවුන්ගේ කතාබහ රසවින්දෙමි.
ඉර බැසගිය නිමේෂයේ බෙප්පෙ කියූ දහවලටත් නැති රාත්‍රියටත් නැති කාලය මටද හමුවිය. හිරු නැති වුණත් ලොකු අඳුරකුත් නැත. මීට පෙරද මෙතනදී නොවුණත් බොහෝ තැන්වලදී මේ සොඳුරු අඩ හෝරාව මට හමුවී තිබිණි. එහෙත් මා එහි හැඩය, වර්ණය හෝ ඒ තුළ ඇති සංහිඳියාව මගේ මනසින් අල්ලා ගත්තේ නැත. ඒ අඩ හෝරාවේදී ලෝකය අලු පාටය. අලු පාට මුහුද හා අහස මායිමේ යාන්තමට රන්වන් රේඛාවක බැසගිය ඉරේ සේයාවක් විය.
ඒ සැන්දෑවෙන් පසු මම බෙප්පෙ සමග තනිවමත්, ඔහුගේ මිතුරා සහ ඔහු සමගත් ගාලු කොටු බැම්මේ වයින් සන්ධ්‍යාවන් කිහිපයක්ම ගත කළෙමි. මහලු මහතා වයින් වලට අමතරව Beattls , Abba, BoneyM වැනි සංගීත කණ්ඩායම් වල ඉංග්‍රීසි ගීත පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකු විය. ඔහු වඩාත් ප්‍රියකල ගීතය වූයේ ෂෙරිල් ක්‍රෝ ගයන “ the first cut is the deepest ” නැමැති ගීතයයි. එය Amarican country music ආශ්‍රයෙන් නිපදවූ ගීතයක් බව ඔහු කීවේය.
බෙප්පෙ තමා අහස යට මිනිසෙකු බව කී විට ඔහුගේ මහලු මිතුරා කීවේ ” තමා ගාලු අහස යට මියයන්නට කැමති මිනිසෙකු බවයි.
මගේ රැකියාව අවසන් වූ පසු මම ආපසු ආවෙමි. බෙප්පෙ තවත් වසරකට පසු වෙනත් රටක අහසක් සොයා ගියේය. තද බල ලෙස අසනීප වීම නිසා බෙප්පෙගේ මහලු මිතුරාව ඔහුගේ දියණිය විසින් ඕස්ට්‍ට්‍රේලියා වට ගෙන යන ලදී. ගාලු අහස යට මියෙන්නට පැතූ ඔහු නොදන්නා ඔස්ට්‍ට්‍රේලියාවේ අහස යටදී මියගිය බව, තමාගේ මව්බිම වූ ඉතාලි අහස යට හිඳිමින් බෙප්පෙ මට ලියා එවීය.
මා අවසන් වරට බෙප්පෙගෙන් email පණිවිඩයක් ලැබූවේ පසුගිය වසරේදීය. එවිට ඔහු සිටියේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි අහස යටය. ලෝකයේ කොහේ අහසක් යට සිටියත් ඔහු කිසිදිනක තමා සමග අහස යට සොඳුරු නිමේෂයන් ගතකල මිනිසුන් අමතක නොකරයි.





