ඇමරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාවේ ආරක්ෂක අංශයේ ඉහළ ම තනතුරක් වන ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් ත්‍ඊෂ හි අධ්‍යක්ෂවරයා ලෙස ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකානු පුරවැසියකු පත්කර තිබේ. ඒ, කාෂ්‍යප් ප්‍රමෝද් විනෝද් පටෙල් හෙවත්, කාෂ් පටෙල් ය.
2025 පෙබරවාරි 21 වන දින, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ 9 වන අධ්‍යක්ෂවරයා ලෙස පටෙල් දිවුරුම් දුන්නේ නීතිපති පෑම් බොන්ඩි ඉදිරියේ ය. ට්‍රම්ප්ගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට දිනකට පෙර එනම් 2025 ජනවාරි 19 වන දින ඉල්ලා අස්වූ ක්‍රිස් ව්රේ වෙනුවට ඔහු පත්කරනු ලැබී ය. මෙම පත්වීමත් සමඟ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයට පත් වූ පළමු ඉන්දියානු ඇමරිකානුවා සහ පළමු හින්දු ඇමරිකානුවා බවට පටෙල් ඉතිහාසයට එක් වී ය.
1980 පෙබරවාරි 25 වැනි දා ඇමරිකානු පුරවැසියකු ලෙස නිව්යෝර්ක් හි උපත ලද කාෂ් පටෙල් පසුගිය පෙබරවාරි 25 වන දා එම ධූරයේ දිවුරුම් දුන්නේ ඇමරිකානුවකු ලෙස නොව, නියම ඉන්දියානුවකු ලෙස ‘භගවත් ගීතාව’ මත අත තබාගෙන වීම ආසියාතිකයන් වන අපට එක්තරා ආකාරයට මහත් සොමිනසකි.
කාෂ් පටෙල්ගේ මව්පියන් ඇමරිකාවට සංක්‍රමණය වී තිබෙන්නේ, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භද්‍රන් ප්‍රදේශයේ සිටය. ඊට වසර ගණනාවකට පමණ පෙර ඔවුන් උගන්ඩාවට සංක්‍රමණය වී ඇති අතර, එහි දී ඔවුනට එහි පැවැති වාර්ගික හිංසනයන්ට මුහුණ දෙන්නට සිදුව ඇති අතර, 1970 ගණන්වල දී ඉඩි අමීන් විසින් ඔවුන් උගන්ඩාවෙන් නෙරපා හරිනු ලැබීය. අනතුරුව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාවේ සරණාගතභාවය සඳහා ඉල්ලුම් කළ ඔවුන් කෙටි කලකට නැවත ඉන්දියාවට පැමිණ තිබේ. කැනඩාව ඔවුන්ගේ අයදුම්පත් භාර ගැනීමෙන් අනතුරුව ඔවුන් කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර, ඔවුන් එක්සත් ජනපදයට සංක්‍රමණය වී ඇත්තේ ඉන් අනතුරුව ය.
ඇමරිකාවට පැමිණි පසු කාෂ් පටෙල්ගේ පියා ගුවන් සේවා සමාගමක මූල්‍ය නිලධාරියකු ලෙස සේවය කිරීමට පටන්ගත් අතර, කුඩා කාෂ් හැදී වැඩුණේ හින්දු ඇදහිල්ලේ ඇසුර ලබමිනි. තම මව ටැන්සානියාවේ උපන් බවත්, තම මාපියන් ඉන්දියාවේ ඉගෙනුම ලැබූ බවත්, ඔවුන් විවාහ වී ඇත්තේ එහි දී බවත් ඔහු වරක් පවසා තිබේ.
කාෂ් පටෙල් නිව්යෝක් නුවර ලෝන්ග් අයිලන්ඩ් හි පිහිටි ‘ගාර්ඩන් සිටි’ උසස් පාසලෙන් උපාධිය ලබා ගත්තේ ය. උසස් අධ්‍යාපනයෙන් පසු 2002 දී ඔහු ‘රිච්මන්ඩ්’ විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය සහ අපරාධ යුක්තිය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තේ ය. 2004 දී ඔහු එංගලන්තයේ ‘ලන්ඩන් යුනිවර්සිටි’ කොලීජියෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ සහතිකයක් ලබාගත් අතර, 2005 දී ඔහු ‘ජේස්’ විශ්වවිද්‍යාලයේ නීති විද්‍යාලයෙන් ‘ජුරිස්’ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. නීති විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ෆ්ලොරිඩාවට ගිය ඔහු 2006 අප්‍රේල් මාසයේ දී ෆ්ලොරිඩා නීතීඥ සංගමයේ සාමාජිකයකු බවට පත් වීය. ඉන්පසු ඊළඟ වසර අට ඔහු, පළමුව මියාමි-ඩේඩ් ප්‍රාන්ත මහජන ආරක්ෂක කාර්යාලයෙත්, පසුව ෆෙඩරල් මහජන ආරක්ෂකයකු ලෙසත් සේවය කළේ ය.
2014 දී ඔහු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක අංශයේ නඩු විභාග නීතීඥවරයකු ලෙස බඳවා ගන්නා ලද අතර, එහි දී ඔහු ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් විධානයට නීතිමය සම්බන්ධකයකු ලෙස ද සේවය කළේය. 2017 දී, ඔහු හවුස් ඔත්තු කමිටුවේ ත්‍රස්තවාදයට එරෙහි ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරනු ලැබීය. 2017 අප්‍රේල් මාසයේ දී හවුස් ඔත්තු සේවා කමිටු සභාපති ඩෙවින් නූන්ස්ගේ ජ්‍යෙෂ්ඨ කමිටු සහායකයා බවට පත්වීම් ලද ඔහු 2016 මැතිවරණයේ දී ට්‍රම්ප් – රුසියානු මැදිහත්වීම් පිළිබඳ විමර්ශනවලට එල්ලවූ රිපබ්ලිකන් විරුද්ධත්වය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කළේය. ඉන්පසු 2019 වසරේ දී නිවාස ප්‍රතිසංස්කරණ සහ අධීක්ෂණ කමිටුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස මාසයක පමණ කාලයක් ඔහු සේවය කළේය.
පසුගිය ට්‍රම්ප් පරිපාලනයේ දී එනම්, 2019 පෙබරවාරි මාසයේ දී ඔහු ජාත්‍යන්තර සංවිධාන සහ සන්ධාන අධ්‍යක්ෂක මණ්ඩලයට අනුබද්ධ ජාතික ආරක්ෂක කවුන්සිලයේ (භීක්) කාර්යමණ්ඩලයට බඳවාගන්නා ලද අතර, 2019 ජූලි මාසයේ දී ඔහු ත්‍රස්ත මර්දන අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයා බවට පත් වීය. එය ඔහු වෙනුවෙන් ම නිර්මාණය කරන ලද නව තනතුරක් බව කියැවේ. ‘වෝල් ස්ට්‍රීට් ජර්නලයට‘ අනුව, කාෂ් පටෙල් 2020 මුල් භාගයේ දී දමස්කස් වෙත රහසිගත මෙහෙයුමක් දියත් කළේය. ඒ, සිරියානු රජය රඳවාගෙන සිටි මජ්ඩ් කමල්මාස් සහ ඔස්ටින් ටයිස් යන මාධ්‍යවේදීන් නිදහස් කරගැනීම සඳහාය. එහෙත්, එම සාකච්ඡා සාර්ථක නොවීය.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI)අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම් ලබන්නට පෙර එසේ විවිධ ඉහළ තනතුරු රැසක ඔහු කටයුතු කරමින් සිටියේය. ඔහු මේ වනවිට ඉහත අධ්‍යක්ෂ ධූරයේ වැඩකටයුතුවලට අමතරව මධ්‍යසාර, දුම්කොළ සහ ගිනිඅවි කාර්යාංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරමින් සිටී.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශය පළමුවරට ඇමරිකාවේ ආරම්භ කර ඇත්තේ, 1908 වසරේ දීය. එදා සිට අද දක්වා එයට නායකත්වය දෙනු ලබන්නේ තනි පුද්ගලයකු විසිනි. මුල් කාලයේ එම තනතු ර Chief හෙවත් ‘ප්‍රධානියා’ ලෙස හඳුන්වන ලද අතර, 1919 පටන් එය ‘අධ්‍යක්ෂ’ නමින් හැඳින්වේ කාෂ් පටෙල් යනු ඇමරිකානු ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු පමණක් නොවේ. ඔහු සුප්‍රකට ලේඛකයෙකි. 2022 ප්‍රකාශයට පත් The Plot Against the King
ළමාකතා මාලාවේ කතුවරයා ඔහු ය. සාහිත්‍ය තුළ දේශපාලනය සඟවා ඉදිරිපත් කරන්නකු ලෙස ප්‍රකට ඔහුගේ මෙම කතා මාලාව තුළ 2016 එක්සත් ජනපද මැතිවරණයට රුසියානු මැදිහත්වීම් ව්‍යංගයෙන් දක්වා ඇතැයි විචාරකයෝ පවසති. එසේ ම, 2023 දී ඔහු විසින් ලියා පළකරන ලද The Deep State – Government Gangsters කෘතිය මගින් ‘පාතාල රාජ්‍යයේ’ සාමාජිකයන් යැයි ඔහු විශ්වාස කරන ජෝ බයිඩන්, කමලා හැරිස්, හිලරි ක්ලින්ටන්, මෙරික් ගාර්ලන්ඩ්, බිල් බාර්, රොබට් මුලර්, ජේම්ස් කොමේ, මාර්ක් එස්පර් සහ රොබට් හර් වැනි පුද්ගලයින් 60 දෙනකු ලැයිස්තුගත කර තිබේ. ඊට අමතරව ඔහු තමාගේ වෘත්තීය හා දේශපාලන අත්දැකීම් ජෑන් ජැකිලෙක් නම් නිෂ්පාදකයා සමඟ එක්ව Epoch Times නිෂ්පාදන එකතුවකට ඇතුළත් කර ඇති අතර, kash Corner නම් එම ශ්‍රව්‍ය තැටි මාලාව බොහෝ ඇමරිකානුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ප්‍රබල ට්‍රම්ප් හිතවාදියකු වන පටෙල්ට 2024 වසරේ දී කොටස් හයකින් යුත් චිත්‍රපට මාලාවක් වන All the President’s Men( The Conspiracy Against Trump හි පෙනී සිටීම සඳහා ඩොලර් 25,000ක් ගෙවනු ලැබී ය. මෙම චිත්‍රපට මාලාව ඇමරිකානු ජාතිකයකු වන ඊගෝර් ලොපටොනොක් සහ තවත් රුසියානු ජාතිකයකු සතු සමාගමක් විසින් නිපදවනු ලැබ තිබේ. මෙම රුසියානුවා ‘පාතාල රාජ්‍යයේ’ කුමන්ත්‍රණ න්‍යායන්ට චෝදනා කරන අතර, රුසියානු රජයේ ආඛ්‍යාන ප්‍රවර්ධනය කරමින් චිත්‍රපට නිපදවූ පුරවැසියෙකු බව සඳහන් ය. මෙම කතා මාලාව 2024 නොවැම්බර් මාසයේ දී ‘ටකර් කාල්සන්’ නමැති සමාජමාධ්‍ය ජාලයේ විකාශය වූ අතර, පටෙල් එහි පෙනී සිටියේ ‘පාතාල රාජ්‍යයේ’ ක්‍රියාකාරකම්වලට ගොදුරු වූ පුද්ගලයකු ලෙස ය.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පටෙල් නම් කරමින් ඔහුගේ නාමයෝජනාව නිවේදනය කරද්දී ඔහු මෙම තනතුරට නම් කිරීමට හේතු වූයේ, රුසියාවේ ප්‍රෝඩාව හෙළිදරව් කිරීමේ දී පටෙල් අනුගමනය කළ භූමිකාවත්, සත්‍යය, වගවීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් වන ඔහුගේ නිරන්තර පෙනී සිටීමත් බව ට්‍රම්ප් විශේෂයෙන් සඳහන් කළේ ය. ඔහුගේ නාමයෝජනාව ඉදිරිපත්වීමෙන් පසු පටෙල් ඉරාන හැකර්වරුන්ගේ ඉලක්කයක් බවට පත්වූ අතර, ඔවුන් ඔහුගේ සමහර සන්නිවේදන වෙත ප්‍රවේශ වීමට පවා කටයුතු කළේ ය. 2025 ජනවාරි 30 වන දින ඔහුගේ නාමයෝජනා විභාගය පවත්වන ලද්දේ සෙනෙට් අධිකරණ කමිටුව ඉදිරියේ දී ය.
ඊට දින දෙකකට පෙර, හිටපු රිපබ්ලිකන් නිලධාරීන් 23 දෙනකු ලිපියක් නිකුත් කරමින් කියා සිටියේ, ඔහුගේ තහවුරු කිරීම ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පැවැත්මට අනතුරක් වන සහ එහි තීරණාත්මක මෙහෙවරට තර්ජනයක් වන බරපතල වැරැද්දක් වනු ඇති බව ය. මන්ද ඔහු පළිගැනීමට පෙළඹී සිටින බවත්, ඔහුගේ සතුරු ලැයිස්තුවේ සිටින පුද්ගලයන් පසුපස හඹා යන බව ඔහු කිහිපවරක් ම නැවත නැවත ප්‍රකාශ කර ඇති බවත් ඔවුහු එමගින් හෙළිකර සිටිය හ. එම ලිපියට අත්සන් කළ අය අතර අධිකරණ දෙපාර්තමේන්තු හතරක රිපබ්ලිකන් පරිපාලන නිලධාරීන් බොහෝ දෙනෙක් සිටියහ.
ඒ කිසිවක් නොතකා නාමයෝජනා ලිපියට ට්‍රම්ප් අත්සන් තැබූ අතර, ධවල මන්දිරයේ හිටපු නීතිඥයකු වන ටයි කෝබ් මේ සම්බන්ධයෙන් පැවසුවේ, පටෙල් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක වීමට චරිතයෙන් හෝ අත්දැකීම්වලින් හෝ කිසිසේත් ම නුසුදුසු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට සැබෑ අනතුරක් වන ඔහු නිසැකව ම ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හදවතට පිහියෙන් අනින්නකු වන බවත් ය.
විරුද්ධ පාක්ෂිකයන්ගේ මෙවැනි තදබල විරෝධතාවලට පටෙල් විසින් යම් යම් අවස්ථාවල කරන ලද තියුණු ප්‍රකාශයන් ද බලපා තිබේ. ඉන් එක් ප්‍රකාශයක් මෙසේ ය. “අපි රජයේ පමණක් නොව, මාධ්‍ය තුළ ද සිටින කුමන්ත්‍රණකරුවන් සොයා ගන්නෙමු. ඇමරිකානු පුරවැසියන් ගැන බොරු පැවසූ, ජෝ බයිඩන්ට ජනාධිපතිවරණ වංචා කිරීමට උදව් කළ මාධ්‍යවල සිටින පුද්ගලයන් සොයා අපි යන්නෙමු. අපි ඔබ පසුපස එන්නෙමු. එය අපරාධකාරී හෝ සිවිල් හෝ වේවා අපි එය සොයා ගනිමු. ඔව්, අපි ඔබ සැමට දැනුම් දෙමු. එනිසා යි, ඔවුන් අපට වෛර කරන්නේ. මේ නිසා තමයි අපි ඒකාධිපති වෙන්නේ. මේ නිසා තමයි අපි ඒකාධිපතියන් වෙන්නේ. මොකද අපි ඇත්තටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතා කරලා තමයි ඔවුන්ට නඩු පවරන්න යන්නේ. හැම විටම වැරදිකරුවන් අපි කියා කීවත්, කවදාවත් අපි වැරදිකරුවන් වී නැහැ” මේ සියලු විරෝධතා විභාග කරන ලද අතර, ඒවා සාවද්‍ය බව තහවුරු කරමින් පටෙල් පිළිතුරු දුන්නේ ය. අවසානයේ පෙබරවාරි 18 වන දින සෙනෙට් සභාව විසින් පටෙල්ගේ නාමයෝජනාව සම්පූර්ණ සෙනෙට් සභා ඡන්දයක් සඳහා ඉදිරිපත් කළ යුතු ද නැති ද යන්න විමසා බැලීමට පක්ෂ පක්ෂ මට්ටමින් ඡන්දයක් විමසනු ලැබී ය. එහි දී ප්‍රකාශිත 48-45 වූ ඡන්ද ප්‍රතිඵලයට අනුව පෙබරවාරි 20 වන දින සෙනෙට් සභා ඡන්දය පවත්වනු ලැබී ය. එහි දී පටෙල්ට පක්ෂව ඡන්ද 51ක් සහ ඔහුට විරුද්ධව ඡන්ද 49ක් ලැබී තිබිණි. ඒ අනුව, පටෙල්ගේ නාමයෝජනාව වැඩි ඡන්ද දෙකකින් තහවුරු වී ය
දිව්රුම් දුන් දිනට පසු දින පටෙල් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පැවසුවේ, වොෂින්ටන් කාර්යාලයේ සිටි සේවකයන් 1,000 ක් පමණ රට පුරා පිහිටි ක්ෂේත්‍ර කාර්යාල වෙත මාරු කිරීමටත්, ඇලබාමා හි පිහිටිග හන්ට්ස්විල් FBI ආයතනයට තවත් 500 ක් දෙනා ගෙන යාමටත් සැලසුම් කර ඇති බව ය.
පටෙල් නෙවාඩාවල සහ වොෂින්ටන් ඩී.සී යන දෙකෙහි ම වාසය කරයි. ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව අයිස් හොකී ක්‍රීඩාවයි. තවමත් අවිවාහකයකු වන ඔහු 2023 මුල් භාගයේ සිට ඇමරිකානු සංගීත ශිල්පිනියක සහ දේශපාලන විචාරකාවක වන ඇලෙක්සිස් විල්කින්ස් සමඟ පෙම් සබඳතාවක් පවත්වයි.
ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ඔහු දිවුරුම් දෙන උත්සවයේ ඔහු ළඟින් ම සිටියේත්, ඔහු දිවුරුම් දෙන අතරතුර ඔහු අත තබාගෙන සිටි ‘භගවත් ගීතාව’ දරමින් සිටියේත් ඇය යි.
අනුර බී. සෙනෙවිරත්න