ලේඛිකා රේනුකා ඉලංගකෝන් මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්රශ්නය: ඔබ ලේඛකත්වයේ වරම් ලැබුවේ කෙසේද?
පිළිතුර: මම ලේඛනයට පිවිසුනේ අහම්බෙන් කීවොත් තමයි හරි. පාසල් කාලයේ පොඩි පොඩි නිසඳැස් ලිව්වත් මුහුණුපොතේ පල කරපු කවියක් නිසා තමයි මෙතෙක් දුර ආවේ. මගේ නිර්මාණ මුහුණුපොතේ ගොඩක් අය රස වින්ඳා වගේම ඒ අය මගේ කවි ගැන දක්වපු අදහස් නිසා මට ලැබුණු උත්තේජනය තමයි මේ කවි පොත කරන්න රුකුලක් වුණේ. 2021 අවුරුද්දේ මම මගේ මුල්ම කවි පොත සසැලෙන කඳු එළිදැක්වූවා.
ප්රශ්නය: ඔබ 2021දී එළිදැක්වූ “සසලෙන කදු” කාව්‍ය සංග්‍රහය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත්?
පිළිතුර: එයට මගේ නිර්මාණ 53 ක් අඩංගු වුනා. මගේ නිර්මාණ එකක්වත් මම ආයාසයෙන් ලියපුවා නෙවෙයි. ඒක නිරායාස ලියවිල්ලක්. යම් දෙයක් නැත්නම් සිතිවිල්ලක් මගේ හිතට ආවම මම ඒ අදහස් ලියාගෙන ලියාගෙන යනවා. ඒ කටු සටහන් තමයි නැවත නැවත කියවලා කපලා කොටලා කවියක් විදියට එලියට ආවේ. මා අතින් වැඩිපුරම ලියැවෙන්නේ ආදරය සහ විරහව යි. ඒක මට ගොඩක් අය කියලා තියෙනවා. ඒවගේම මම සොබාදහම ගැනත් මානුෂීය හැගීම් හා බැඳීම් ගැනත් ලියනවා.මෙහි ඇති කවි එකකට එකක් වෙනස්. කවිය අභ්‍යාස කරන අදහසින් එහි හයිකු කවි කීපයකුත් එක් කළා.

ප්රශ්නය: ඔබේ කවියට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?
පිළිතුර: ඇත්තටම මගේ කවි හොය හොයා කියවන ආදරණීය පාඨක පිරිසක් වගේම මගේ කවියක් දුටුවාම ඒ ගැන හොඳ වගේම අඩුපාඩුත් කියන අය ඉන්නවා. ඒක මට සතුටක්. ගොඩක් අය ඒ කවි තමන්ගේ කරගෙන රස විඳින බව කීවාම මට ඇත්තටම ඒක සම්මානයක් තරම් වැදගත්. මේ කවි ගොඩක් පත්තර වල සඟරා වල පල වෙනවා. ඉතින් මට හරිම සතුටුයි මගේ කවි කියවා රස විඳින සහෘද පිරිසක් කියන්නේ මගේ වත්කමක්. ඒක මට පුදුම සතුටක්.
ප්රශ්නය: සාහිත්‍යකරුවාගේ වගකීම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර: සාහිත්‍යකරුවා කියන්නේ යම් නිර්මාණයක් කලාත්මකව සෞන්දර්යාත්මකව පාඨකයා වෙත ගෙන යමින් පාඨකයාගේ සන්ධානයේ සාධනීය ආලෝකයක් දල්වන කෙනෙක්. සාහිත්‍යකරුවා ඒ තුලින් යම් වටිනා පණිවිඩයක් හෝ උපදෙසක් දෙන අතරම මානසික වශයෙන් හා ආධ්‍යාත්මික වශයෙන් යම් සුවයක් සහනයක් සමග වින්දනීය ආනන්දයක් කියවන්නා තුළ ඉතිරි කරන ප්‍රබල සන්නිවේදකයෙක්.
කෙනෙකුගේ ආත්ම තෘප්තිය තමයි වඩාත්ම වැදගත්. සාහිත්‍යකරුවා එය තම නිර්මාණ තුළින් පෝෂණය කරනවා. යහපත් සමාජයකට ආකල්පමය වෙනසක් කල හැකි එක් ප්‍රබල මාධ්‍යයක් තමයි සාහිත්‍ය.
ප්රශ්නය: ඉදිරියට පැමිණීමට තිබෙන නව නිර්මාණ මොනවාද?
පිළිතුර: මම මට අනන්‍ය ගමනක් හෙමිහිට යනවා. එහි තරඟයක් හෝ හදිසියක් නැහැ. නමුත් දෙවන පොත කරා යොමු වෙන්න කාලය හරි කියන යෝජනාව දැනටමත් මාව කියවන අය තුළින් ම ඇවිත් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව මම සලකා බලමින් ඉන්නේ. ඉතින් නුදුරේදී මගේ ඊළඟ කවි පොත පාඨකයා අතට පත්වේවි. මුල් පොතට වඩා වැඩි යමක් එයින් දිය හැකිය කියන එක තහවුරු වූ දිනක එය ඔබ අයත් පත්වේවි.
සංවාද සටහන: සුභාෂ්
සසැලෙන කඳු|Sasalena Kandu [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





