පිරිමි ළමයි කියන්නේ ඇයි විශේෂ කට්ටියක් ද ?

මං ගිය සතියේ ඔබට කිව්වා ගැබ් ගත් වයස 13ක දියණියක් ගැන. ඇය අපහාසයට පත් කළ ඇගේ හමේ පාට ගැන. දෙවන කරුණ මම ඔබට කියන්නට පොරොන්දු වුණා. මේ කියන්න යන්නේ ඇය පහත් කොට සැලකූ දෙවන කරුණ.
ගැහැණු ළමයෙක් පළමුවර ලැබුණු ඇගේ මව පුතෙක් පළමුව නොලැබීම ගැන සෑහෙන්න දුක් වුණා. මේක අම්මලාට තියෙන රෝගයක්. පුතාලා විතරද දරුවෝ? දුවෙක් කියන්නේ දෙවනි ගනයේ මනුෂ්‍යයෙක්ද? දූවරු ඉගෙන ගන්නේ නැද්ද? ලස්සන ජීවිත ගත කරන්නේ නැද්ද? රැකියා කර මිළ මුදල් හම්බකර දියුණු වන්නට දුවලාට බැරිද?

ගැහැණු පිරිමි භේදයක් නැතිව සියලු දෙනාට ලස්සන ජීවිත ගොඩ නගා ගත හැකියි. එහෙත් තවමත් පැරණි හණමිටි ආකල්ප තියෙනවා පුතාලා තමයි වටින්නේ. පුතෙක් ඉස් ඉස්සෙල්ලාම ලැබුණොත් තමයි ගෙදර වාසනාව වගේ දේවල්. ඉතිං මේ අම්මා තමාට ලැබුණු දුවට සැලකුවේ නැහැ. ආදරෙන් බලා ගත්තේ නැහැ. පුතෙක්ම පැතුවා. ආදරය කියන්නේ හරි සුරක්ෂිත හැඟීමක්. ආදරය නොලද මේ දියණියට එවන් සුරක්ෂිත හැඟීමක් දැනුණේ නැහැ. දෙවන වරත් ඇයට ලැබුණේ දුවෙක්. ඇය යළිත් දුකෙන් කාලය ගත කළා මිස දියණිවරු දෙදෙනා ගැන බැලුවේ නැහැ. වසර නමයක් විතර ගියාට පසුව ඇය පුතෙක් ලබනවා. ඇය එයින් ඉතා සතුටට පත්ව පුතාට දිය හැකි සියලුම සැප පහසුකම් දෙමින් ආදරයෙන් බලා ගන්නවා. ගැහැණු ළමයින්ව මඟහැරීම යනවා. දරුවෙකු ආදරෙන් බලා ගැනීම ඉතා හොඳයි. ඒත් දරුවන් අතර ආදරයේ සැලකීමේ වෙනස්කම් ඇති කිරීම ඉතාම භයානක දෙයක්. එයින් කුඩා කාලයේදී දරුවන්ගේ අධ්‍යාත්මය තුවාල වෙනවා. තුවාල වූ ළදරුභාවයක් සහිතව නිරෝගී වැඩිහිටියෙක් බිහි වන්නේ නැහැ.
මේ දැරිය වෙනස්කම්වලට ලක් වන්නේ නිවසේදීමයි. සිය මවගෙන්මයි. ඇයට දකිනවා මව මල්ලීට සලකන ආකාරය. ඇය උදේ හවස රිදවන්නේ මේ වෙනස් කොට සැලකීම. ඇය ආදරය සොයා පිටතට යොමු වන්නේ නිවසක ඇති මෙම පුරුෂ මූලික ආකල්ප නිසා.
මගේ අ හිටියේ අයියලා දෙනෛක් සහ මල්ලිලා දෙදෙනෙක්. අම්මා මට කියනවා පුංචි කාලේ ආච්චි ගෙදර කොල්ලන්ට මාලු කෑලි දෙක බැගින් බත් පිඟානට බෙදපු හැටිත් අම්මාට එකම මාලු කෑල්ලක්වත් නොදුන් හැටිත්. පුතාලා උසස් කොට සලකන මේ පසුගාමී චින්තනය අම්මලාට එන්නේ කොහෙන්ද? ඒ එන්නේත් අපේ සමාජයෙන්. සමාජ නිර්මිතයක් ලෙසට. හුඟාක් ඉගෙන ගත්ත අම්මලා පවා ඉන්නවා දුවලාට වඩා පුතාලා ලොකු කර ගත්ත. ඒක උගත්කම පිළිබඳ සාධකයක් නෙමෙයි පසුගාමී සමාජ ක්‍රමවලින් ලද දෑවැද්දක්.
දුවටත් පුතාටත් එක ලෙස ආදරය කරන්න. එක ලෙස සලකන්න. එක සමාන වැදගත්කමක් දෙන්න. කවදා හරි දිකන සමානව දේපළ පවරන්න. දුව වුවත් පුතා වුවත් තමාගේ දරුවන්ය.
සමාජයට බම්බු ගහන්න කියන්න. ඔබේ දුව ඔබගේය. ඇය මලක් මෙන් සුරකින්න.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

(උපුටා ගැනීම : තරුණි පුවත්පත)

More From Author

හයිකුවෙන් දෙවියන් යැදීම හෙවත් ලුහු යැදුම් නම් කෙටි කවිය.

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 8 – III

Leave a Reply

Categories

LDM Columns