බුදුන් වැඳිල්ල..

කොච්චර විද්‍යාත්මක හා ප්‍රයෝගික චින්තනයකින් පෝෂණය වුනු කෙනෙකුට වුනත්, සමාජයීය වටිනාකම් වල අන්තර්ගතය නිසාම ප්‍රතික්ෂේප කල නොහැකි ඇතැම් සංස්කෘතිකාංග තියෙනව. බුදුන් වැඳිල්ලත් එහෙම එකක්.
බුදුන් වඳින්නෙ සාමාන්‍යයෙන් උදේ හයට එහෙම නැත්නම් හවස හයට. අපේ ගම් වල ඔය බුදුන් වැදිල්ලට ඉස්සෙල්ලා පෙර සූදානමේ හරි අපූරු වැඩ ටිකක් තියෙනව.
මල් නෙලීම සහ වට්ටියක ඇසිරීම තමයි පළවෙනි කාරිය. සමහරු ගෙදර වත්තෙන් මල් කඩනව. සමහරු අල්ලපු ගෙදර වත්තෙන්. සමහරු ගෙවල් අවට පාරවල්වල වටයක් දාල මල් කඩාගෙන එනව. බොහෝ දෙනෙක් තම තමන්ගෙ ගෙවල් අවට පාරවල් වල කිරි ඉද්ද, ඉද්ද, කහ මල් වගෙ ,අවුරුද්ද පුරා මල් පිපෙන මල් පඳුරු වවල තියෙන්නෙ පන්සලේ පූජාවල් වලට, ඉරිදා දහම් පාසලට සහ එදිනෙදා ගෙවල් වල බුදුන් වැඳිල්ලට මල් කඩන්න එන ගංගොඩේම අනිත් උදවිය වෙනුවෙනුයි.

මිරිස්හේන, මිහිරි ගී කැලේ, මිල්ලකන්ද වගෙ රාජ්‍ය වතුයායවල කෝවිලේ උත්සව දාට හිරිමල් වියේ දෙමළ ගැටවු එනව ගම්මැද්දෙ මල් කඩන්න. ගෙවතු වැටවල් අයිනෙ මිනිස්සු හිටවන්නෙම පූජා වලට ගත හැකි මල් වර්ග. පාරෙ යන කෙනෙකුටත් කඩා ගන්න පුලුවන් නිසා. ඒක අපේ මල් සංස්කෘතිය.

අසල්වැසියට හරි දෙමළට හරි පද්දට හරි කඩාගෙන ගිහින් පූජා කරන්න හැකිවෙන්න වැට අයිනෙ මල් පැලයක් හිටවපු මිනිස්සු සිය දහස් ගානක් අපේ ගම්වල පරම්පරා කිහිපයක් පුරා ජීවත් වෙලා ඉඳල මියගියා. එයාල තමයි ඒ ලස්සන මල් සංස්කෘතිය ගොඩ නැගුවෙ. ඒ සංස්කෘතිය ඇතුලෙ හැඳි ගෑරුප්පු එක්ක ආහාර විස්සක් තිහක් පිළිම ඉස්සරහ පුදන අති සුපිරි මහා දාන තිබ්බෙ නෑ. පුංචි මල් පැලයක් හිටවන්න මුල් වුනු අහිංසක චේතනාවකින් මුලු ගමක් එකට එකතු කරපු සංස්කෘතික බැම්මක් තිබ්බ. ඒ බැම්ම ගම්වල තිබ්බ යහ චර්‍යා පද්ධතිය පෝෂණය කලා.
මල් කඩාගෙන ආවට පස්සෙ මල් ටික පිළිවෙලට වට්ටියෙ අසුරනව. සුදු මල් වට්ටිය වටේට කහ මල් රවුමක්, නැත්නම් නිල් කටරොලු, දම් කොතල මල් රවුමක්. ඉඳහිට රෝස මලක්, සල් මලක් හම්බවුණොත් ඒක වට්ටියෙ මැද රැජින බවට පත් වෙනව. සමන් පිච්ච පොහොට්ටු වටේට ගැහුවම රෑ වෙනකොට ඒව වට්ටිය ඇතුලෙම පිපෙනව.
ළමයි මල් වට්ටිය සරසන අතරෙ අම්ම ඉක්මනින් ගෙවල් පිරිසිදු කරනව. කුණු කූඩය හිස් කරනව. ඇඟපත හෝඳගෙන හවස හය වෙනකොට බුදුන් වැඳිල්ලට ලෑස්තියි. ආච්චි අම්මල නම් කියන්නෙ හැන්දෑවෙ හයට සිරියා කාන්තාව ගෙවල් වලට එබී බලන නිසා හය වෙනකොට ගෙදර බුදු පහන පත්තු වෙන්න ඕන කියලයි. ඒක ගෘහමය සහ පාරිසරික අර්ථයෙන් ගත්තොත් පැහැදිලි ඇත්තක්. ගෙවල් දොරවල් පිරිසිදු කරල , ගෙදර ඉන්න කට්ටිය පිරිසිදු වෙලා ඉන්නකොට නිවස සිරියාවයි කොහොමත්. ශරීර සෞඛ්‍යයටත් හොඳයි.
අඟුරු කබල අරගෙන පොල්කට්ටක් ලිපට දාල, ඒ අඟුරු වලට සුවඳ සාම්බ්‍රානි කුඩු දාල ගේ පුරා දුම් අල්ලනව. දුමට විස සහිත මැසි මදුරුවො ඔක්කොම ඉවත යනව.
ඒකත් ශරීර සෞඛ්‍යයටට ඉතා හොඳ වැඩක්. ඒ වගේම මුලු ගේම සුවඳයි.
ඊට පස්සෙ අම්මයි, දූ දරුවොයි, ආච්චියි ආතලයි බුදුන් වඳිනව. මොනවද ඉතින් මල් වට්ටියයි, පොල්තෙල් පහනයි විතරයි. සමහරු හඳුන් කූරක් දෙකක් පත්තු කරනව. හරි සරලයි. ඒත් ඒ සරල කම තුළ, ප්‍රසන්න, සෞඛ්‍ය සම්පන්න, සමාජීය හර පද්ධතියකින් මිනිස්සු එකිනෙකා බැඳෙනව.

මේ බුදුන් වැඳිල්ලේ, ගස් වලට, දාගැබ් වලට රෙදි පොරෝන, මහා දාගැබ් වටේ ආහාර ටොන් ගනන් ගොඩගහන ආගමික විකෘතියක් නෑ. පවුල එකට එකතු කරන, ගෘහ ජීවිතය පිරිසිදු කරන, අසල්වැසියො එක්ක සුහදත්වය වර්ධනය කරන සරල පුරුදු රටාවක් විතරයි තිබ්බෙ. බුදුන් වැඳල මුකුත් ඉල්ලන්නෑ අපේ ගෙවල් වල. හිත සතුටු කරගන්නව විතරයි.
අද ගෙදර හිටපු සරල අම්මව, මහා උපාසකම්ම බවට පත් කරල, කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය වගේ උදේ හවා පන්සල් දුවන්න පුරුදු කරල, මහ අමුතු විකෘති ආගමික තණ්හාවක් හදලනෙ තියෙන්නෙ දැන් පවතින ඇතැම් ගොබ්බ දේශපාලන ව්‍යාපෘතී හරහා.

පින්තුරෙ තියෙන්නෙ ගෙවත්තෙන් මම කඩා ගත්තු පුංචි පුංචි මල්. පාට පාට මල් වලට මම වැඩිපුර කැමතියි. අද ගෙදර බුදුන් වැඳිල්ලට මෙ මල් කැඩුවෙ. මල් පොකුරට නොදැනෙන්න, ගහට පාඩුවක් නොවෙන්න මල් කඩන හැටි ඉගැන්නුවෙ අම්ම. ඒකෙන් මල් ගහත්, පරිසරයත් අපිත් රැකෙනව.

ඒකයි මම කියන්නෙ සංස්කෘතියෙ රැකගත යුතු දේ බැහැර කරල අනවශ්‍ය පුහු දේවලුයි අපේ මිනිස්සු වැළඳ ගෙන ඉන්නෙ.

More From Author

සාහිත්‍ය කලා‍වට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප්‍රධාය

බටලන්ද ඝාතකාගාර සහ සමූහ මිනීවළ: ශ්‍රී ලංකාවේ දුප්පතුන්ට සහ කම්කරු පන්තියට එරෙහි අපරාධවල පන්ති මූලයන්

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348