ගගන වර්ණකුලසූරිය
විචාරක කිනිසි වැදීත
කිසිසේත් විසිවී නොගිය
අතාර්කික-අතාත්වික චිත්‍රපටියක් වගේ
මගේ සිතුවිලි ගලන්නෙ
ඊයේ හවස්වරුවේ ඉඳන්
අහිමි වී යා හැකි වීමේ වියහැකියාවෙන් ත්‍රස්තව
බලාගත් අත බලා සිටිද්දී
ඔබ ගැන යොමු වූ මගේ සිතුවිලි අතරට
රන්ජන් රාමනායක කොහෙන්දෝ සිට කඩා වැද
විකටරූපී චණ්ඩිකමකින් වැනෙයි.
ටෙනිසන් කුරේ දෙතුන් වරක් ඇඹරී
කවුරුත් සිනාසෙන්නේ නැති තැන
තමාටම සිනාසෙයි
ඩබ්ලිව් හකුලුවා ගත් ඇස් ඇතුව
කුණුහරප වගුරයි
සනත් ජයසූරිය වෙනුවෙන් වෙන්කළ
අක්‍රමවත් හැඩ බිම් කොටසක
හරි රවුම් ක්‍රීඩා පිටියක් තිබෙනු
අතීත ස්මරණයක් ලෙස සිහිව එයි.
පුරහලේ විද්වතුන් එක්රැස්ව
නුදුරේම පෘථිවියේ වැදෙන්නට නියමිත
උල්කාපාතයක් පිළිබඳ
ජනප්‍රිය නොවන තීරණ ගැනීමෙහි ලා තැවෙයි.
උල්කාව වැටෙන්නට කලින්
ජාතික ආරක්ෂාව
අනතුරේ වැටෙන්නට නියමිත බැවින්
අමාත්‍යතුමාගේ සංකල්ප ප්‍රකාරව
බුද්ධසාසන අමාත්‍යංශය
සෙත් පිරිතකට සැරසෙයි
නලින්ද සිල්වා ඇදුරිඳු
අමෙරිකාවේ සිට
අනන්තය දක්වා විහිදෙන
ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර රේඛා ඔස්සේ
දෙවුන්දර තුඩුවට එවූ පෙම්පතක්
මේ දැනිඳු
ගාල්ල පහුකරා විතරයි.
අඳුරු වැටීගෙන එත්ම
රාත්‍රිය මත් ගතියකින් තෙමෙයි.
මධු විතක් ඔබෙ අතක් ගෙන
මා ඉදිරියේ තාලයට වැනෙයි.
ගෞරවනීය දිවියක් පසුකර
ආයාසයෙන් මහළු වූ මිනිහෙක්
නීරස අතීත විත්ති වගයක්
ඔබටත් මටත් පොවන්නට තතනයි.
ඒත් අපි බොන්නෙ මධුර දේවල් විතරයි.
දුමක් වුව නැගිය යුත්තේ මල් සුවඳ එක්කයි
වැහිබර සුළඟ අවධාරණය කොට දක්වයිදෝතින්ම බදාගෙන ඔබෙ මුහුණ
ඇඟිලි තුඩකින් පිරිමදින’තර කම්මුල
මම ඔබෙන් ඉකාරස් පියාපත් ඉල්ලයි
ඉටි තටු ඉරු රැසට දියවෙයි
මටි සිලිටි ලෙසට මට පවසා-ඔබ
නිතර ගුලිගැහෙන කටුව තුළ
තවත් ඉඩ නැති බවට
රතු අකුරු කිහිපයක් දල්වයි.
රාජ්‍ය ආශිර්වාදයෙන් සන්නද්ධ
සෙත් පිරිත් හඬ ඇසී
උල්කාව දමනයව
සඳ ළඟින් බමයි.
ඔය වැටෙන්නේ වැහි බින්ඳු
නැතුව
කරුවල දියවෙලා හෙම නෙවෙයි.